Sunday, July 17, 2016

49 බණ්ඩාර

ඔහු බැලූ බැල්මට චීන ජාතිකයෙක් බදුය. සුප්‍ර‍කට සටන් නළු ජැකී චෑන්ගේ පෙනුමට ඔහුගේ පෙනුම බොහෝ දුරට සමානය. එනමුදු බුලත් කහටින් දුර්වර්ණ වූ ඔහුගේ දසන් ඔහු පිටරැටියෙකු නොවන වග ඔහු අවට සිටින ඇත්තන්ට සන් කරයි. හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. මේ ජීවන ගමන යාත්‍රා කරන අතර තුර මා හට හමුවූ අමතක නොවන ගණයේ මිනිසෙකි. ඉදින් ඒ මිනිසාගේ අව්‍යාජ ජීවිත කථාව සිරාගේ කාමරය තුල ලියවිය යුතුම යැයි මම සිතමි.


මයෙ මලයා පහුගිය දොහක පුංචි පහේ ව්‍යාපාරයකට අත ගැහුවේ ඔහුගේ ඇඹේනියගේ ගම් පළාත වෙච්ච මීගමු පුරවරයේදී. දේශීය විදේශීය සංචාරකයන්ට ආහාර  සහ නවාතැන් සපයන මේ ව්‍යාපාරයට උදව් කරන්න පැමිණි අරක්කැමියෙක් තමයි අද අපේ කථා නායකයා. ඊට කලියෙන් කීප වතාවක්ම මේ අමුත්තා මට ඒ පරිසරයෙදි හමුවෙලා තිබුනත් අභිනව ව්‍යාපාරය ආරම්භ කරන්නට මත්තෙන් මයෙ මලයා ඇතුලු පිරිසට විවිධ අයුරින් උදව් උපකාර කරපු අය වෙනුවෙන් මයෙ මලයයි එයාගෙ බිරින්දෑගෙ පවුලෙ අයයි පවත්වපු රාත්‍රී භෝජන සංග්‍ර‍යකට සහභාගි වෙන්නට ගිය ගමනකදි තමයි වැඩියමක් දොඩන්න සිරා කොලුවට ඉඩ කඩ ලැබුනෙ. ඔහුගෙ නම බණ්ඩාර. ඔහුගේ ජීවන කථාව අපේ කථා වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියලා දැන් කියවලා බලමු.

මගේ නම බණ්ඩාර...මහනුවර මහවෙල තමයි මගේ උපන් ගම. සහෝදර සහෝදරියො 10 දෙනෙකු හිටිය පවුලක හරි මැද..ඒ කිව්වෙ 5 වෙනියා තමයි මම. දැන් මගේ වයස අවුරුදු 63 ක්. ඒත් මගේ ළමා කාලයෙ ඉදන් අද දක්වා  සිද්ධ වෙච්ච දේවල් තවමත් හොඳට මතකයි.

අපේ අප්පච්චි තමයි ගමේ ගම්මුලාදෑනි තනතුර දැරුවෙ. අපේ අප්පච්චි දණිස්සට විතර කොණ්ඩෙ දිග, වැඩිය උස නැති, බොහොම තේජස් පාට කෙනෙක්. ගමේ හැමෝම උන්දැට බොහොම භය පක්ෂපාත කම දැක්වූවා. මේ කියන කාලෙ මම තුන්වෙනි කැලෑසියෙ වගේ තමයි ඉගෙන ගත්තෙ. මගේ පාසල් අධ්‍යාපනය මේ පන්තියෙන්ම අහවර උනා.

බී එම් විජේරත්න, නිහාල් ජයසේන කියන්නෙ මගේ අතිජාතම මිත්තරයො දෙන්නා. දෙයක් කලොත් අපි තුන්දෙනාම එකට තමයි ඒ දේ කලේ. දවසක් දා ඉස්කෝලෙ අහවර වෙලා ගෙදර එන ගමන්, දුරින් අපේ මාමා කෙනෙක් වන කෙනෙකුගෙ කිතුලකට බඩ ගාලා රා මුට්ටිය බිමට බාගෙන අපි තුන්දෙනා ඇති පදම් රා බිව්වා. කිතුල් මල කපලා ඒක බැදලා තියෙන ලනුව ලෙහාගෙන තමයි මුට්ටිය බිමට බෑවෙ.  රා මුට්ටිය ගහෙන් බානවා මාමා දැක්කට, කලබල කලේ නෑ. කලබල කරලා ගහෙන් එකෙක් පත බෑවුනොත් වෙන විනාශය ගැන හිතලා එයා සද්ද නැතුව බලාන ඉඳලා. මොකද කිතුල් ගහට පහළින් තිබුනෙ කලුගල් තලාව.

ඉතින් අපි තුන්දෙනා රා මුට්ටිය පුලුවන් තරම් බීලා ගෙදර පිටත් උනා. එදා හැන්දෑවෙ බැහැරක හිටිය අප්පච්චි ගෙදර ආවෙ උණ ගස් වල පහළින්ම හැදෙන පුංචි උණ රිකිලි ටිකකුත් අරගෙන.  අප්පච්චි එක පාරටම මට කථා කලා. මම ගේ ඉස්සරහට ගිය ගමන් මාව අල්ලලා බැන්දා මිදුලෙ තිබුන ගහක. ඊට පස්සෙ ඇගට පොල්තෙල් වත් කරලා ඔලුවට දිමි ගොට්ටකුත් කඩලා දාලා අර උණ රිකිලි 7 ක් විතර එක මිටියට වගේ බැදලා අන්න ඒකෙන් මගෙ පිට හරහා නෙලුවා නෙලිල්ලක් උතුර දකුණ මාරු වෙන්න.

මට එතකොට වැටහුනා රා මුට්ටිය හොරෙන් බීපු එකට තමයි මේ අච්චු කරන්නෙ කියලා. මොකද මාමගෙ ඔය කිතුලෙන් කොටසක් අපේ අප්පච්චිටත් දවස ගානෙ ලැබුනා. එදා අපි හොරෙන් බීපු  නිසා අප්පච්චිගෙ එදා දවසෙ රා පංගුව නැතුව ගිහින්.

පාරවල් දෙක තුනක් පිට හරහා වදිනකොට අපේ අම්මා පැන්නා මාව බේරගන්න. තාත්තට හොදටම තරහා ගියා. අප්පච්චි අම්මව තල්ලු කරලා අම්මටත් පාරවල් දෙකක් විතර දුන්නා. කොහොමහරි අම්මා මාව ගහෙන් ගලවලා අරගෙන පිටේ තෙල්ගාලා එදා රාත්තිරියෙ මට සාත්තු කලා. මට මතකයි අප්පච්චිත් ඇවිත් පිටේ තෙල් ගානවා මම නිදි කියලා හිතාන. එයාට උපරිම තරහා ගිය නිසා එහෙම කලාට අප්පච්චි හොද මිනිහෙක්. හොද අප්පච්චි කෙනෙක්. නැත්තං කොහෙද 10 දෙනෙක් හදන්නෙ.

කොච්චර ගුටි කාලා පිටේ හම ගිහින් තිබුනත් මම පහුවදා ඉස්කෝලෙ ගියා. අයියලා අක්කලා මල්ලිලා නංගිලා මේ හැමෝම මට හිටියා. ඒ අයගෙන් මා එක්කම ඉස්කෝලෙ ගමන ගියෙ මගෙ අක්කා කෙනෙක්. අප්පච්චිගෙන් දරුණු විදියට ගුටි කෑවට පස්සෙ ගෙදර ජීවිතේ මට එපා උනා. මම හදිස්සියෙම ගෙදරින් පැනලා යන්න තීරණය කලා. එදා දවසෙ ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ මම ඉස්කෝලෙ ලගදිම අක්කට මගේ පොත් ටික දීලා කිව්වෙ උඹ පලයං මම තව ටිකකින් එන්නම් කියලා.

ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයයි, නිල්පාට කොට කලිසමයි එක්ක මම ඉස්කෝලෙ ඉස්සරහින් ගිය බස් එකකට නැග්ගා අරමුණක් නැතුව. ඒ දවස් වල අප්පච්චි දරුවො 10 දෙනාටම උදේට ශත 5 ගානෙ බෙදලා දෙනවා. 1959 වගේ කාලෙක ශත 5 ත් ලොකු ගානක්. ඔය විදියට දවස් ගානක සල්ලි එකතු වෙලා මගෙ ලග එකයි පණහක් වගේ මුදලක් තිබුනා. ඇරත් ඉස්කෝලෙ යන උන්ගෙන් පන්න පන්න සල්ලි ගන්න සිරිතක් ඒ කාලෙ හිටිය බස් පල්ලන්ට තිබුනෙත් නෑ.

අරමුණක් නැතුව නැගපු බස් එක අන්තිමේදි නතර උනේ කඩුගන්නාවට ඇවිත්.  ඒ වෙද්දි මට හොඳටම බඩ ගිනියි. කඩුගන්නාවෙ කඩ අතර ඒ මේ අත ඇවිදිමින් ඉද්දි ස්වාමීන් වහන්සේ නමක් මාව දැකලා මා ලගට ඇවිත් කථා බහ කලා.

මේ ළමයා මෙතන මොකද කරන්නෙ ?

හාමුදුරුවො බොහොම ගාම්භීර විදියට මගෙන් ඇහුවා

මට හංගන්න දෙයක් නෑ. මම මගේ කථාව ඉස්පිලි පාපිලි අඩු නැතුව හැමදේම හාමුදුරුවන්ට කිව්වා.

ගෙදරින් පැනලා යන ගමන් එහෙනං. ආයෙමත් ගෙදර යන්න කැමැත්තක් ඇත්තෙම නැත්තං මා එක්ක යන්න එන්න. හාමුදුරුවො එහෙම කිව්වම උත්තර විදියට මම කිව්වෙ මට බඩගිනියි කියලා.

කඩුගන්නාවෙ කෑම කඩයකින් ඊට පස්සෙ හාමුදුරුවො මට කන්න බොන්න අරන් දීලා එයා වැඩ වාසය කරපු, වනාන්තරයකට මායිම් උන පන්සලට ඇන්න ආවා. එතන ගඩොල් වලින් ගොඩනගාපු ගොඩනැගිලි තිබුනෙ නෑ. වටේටම පැතිරුන ගල් ගුහාවක් ඇතුලෙ තමයි පන්සල තිබුනෙ. ගල් ගුහාව මැද්දෙ හාමුදුරුවො සැතපෙන තැන කිට්ටුවෙන්ම පුංචි දිය පාරක් ගලාගෙන ගියා. ගල්ගුහාව වටේට වදුරු රංචුවක් හිටියා. උන්ගෙන් කවදාවත් පංසලට බාධාවක් හිරිහැරයක් උනේ නෑ.

වටේ පිටේ උන්න දායකයන්ගෙ මාර්ගයෙන් පන්සලට ලැබෙන දානයෙන් කොටසක් හාමුදුරුවො මට දුන්නා. මේ විදියට සතියකට කිට්ටු කාලයක් මම ඇදන් උන්න ඉස්කෝල ඇදුම පිටින්ම ගෙවා දැම්මා. මොකද හාමදුරුවන්ට මට දෙන්න ඇදුම් තිබුනෙ නෑ.

සතියකට විතර පස්සෙ පන්සල කිට්ටුවෙන්ම උන්න දායක පවුලකට හාමදුරුවො මාව බාර කලා. ඒ ගෙදර අම්මගෙ නම ඩිංගිරි අම්මා. තාත්තගෙ නම මට දැන් මතක නෑ. ඒ ගෙදරත් දරු පරපුරක්ම උන්නා. ඒ අය එක්ක ඉද්දි මට පාලුවක් නැතුව යයි කියලා හාමුදුරුවො කල්පනා කරන්න ඇති.

ඩිංගිරි අම්මගෙ දරු කැලත ඉස්කෝලෙ ගියෙ නෑ. ඒ කාලෙ අද වගේ හැම දරුවෙක්වම ඉස්කෝලෙ යවන්න දෙමාපියන්ට වත්කමක්, දැනුමක්, උවමනාවක් තිබුනෙ නෑ. ඉතින් උන් ටිකත් එක්ක අමුඩ කෙටියක් ගහගෙන මගේ දවස ගෙවන්න මම පුරුදු උනා. රාත්තිරියට නිදා ගන්නකොට එක පොකුරට තුරුල් වෙලා අපි නිදාගත්තා. ඒ අය ජීවත් උනෙත් විශාල ගල් ගුහාවක. මේ ගුහාවෙ ඉස්සරහින් වරිච්චි බිත්ති කොටයක් බැදලා තිබුනා මතකයි.

ඩිංගිරි අම්මගෙ ස්වාමියා බොහොම හැඩි දැඩි උස මහත කෙනෙක්. කැහිපිත්තං වැලේ කොල වලින් හදන පානයක් තමයි ඒ ගෙදර හැමදාම උදේට බොන්න දුන්නෙ. කැහිපිත්තං කොල අහුරක් හොදට කොටලා ලබා ගන්න නානු, කෝප්පයකට හරි පොල්කටුවකට හරි දාලා මුලු රැයක් ගෙවුනට පස්සෙ උදේට ජෙලි වගේ මිදිලා තියෙනවා. මෙන්න මේ ජෙලි එක තමයි උදේට අපි කන්නෙ. පොල්කිරි එකතු කරලා සීනි ටිකක් දැම්මොත් තරමක රසයක් තියෙනවා.

කැහිපිත්තං කෝප්පෙ හිස්කරලා උදේම අමුඩ කෙටියක් ගහගෙන ඩිංගිරි අම්මගෙ මනුස්සයා ගේ ලගම තිබුන හේනට යනවා. දවස පුරාම හේනෙ බිම් කොටලා, භව බෝග වගා කරලා හැන්දෑකොරේ ආයෙමත් ගෙදරට එනවා.

කලිනුත් කිව්වා නොවැ උන්දැ බොහොම ශක්ති සම්පන්න දේහදාරියා කියලා. ටික දවසක් මේ ගෙදර ඉද්දි උන්දැ මට එයාගෙ දරු කැලත එක්කම අංගම්පොර සටන් කලාව කියා දෙන්න පටන් ගත්තා. පිරිමි විතරක් නෙමෙයි ගෑණු දරුවොත් අපිත් එක්ක අංගම්පොර පුහුණු වෙන්න එකතු උන බව මතකයි. ඒ නිවසෙ ගත කරපු මාස 3 ක විතර කාලය ඇතුලෙ අංගම්පොර කලාවෙ බොහෝ දේවල් ඉගෙන ගන්න මට හැකි උනා. විශේෂයෙන්ම නිළ සාස්තරේ ගැන.

මගේ අංගම්පොර ගුරුතුමා හැඩි දැඩි කෙනෙක් උනාට සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. එයාගෙ හේනෙ භව බෝග විනාශ කරන්න එන සත්තු අල්ලගන්න උගුල් අටවලා තිබුනත් ඒවායින් ඒ සතුන්ට හානි උනේ නෑ. උදේම හේනට ගොහින් කොටුවෙලා ඉන්න සත්තු කැලෑවට මුදාහැරලා තමයි එයා ගෙදර ආවෙ. කවදාවත් වන සතෙක් දඩමස් කන්න කියලා මැරුවෙ නෑ

අංගම්පොර ඉගෙන ගන්න කාලෙ බුදුන්ට පූජාව තියන්න ඕනෙ. භාවනා කරන්න ඕනෙ. ඒ වගේ තවත් වත් පිළිවෙත් තිබුනා. අපි ඒවා අකුරටම ඉෂ්ඨ සිද්ධ කරන්න ඕනෙ. නැත්තං ගෙදර වසලා හමාරයි. දවසක්දා උදේම හේනට ගිය ඩිංගිරි අම්මගෙ මනුස්සයා හැන්දෑවෙ ගෙදර එද්දි මට නියම කරලා ගිය වත් පිළිවෙතක් ඉෂ්ඨ කරන්න මට අමතක වෙලා තිබුනා. මේ කාරණේට කොච්චර කෝප උනාද කියනවා නම් එවලෙම මගෙ පුකට පයින් ගහලා පලයං මේ පැත්ත පළාතක ඉන්නෙ නැතුව කියලා මාව එළවලා දැම්මා. ඒ වෙද්දි මම ඒ ගෙදරට ඇවිත් මාස 3 ක් පමණ ගත වෙලා තිබුනෙ.

මාස ගානකට පස්සෙ මම ආයෙමත් අන්තිම දවසෙ ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයත් නිල් පාට කොට කලිසමත් ඇද ගත්තා. හාමුදුරුවන්ට දැනුම් දෙන්න නැවතුනෙත් නෑ. ගෙදරින් එද්දි අතේ තිබුන රුපියලක් දෙකක් තවමත් කලිසම් සාක්කුවෙ තිබුනා. ඩිංගිරි අම්මගෙ ගල් ගුහාවෙ ගෙදර ඉදන් ප්‍ර‍ධාන මාර්ගයකට සෑහෙන දුරයි. බොහෝ වෙලාවක් ඇවිදගෙන ගිහින් බස් යන එන මාර්ගයකට එන්න ඇහැකි උනා. ඒ කාලෙ අද වගේ රථ වාහන නෑ. පැයකට දෙක තුනයි කාර් උනත් යන්නෙ.

ගෙදරින් පිට උන දවසෙ ඉදන් මගේ ගමන ගැන මට අරමුණක් තිබුනෙ නෑ. හිස ඇරුන අතේ තමයි ගියෙ. දැන් ආයෙමත් ඒ ගමන ආරම්භ කරන්න දවස ඇවිත්. යන්නෙ කොහෙටද බලන්නෙ නැතුව පාරෙ ගිය බස් එකකට අත දාලා මම ඒකෙ පැටවුනා. අන්තිමේදි මම ඇවිත් තිබුනෙ ගම්පහ නගරයට.

ඒ කාලෙ ගම්පහ නගරය කියන්නෙ ලංකාවෙ බුලත් වෙළඳාමෙ මධ්‍යස්ථානය. නගරය පුරාම බුලත් කඳවල් කරේ තියාන යන වෙළෙන්දො. ඔය වගේ එක වෙළෙන්දෙක් පිටිපස්සෙන්ම මම එයාට නොදැනෙන විදියට ඇවිදගෙන ගියා.

සෑහෙන දුරක් ගියාට පස්සෙ ඒ මනුස්සයා පිටිපස්ස හැරිලා මගේ දිහා බලාන ඉඳලා මගෙන් විස්තර ඇහුවා. ගෙදරින් පැනලා එන්නෙ යන්න එන්න තැනක් නෑ කිව්වම වරෙන් අපේ ගෙදර කියලා මාව ඇන්න ගියා. අපි පයින්මයි ඒ ගෙදරට ගියේ. විශාල පොල්වත්තක් මැද තිබුන ගෙයක්. ඒ ගෙදර දුවා දරුවො එක්ක මමත් නතර උනා. ගෙදර ගෘහ මුලිකයා සතියකට දවසක් දෙකක් බුලත් වෙළඳාමෙ යනවා. අනිත් දවස් වලට වත්ත පිටියෙ වැඩ කරනවා. මට විශේෂ වැඩක් පැවරුවේ නෑ. කාලා බීලා කැමති විදියකට ඉන්න ඉඩ දුන්නා.

ටික දොහක් යද්දි මට ඒ ගෙදරිනුත් යන්න හිතක් පහල උනා. මම කලේ කලින් කලා වගේම හිමිදිරියේම කාටවත් නොකියා ආයෙමත් පාරට ආපු එක. කලිසම් සාක්කුවෙ තිබුන රුපියල දෙක තවම මා ලග. හිතට බයක් නෑ. ගමනට අරමුණක් නෑ....බස් එකේ බෝඩ් එක කියවලා යන්නෙ කොහෙද බලන්න උවමනාවකුත් නෑ. අහුවෙන බස් එකට අත දානවා නගිනවා...නතර වෙන තැනක බහිනවා. ඔය විදියට මම ගම්පහින් කොළඹට ආවා. එතනින් තවත් බස් එකකට නැග්ගා. ඒක නතර උනේ බණ්ඩාරවෙල.

බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා.


අදට මේ මදැයි....ඊළගට වෙච්ච සන්තෑසිය ඊළග කොටසින් කියවමු.



මතු සම්බන්ධයි.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

බණ්ඩාරයන් සමග මවිසින් සිදුකල කථා බහේ හඬ පටයෙන් කොටසක්. මීගමු වාරකන් සුළඟ අපට බාධා කල බැව් සැළකුව මනාය.

Tuesday, June 28, 2016

58 බත් සමග මනුස්ස කමත් බෙදූ දන්සැලක්

විදේශ ගතව සිටීම නිසා වසර කීපයක්ම පොසොන් උත්සවය සැමරීමෙන් බැහැරව සිටි සිරා කොලුවා මෙවර පොසොන් උත්සවය සමරන්නට එක්වූයේ වසර 3 කට පමණ පසුවය. පොසොන් යන නම ඇසූ සැනින් ලංකාවේ අපට සිහිවන්නේ අනුරාධපුරයයි. ලංකාවේදී  සිරා කොලුවා සංචාරය කරන්නට කැමතිම ස්ථානය කිමෙක්දැයි කිසිවෙකු මාගෙන් විමසුවහොත් මාගේ නිසැක පිළිතුර රුවන් වැලි සෑ මළුව යන්නයි. එතැනදී හිතට මෙන්ම ගතටද දැනෙන සිසිලස, ප්‍රබෝධය, සැහැල්ලුව අති මහත් වීම එයට හේතුවයි. ගම්පහ, මාකේවිට එක්සත් තරුණ සංගමය නැමති සංගමයක් විසින් චිරාත් කාලයක සිට පවත්වාගෙන එන බත් දන්සැලකට සහයෝගය දැක්වීමට පැමිණෙන්නයි මා හට ආරාධනාවක් ලැබුනේ මගේ පියාණන්ගෙනි. ඔහු දැන් වසර 4 ක සිට මේ වැඩපිළි්වෙලට එක් වී සිටියි. රුවන් වැලි සෑ මළුව ආසන්නයේම මේ දන්සැල ස්ථානගත වන නිසා මා හට දෙවරක් සිතන්නට දෙයක් ඉතිරිව නොතිබුනි. මමද දන්සැල් නඩය සමග එක් වූයෙමි. සිරාගේ කාමරයේ අද ලියවෙන මේ ලිපිය ඒ බත් දන්සැල සහ එහි වටපිටාව පිළිබඳවයි.

2016 පොසොන් පොහොය උදාවීමට මොහොතකට කලියෙන් රුවන් වැලි සෑ මළුව
එහි රැය පහන් කරන සැඳැහැවතුන් සමග

1956 මැයි 23 වෙනිදා යනු 1956 වසරේ වෙසක් දිනය යෙදී තිබූ දිනයයි. මේ වෙසක් දිනය ලංකාවාසී බෞද්ධ ජනතාව සමරනු ලැබූයේ මහා ඉහළිනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර 2500 ක් සම්පූර්ණ වූයේ 1956 මැයි 23 වනදාට වීම එයට හේතුවයි. මෙම වෙසක් උත්සවය බුද්ධ ජයන්ති යන වදනෙන් හඳුන්වනු ලැබූ එවකට බණ්ඩාරනායක රජය, මෙහි සුවිශේෂී බව තවත් සුවිශේෂී බවට පත් කරනු ලැබූවේ රාජ්‍ය අනුග්‍ර‍හය නොමඳව ඒ සඳහා ලබා දෙමිනි. ඒ අනුව බුද්ධ ජයන්ති සැමරුම් කාසි නිකුත් කිරීම , රජයේ පාසල් වල අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන්ගේ පරිහරණය පිණිස බෞද්ධ පොත පත සම්පාදනය, ගරා වැටුන වෙහෙර විහාර ප්‍ර‍තිසංස්කරණය ආදිය  ප්‍ර‍මුඛ වී තිබේ. 

රජයේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා බුද්ධ ජයන්තියේ ප්‍රබෝධය ගම් නියම් ගම් සිසාරා පැතිර ගිය අතර මේ මහා ආගමික මංගල්ලය එකාවන්ව සැමරීමට ජනතාව පෙළ ගැසුනි. ගම, නගරය කියා භේදයක් නොමැතිව සිරිලක පුරා විවිධ සද් කාර්යයන් රැසක් බුද්ධ ජයන්තිය සමරමින්  ඉටු වෙද්දී  වෙසක් මාසයෙන් පසු එළඹෙන පොසොන් මාසයේදී තම ශක්ති ප්‍ර‍මාණය අනුව යහපත් දෙයක් අනුරාධපුරයේදී කරන්නට ගම්පහ, මාකේවිට බස් හිමියෙකු වූ ජයසිංහ මහතාට සිත් වූයේ බුද්ධ ජයන්තියෙන් ලද උද්යෝගය නිසා විය යුතුය. ඒ සඳහා තබන මූලික පියවරක් ලෙස හෙතෙම මාකේවිට එක්සත් තරුණ සංගමය නමින් සංගමයක් පිහිටුවා ගත්තේ හරියටම බුද්ධ ජයන්තිය සමරන ලද වෙසක් පෝ දිනයි.

තරුණ  සංගමයේ ආරම්භක සාමාජිකයන් බහුතරය ජයසිංහ මහතාගේ ඥාති හිතමිත්‍රාදින්ම වූහ. මේ ඇත්තන් තමන්ගෙ පළමු ව්‍යායාමය ලෙස 1956 වසරේ පොසොන් උත්සවය සමරන්නට, අනුරාධපුර පුද බිමට, ලංකාවේ නන් දෙසින් පැමිණෙන සැඳැහැවත් ජනතාවගේ දාහය නිවන්නට කුරුම්බා දන්සැලක් පවත්වන්නට කථිකා කර ගත්හ.

තමන්ගේ බලාපොරොත්තුව සැල කල සැනින් වතු හිමියො කුරුම්බා වලු පිටින් කපාගෙන යන්නට ඔහුට අවසර දුන්හ. මේ කියන කාලයේ අද තරම් පොල් මිළ ඉහළ ගොස් නොතිබූ හෙයින් කුරුම්බා වල්ලක් දෙකක් දන් දෙන්නට වතු හිමියන් දෙවරක් සිතුවේ නැත. ඒ අවසරයෙන් එකතු වූ සිය දහස් ගනනක කුරුම්බා මාකේවිට එක්සත් තරුණ සංගමයේ තරුණයන් ලොරියක පටවාගෙන අනුරාධපුරයට රැගෙන ගොස් කුරුම්බා දන්සැල පවත්වා තිබේ.

බස් හිමියෙකු ලෙස ජයසිංහ මහතා එවකට ලංකාව පුරාම සංචාරයේ යෙදෙන්නට ඇතැයි අපට සිතිය හැක. ඒ ගමන් බිමන් වළදී පොසොන් උත්සවය සමරන්නට අනුරාධපුරයට එකතු වන දහස් සංඛ්‍යාත ජනතාවට මුහුණ දෙන්නට සිදුවන ගැටලු, අපහසුතා ඔහුට සන්නිවේදනය වී තිබෙන්නට ඇත. ඒ නිසාම ඔහුගේ දන්සැල අනුරාධපුරයේ ඉඳි වූවා විය යුතුය.

1956 සිට වසර 10 ක කාලයක්  පොසොන් දිනයේ මාකේවිට එක්සත් තරුණ සංගමයේ කුරුම්බා දන්සැල අනුරාධපුරයේ රුවන්වැලි සෑ රදුන් හා ථූපාරාමය යා කරන පෙත් මග යනුවෙන් හැඳින්වෙන මාර්ගය ආසන්නයේ පවත්වා තිබේ. අද සිමෙන්ති ගල් අල්ලා විසිතුරු කොට තිබෙන පෙත් මග මේ කියන කාලයේ ඒ කිසිත් නැති ගුරු පාරක් බඳු යැයි තතු දන්නෝ මා සමග පවසා තිබේ.

කුරුම්බා දන්සැලට වයස වසර 10 ක් වූ තැන තරුණ බෞද්ධ සංගමයේ එවකට සාමාජික ඇත්තන් 11 වන වසරේ සිට කුරුම්බා දන්සැල බත් දන්සැලක් බවට පත් කරන්නට තීරණය කළෝය. වර්තමානයේ මෙන් අඩියෙන් අඩිය දන්සැල් පොසොන් සමයේ අනුරාධපුරයේ නොතිබුන නිසා බත් දන්සැලක් පැවැත්වීම බොහෝ සේ වැදගත් යැයි සංගමයේ එවකට සාමාජිකයන්ට වැටහී යන්නට ඇත.

වසරින් වසර අලුතින් සංගමයට එකතු වන සාමාජික පිරිසත් දරාගෙන, දන්සැලේ පරිමාණයද වැඩුනි. එතැන් සිට චිරාත් කාලයක් අඛණ්ඩව දන්සැල පැවැත්වීමට ජයසිංහ මහතාට හැකියාව ලැබුනේ ඔහුගේ ප්‍රිය බිරිඳගේ සහයෝගයත් මේ වෙනුවෙන් මොනවට ලැබුනු හෙයිනි. බස් කර්මාන්තයට සම්බන්ධ තවත් පවුලකින් පැවත එන ඇය ජයසිංහ මහතා මුල්ම දන්සැල පවත්වන කාලයේ තම පියා සහ හිතවතුන් අනුරාධපුරයේ පැවැත්වූ වෙනත් දන්සැලකට සම්බන්ධව සිටියාය. යාබද භූමි භාග වල පැවැත්වූ මේ දන්සැල් කෙරුවාව අවසානයේ මේ දෙපළට විවාහයේ දොරටුව විවර වන්නට ඇති බව සිරා කොලුවාගේ අදහසයි.

ස්ථිර නිළධාරී මණ්ඩලයක් දන්සැල් කටයුතු වලට පත් වූ කාලයේ සිටම දන්සැලේ අනුශාසක ධූරය දරන්නේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක අධිපති ධූරය දරන තෝරපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිනි. තමන්ගේ විහාරස්ථානයේ පොසොන් පින්කම් අවසන් වූ සැනින් උන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරන්නේ දන්සැලේ කටයුතු සොයා බැලීම උදෙසායි.

බත් දන්සැලේ මුල් පෙලේ නිළ දරුවන් අනුශාසක හිමියන් සමග,
වික්‍ර‍මරත්න සභාපති තුමා වම් කෙළවරේ.
මාකේවිට එක්සත් තරුණ සංගමය වසරක් පාසා සාර්ථකව පවත්වාගෙන පැමිණි බත් දන්සැලේ 50 වෙනි පියවර 2016 වසර හා සම්බන්ධව තිබුනි. මේ දන්සැල ආරම්භයෙන් පසු කිසිම වසරක නතර වී නැත. කුමන අපහසුතාව තිබුනත් නිසි පරිදි දන්සැල පවත්වා තිබේ. හාල්මිටි 3 ක බත් සපයමින් ආරම්භ වූ මේ දන්සැල දැන් හාල් මිටි (කිලෝ 50) 50 ඉක්මවන ධාරිතාවක් දක්වා දියුණු වී තිබේ. එක දිගට මහා පරිමාණයෙන් 50 වසරක් දන්සැලක් පවත්වනවා යනු සෙල්ලම් වැඩක් නොවන බව මේ මහා කාර්යය පිටුපස සිටින මහා ජන සමූහයා දෙස බැලූ විට පැහැදිලි වෙයි.

49 වෙනි දන්සැලටත් රෝද පුටුවක් මත සිටිමින් සහභාගි වූ දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාට දෛවයේ සරදමක් නිසාදෝ 50 වෙනි පියවරට සහභාගි වන්නට නොහැකි වූයේ ඊට මාස කීපයකට පෙර හෙතෙම මිය පරළොව ගිය නිසාය. එහෙත් ඔහුගේ බිරිඳ සහ දරු කැළ මේ මහා වෑයම තවමත් ඉදිරියට රැගෙන යන්නේ පොසොන් වන්දනාවේ අනුරාධපුරයට පැමිණෙන දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් කෙරේ උපදින සැබෑම ආදර කරුණාව නිසාය.

මෙවර දන්සැල උදෙසා ජයසිංහ මහතාගේ නිවසින් අපි සැම පිටත් වූයේ පොහෝ දිනට පෙර දින රාත්තිරියේ 11 කණිසමට බව මගේ මතකයේ රැදී තිබේ. ඒ වන විටත් මාස ගනනාවක උත්සාහයේ ප්‍ර‍තිඵල ලෙස දන්සැලට අවැසි සියලුම දේ සුජෘනම් කර ඒවා ප්‍ර‍වාහනය කරන රථ වාහන වලට පටවා අහවරය. ජයසිංහ මහතාගේ පුතුන් දෙදෙනා පියාගේ මග යමින් ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා මේ ගමන් සඳහා උවමනා රථ වාහන වලින් අඩුවක් නැත.


පාන්දර 4 කණිසම වන විට අනුරාධපුරයට පැමිණි අප විවේකයක් නොගෙනම  ලහි ලහියේ කන්ටේනර් රථ දෙකක තිබූ බඩු බාහිරාදිය සහ අඩුම කුඩුම ඉක්මනින් දන්සැල පවත්වන ස්ථානයට ගෙන ආවෙමු. එදා ජයසිංහ මහතා කුරුම්බා දන්සැල ආරම්භ කල ස්ථානයේම තවමත් මාකේවිට එක්සත් තරුණ සංගමයේ බත් දන්සැල ඉඳිවෙයි.

විවිධ වයස් කාණ්ඩ වලට අයත් දන්සැලේ කටයුතු සඳහා පැමිණි කාන්තා පිරිමි, තරුණ, මහළු ජනතාව කාගේවත් නියම කිරීමකින් තොරව තම තමන්ම වැඩ රාජකාරී පවරාගනිමින් හැකි ඉක්මනින් දන්සැල ආරම්භ කරන්නට යුහුසුලු වෙති. තැනක හට්ටි මුට්ටි, එළවළු තැන්පත් වෙයි. තවත් තැනක දන්සැලේ පිරිසගේ භාවිතයට වැසිකිළි පද්ධතියක් ඉඳි වෙයි., තවත් තැනක තහඩු යොදා දන්සැලට පැමිණෙන ජනතාවට සෙවනක් සැදෙයි, තවත් තැනක දන්සැලේ විදුලි ආලෝක පද්ධතිය සහ ජලනළ පද්ධතිය ස්ථාන ගත වෙයි.


අද තරම් පහසුකම් එදා තිබුනෙ නෑ. වතුර වලින් තමයි ගොඩාක්ම ප්‍ර‍ශ්න තිබුනෙ. බවුසර් වලින් වතුර ගෙනත් දෙනකං අපිට දන්සැල නවත්තගෙන බලාන ඉන්න උන කාලයකුත් තිබුනා. දැන් වගේ ලග ලග දන්සැල් තිබුනෙ නැති නිසා මේ දන්සැල් වලින් බත් ටිකක් කන්න මිනිස්සු සෑහෙන්න ආවා. ජයසිංහ මහතාගේ බිරිඳ මා සමග එලෙස පැවසූයේ දන්සැලේ ඉතිහාසය පිළිබඳ එතුමියගෙන් මා විමසීමක් කළ හෙයිනි.

ලහි ලහියේ ඉදුන සුවඳ හමන පරිප්පු හොද්දක් සමග අනුරාධපුරයේ තැටි පාන්, දන්සැල් කාර්ය මණ්ඩලයට උදෑසන ආහාරය වූවේය. එතැන් සිට සිය වගකීම් සෑම කෙනෙක්ම මනාව ඉටු කල නිසා දහවල් බත වන විට බත් දන්සැල ආරම්භ කරන්නට කටයුතු යෙදිනි. දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාගේ මළනුවන් වන වික්‍ර‍මරත්න මහතා වර්තමානයේ මේ දන්සැලේ මුල් පුටුව හොබවයි. ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය දායකත්වය ඔහුට ලැබේ. මාකේවිට බත් දන්සැලෙන්ම බත් කන්නට බලා සිටින ජනතාවක් දැන් අනුරාධපුරයේ සිටිති. පසුගිය වසර 50 තුලදී දන්සැල් කෙරුවාවෙන් උපයාගත් වත්කම මේ මිනිසුන් විය යුතුය.






පොසොන් පෝය දිනයට පෙර දිනයේ දහවල් බතින් ඇරඹී පොසොන් පෝය අවසන් වී පසුදින දහවල දක්වාම මේ මහා දන්සැලේ දොර පොදු ජනතාවට විවෘතය. දන් සැලට නැවතීමක් නැත. පිරිසක් නිදි දෙව්දුවගේ සුවය විදින අතරේ තවත් පිරිසක් ගජරාමෙට වැඩය. පාන්දර 3 කණිසමට වුවත් උණු උණු බත් බුදින වන්දනාකරුවන්ගෙන් දන්සැලට අඩුවක් නැත.

හාල් කිලෝ 40 ක් විනාඩි 40 න් බත් බවට පත් කරන ස්ටීමරයක් , පොල් ගාන යන්ත්‍ර‍, පොල් කිරි මිරිකන යන්ත්‍ර‍ ආදියෙන් මාකේවිට එක්සත් තරුණ සංගමයේ දන්සැල පොහොසත් වී තිබෙන නිසා වැඩ කටයුතු වේගවත් වී තිබේ. මේ සියලුම යන්ත්‍ර‍ උපකරණ තරුණ සංගමය සතු වන අතර ඒවා භාවිතා කරන්නේ මේ දන්සැලේ කටයුතු වෙනුවෙන් පමණකි.

දන්සැලේ කටයුතු කරන සියලුම දෙනාට තේ සපයන්නේ එක් කාන්තාවකි. ඇගේ වගකීම බවට ඒ කාරිය පත් වී තිබුනි. යහමින් ඉඟුරු යොදා ඇයගේ අත්ගුණය සහිතව අපට ලැබුන ප්ලේන්ටියේ රස ගැන කියන්නට වදන් නැත. එවන් ප්ලේන්ටියක් නිවසේදී හෝ පානය කරන්නට නොලැබෙයි. එය එතරම්ම රසවත්ය.

ස්ටීමරය

දන්සැලේ පෝලිම හසුරවන වගකීම, පැමිණෙන අයගේ බත් පතට මාළු පිණි බෙදන වගකීම, පිගන් සෝදන තැනින් දන්සැල තුලට රැගෙන යාමේ වගකීම, ආදී වගකීම් රාශියක් වරින් වර සිරා කොලුවා අතින් ඉටු වූවේය. වෙහෙසකර දවසක් අවසානයේ සැම විටම බසවක්කුලම වැවෙන් ස්නානය කිරීමට ලැබුන අතර එයින් පසුව දැනුන සුවය කියා නිමකල නොහැක.

බසවක්කුලම වැවට පෙනෙන ජේතවනාරාමය

බසවක්කුලම වැව් කණ්ඩියට පෙනෙන අභයගිරිය
මේ වසරේ සිට තිසා වැවේ ජල ස්නානය තහනම් කොට තිබේ. එය ඉතාමත්ම වැඳගත් තීරණයක් වන්නේ අනුරාධපුර පූජා නගරයේ පානීය ජල අවශ්‍යතාව ඉටු කරන්නේ තිසා වැවෙන් ලබාගන්නා ජලයෙන් වන නිසාය. ඒ ඇරත් වාර්ෂිකව අනුරාධපුර වන්දනාවේ පැමිණ තිසා වැවේ රොන් මඩ අතර සැගවී යන තරුණ ජීවිත ප්‍ර‍මාණයද මේ තීරණය සමග සුරක්ෂිත වී තිබේ.

අපේ ගම් පියසේ පවත්වන දන්සැලකදී මෙන් නොව මෙහිදී දන්සැලට සහභාගි වන අති මහත් බහුතරය අහිංසක මිනිසුන්ය. සැබෑ ලෙසම දන්සැලක අවශ්‍යතාව දැනෙන මිනිසුන්ය. එවැනි මිනිසුන් පිරිසකට සේවය සලසන්නට ලැබීම සැබවින්ම සතුටකි. වයසක අම්මලා ආහාර අනුභවයෙන් පසුව දන්සැල තුලදීම අපේ අත් වලින් අල්ලාගෙන පින් දෙයි. යෝධ බල යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරයි. මෙලෙස දන්සැල තුලදීම අපේ වෑයම අගය කරද්දී, අප විසින් කරන සත්කාර්යයේ තරම අපට අවබෝධ වෙයි. එය කියා නිමකල නොහැකි තරමේ එකකි. සිතට මහත් ප්‍ර‍හර්ෂයකි.

පොහෝ දින උදෑසන දන්සැලේ පෝලිම් ගැසී සිටින ජනතාව
දන්සැල අවට තාවකාලික වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳ ප්‍ර‍ජාවටද දන්සැලෙන් සැලසෙන සේවය අතිමහත්ය. වෙහෙසකර දිනයක් අවසානයේ නින්දට යන සිරා කොලුවා වැරදීමකින් හෝ පාන්දර යාමයේ අවදි වූවා නම් ඒ මොහොතේත් දන්සැල තුල ආහාර අනුභව කරන ජනතාව සුලභ වූහ. නිදි වරාගෙන ඔවුන් වෙත සේවය සලසන සත් පුරුෂයන් දන්සැල් නඩය තුල වෙනමම වූහ.

එක් වාරයකට රුපියල් මිලියනයකට වඩා මුදලක් වියදම් කරන මේ මහා දන්සැල පුරා දින 3 කට පසු චරිත්‍රානුකූලව මහා සංඝරත්නය විෂයෙහි පවත්වන සංඝගත දක්ෂිණාවකින් අවසන් වෙයි. එතැනදී දන්සැල පවත්වන්නට මුල් වූ අද අප අතර නැති සියලු දෙනාටම පින් පෙත් අනුමෝදන් කරති. ඒ කාර්යය අවසානයේ අඩුම කුඩුම නැවතත් කන්ටේනර් රථ වලට පැටවීම ආරම්භ වන අතර ඒ කටයුතු අවසානයේ අදුරු වැටුන අනුරාධපුරයෙන් අපි සමුගත්තේ යහපත් ක්‍රියාවක නිරතවීමෙන් ලද පරම පිවිතුරු සතුට දෝත දරාගෙන ඊළග වසරේත් මේ දන්සැලේ සේවයට පැමිණෙන බැව් ශපත කරමිනි.




























මම කාමරේ අරින සිරා කොලුවා.





ප.ලි


සියලුම ඡායාරූප මවිසින් ලබාගත් ඒවාය.

මෙම තරුණ සංගමය පිහිටුවන්නට මූලික වූ කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත.

මේ කර්තව්‍ය හුදෙක් බත් දන්සැලකට පමණක් සීමා වී නැත. එයින් එහා ගිය මහා සමාජ මෙහෙවරකට මේ සමිතියේ ඇත්තන් උර දී සිටිති. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉඳි කර දීම, අඩු පහසුකම් සහිත දහම් පාසල් වලට පොත් පත් සහ වෙනත් උපකරණ ලබාදීම ආදිය ප්‍ර‍මුඛ වෙයි. මේ දින වල දන්සැලේ නිළධාරී මණ්ඩලය අඩු පහසුකම් සහිත දහම් පාසලක් සොයමින් සිටින්නේ එහි අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ලබා දීම උදෙසායි. මේ ලිපිය කියවන ඔබ එවැනි ස්ථානයක් ගැන දන්නේ නම් කරුණාකර සිරා කොලුවා වෙත ඊයක් විඳින්න.

Sunday, June 12, 2016

79 මාටින් මුදලාලි

මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක්. කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ. යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති, තමන්ගේ මතයේම එල්බ සිටි සෘජු චරිතයක්, තමන්ගෙ දරු මුණුබුරන්ට අසීමිතව ආදරය කරපු, තමන්ගෙ ඇඹේණිය එක්ක සමගියෙන් පවුල් කාපු, ආදරණීය චරිතයක් විදියටත් ඔහුව හඳුන්වා දෙන්න පුලුවන්. අද සිරාගෙ කාමරෙන් මම බොලාට කියන්නෙ මගේ සීයා වෙච්ච මේ  ආදරණීය මිනිසා ගැනයි.


සිරා කොලුවගෙ මෑණියන්ගෙ සීයා දාවිත් අප්පුහාමි මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ ඉඳලා ගම්පහ ප්‍රදේශයට පදිංචියට ආවෙ බොහොම තරුණ කාලෙදි. ගම්පහ නාගරික සීමාව අවට 1900 - 1920 කාලය අතරතුරදි ඇති තරම් හිස් ඉඩ කඩම් තිබුනා. රටේ අග නගරයට යාබදව, වෙනත් ස්වභාවික කරදර වලිනුත් තොර මේ භූමිය අනාගත වාසස්ථානය කර ගන්න එදා ඔහුට හිතෙන්න ඇති. සුල්තානාගොඩ ඉඳලා වෙළදාම ඔස්සේ ගම්පහට ආපු දාවිත් අප්පුහාමි ගම්පහ නගරය තමන්ගෙ අනාගත වාසස්ථානය කරගත්තා විතරක් නෙමෙයි ඒ අවටින්ම තමන්ගෙ භාරියාවත් හොයා ගත්තා. අදටත් ගම්පහ නගර සීමාවේ ජීවත් වෙන අයගෙන් 80% ක් මාතරින් ගම්පහට පැමිණි පරම්පරාවෙන් පැවතෙන අය. දාවිත් අප්පුහාමි පරම්පරාවෙ ජාන වල සටහන් වෙලා තිබුනෙ. වෙළඳාම විතරමයි. ඒ ඇත්තො වෙළඳාමෙන් තොර ජීවන උපායක් ගැන දැන උන්නෙ නෑ.

දාවිත් මුත්තගෙ කසාදෙ ප්‍ර‍තිඵල විදියට පුතුන් තුන් දෙනෙක් මෙලොවට ජනිත උනා. ඒ අයගෙන් වැඩිමලාගෙ නම මාටින්. උන්දැ පස්සෙ කාලෙක ගම්පහ නගරයේ වෙළඳ ප්‍ර‍ජාව අතර ප්‍ර‍සිද්ධියට පත් උනේ මාටින් මුදලාලි කියන නාමයෙන්. මාටින් මුදලාලි තමයි සිරා කොලුවගෙ මවගෙ පියා. එහෙමත් නැතිනම් සිරා කොලුවගෙ සීයා. ඔහුත් තමන්ගෙ පරම්පරාව අනුවම වෙළඳාම ජීවනෝපාය කරගත් අයෙක්.

1950 දශකය කාලෙ  අද ගම්පහ එළවළු මාරකැට්ටුව තිබෙන තැන ස්ථිර ගොඩනැගිල්ලක් තිබිලා නෑ. විවිධ වෙළඳුන් ඉඩ කඩ තිබෙන පරිදි  තම තමන්ගෙ වෙළඳාම් කටයුතු කරගෙන ගොස් තිබෙන්නේ එළිමහනෙ. මේ විදියට එළවළු, පළතුරු, කුළුබඩු, හට්ටි මුට්ටි වගේ දේවල් එළිමහනෙ වෙළදාම් කරන වකවානුවක හිටි අඩියේම මේ වෙළඳුන් වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳිකරන්න ගම්පහ නගර සභාවේ ඇත්තන්ට හිතක් පහළවෙලා තියෙනවා.

මේ ගොඩනැගිල්ලෙ වැඩ ඉවර උනාම එතෙක් එළිමහනෙ වෙළඳාම් කරපු ඇත්තන්ට ගොඩනැගිල්ල තුල ස්ථිර කඩකාමර ලබාදෙන්න තීරණය වෙලා. නොම්බර ඇදීමකින් තමයි ඒ ඒ අයට හිමි කඩකාමරය පිහිටි ස්ථානය තීරණය වෙලා තියෙන්නෙ. සිරා කොලුවගෙ සීයා ඒ වෙද්දි ස්ථාන දෙකක තමන්ගෙ වෙළඳාම් කටයුතු කරමින් හිටිය නිසා ඔහුට කඩකාමර දෙකක් හිමි වෙලා තියෙනවා. මගේ මෑණියන් පවසන පරිදි ඔහුට ලැබිලා තියෙන්නෙ 40 න් උඩ ඉලක්කමක්. ඒ අනුවයි ඔහු තමන්ගෙ කඩ කාමර දෙක තෝරගෙන තිබෙන්නෙ.

අපේ මාටින් මුදලාලි සීයගෙ ප්‍ර‍ධාන වෙළඳ ද්‍ර‍ව්‍ය උනේ පළතුරු. කොළඹින් ඇපල්, මිදි, දොඩම්, පෙයාර්ස් වගේ පිටරට පළතුරු වර්ගත්, ගම් පළාත් වලින් රඹුටන්, කෙසෙල්, මැංගුස්, අඹ වගේ පළතුරු වර්ගත් ඔහු කරා ආවා. සමහර වෙලාවට ඔහු විසින්ම කොළඹින් මේවා අරගෙන ආවා. එහෙමත් නැත්තං කොළඹ යන වෙනත් කෙනෙකු මාර්ගයෙන් ගෙන්වා ගත්තා.

සිරා කොලුවට යමක් කමක් තේරෙන වයසෙදි මම දැක්කෙ සීයගෙ පළතුරු කඩේ ගොඩගහලා තියෙන පළතුරු ගොඩවල්. සමහර වෙලාවට කඩේ ඇතුලෙම පළතුරු කළුවෙලා, වේලිලා අවසන් ගමන් ගියා. ගණුදෙනුකරුවො කොච්චර හෙට්ටු කලත්, මොන තරම් අඳෝවැඩියා කිව්වත් සීයා තමන්ගෙ ගාන අඩු කලේ නෑ. ඒ ගානට විකුණන්න බැරිවෙලා කුණුවෙලා ගියත් කමක් නෑ. ඔහු එහෙම හිතන්න ඇති. මාටින් මුදලාලි බොහොම සෘජු චරිතයක් කියලා මම ලිපිය ආරම්භයේම කිව්වෙ ඒ නිසයි.

නෝනා මේ, ගන්නෙ නැත්තං ඔබා ඔබා බලන්නෙ නැතුව යන්න...

තමන්ගෙ අඹ ගොඩෙන් අඹ ගෙඩි කීපයක් ඔබ ඔබා බල බලා සිටින නෝනෙක් දැක්කම අපේ සීයා කිව්වෙ එහෙමයි. පාරිභොගිකයගෙ හැසිරීම අනුව ඔහු හෝ ඇය පළතුරු මිළදී ගන්නවද නැද්ද කියලා ඔහු දැන උන්නා වෙන්න පුලුවන්.

වර්තමානයේ ලංකාවෙ ඉතාම ප්‍ර‍සිද්ධ අංක එකේ සමූහ ව්‍යාපාරයක නැසීගිය හිමිකරුවා වගේම මූලාරම්භකයා,  ඥාතීත්වයෙන් මගේ සීයාගෙ බාල සහෝදරයෙක්. ඔහුත් මාතර පළාතෙන් ඇවිත් ගෙන්දගම් පොළවේ පය තබපු කෙනෙක්.

තමන්ගෙ ව්‍යාපාර බොහොම සුළුවෙන් කෙරෙන කාලෙ ඔහුගේ තාවකාලික නවාතැන වගේම ආහාර සම්පාදනය සිදු වී තිබෙන්නෙත් ගම්පහ විජයාරාම පාරෙ පිහිටා තිබුන අපේ සීයගෙ නිවසින් , එහෙමත් නැතිනම් අම්මගෙ මහ ගෙදරින්. මගේ මෑණියන්ගෙ මව හෙවත් මාටින් මුදලාලිගෙ ප්‍රිය බිරිඳ කිරි අම්මා, මෙවැනි චරිත වලට අදෝවැඩියාවකින් තොරව බත් තම්බපු නිර්ලෝභී චරිතයක්.

අඩියෙන් අඩිය ව්‍යාපාරික ලෝකයෙ ඉහළට ගිය මේ මුදලාලි චරිතය මුලින්ම මිළට ගත්තෙ මොරිස් මයිනර් කාර් රථයක්. ඒ අවදියෙ තමයි ඔහු අවසාන වශයෙන් සීයගෙ නිවසෙ පස් පාගා තිබුනෙ. ලංකාවම හඳුනන ප්‍ර‍සිද්ධ, ධනවත් ව්‍යාපාරිකයෙක් බවට පත් උනාට පස්සෙ ඔහු තමන්ගෙ ඥාතීන් තමන්ගෙ දෙපා මුලට ගෙන්වාගන්නා සිරිතකට පණ දී තිබෙනවා

කවදත් කෙලින් කථාවක් තිබුන අපේ සීයා හෙවත් මාටින් මුදලාලි බොහොම අවංකව කිව්වෙ බාලයා වැඩිමලා ලගට එනවා මිස, වැඩිමලා බාලයා ලගට යන සිරිතක් නෑ කියලා. ඔහු කවදාවත්  තමන්ගෙ මලණුවන් කෙනෙකු වන මේ ධනවත් ව්‍යාපාරික තැන හමුවෙන්න ඔහුගේ දෙපතුල ළගට ගියේ නෑ, තමන්ගෙ දරුවෙක් යැව්වෙත් නෑ. ඔවුන්ට රැකියාවක් දෙන්න කියලා ආයාචනය කලෙත් නෑ . අපේ සීයා එදා ඊට වඩා වෙනස් ලෙසකින් හැසිරුනා නම් අද සිරා කොලුවත් මේ කියන දැවැන්ත ව්‍යාපාරික ජාලයේ ඉහළ කළමණාකාර තනතුරක ඉන්න ඉඩ තිබුනා.

මාටින් මුදලාලිගෙ පළතුරු වෙළඳ සැලේ කටයුතු සිදු උනේ ඔහුටම ආවේණික ක්‍ර‍මයකට. කොපමණ හෙට්ටු කලත් තමන්ගේ මුදලට මිස ගණුදෙනුකරුවා ඉල්ලන මුදලට ගණුදෙනුකරන සිරිතක් ඔහුට තිබුනෙ නෑ.  ඒ නිසාම බොහෝ වෙලාවට මුදල් දී ලබාගත් පළතුරු කඩය ඇතුලෙම කුණු උනා.

මෙවැනි පාඩු නිතරම සිදු වෙද්දි ඔහුට සිතුනා වෙළඳාමෙන් අයින් වෙලා කරත්ත රස්සාවෙ රහ බලන්න. නිවැසියන්ට කිසිම දෙයක් නොකියා දවසක් ඔහු හොර රහසේම තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයක් අත්පිට මුදලට විකුණලා තිබුනෙ ගොනෙක් සහ කරත්තයක් මිළදී ගන්නා අරමුණෙන්. නමුත් දුර දිග දකින මනා නුවනක් තිබුන අපේ මිත්තනිය, කිරි අම්මා එදාම ඒ මුදල රැගෙන කඩ කාමරය මිළදී ගත් ව්‍යාපාරිකයා මුණ ගැහිලා, ඔහුට නොවඳිනා වැඳුම් වැඳලා ආයෙමත් එය ලබා ගන්න සමත් වෙලා තිබුනා.

තමන්ගෙ පරම්පරාව අනුව වෙළඳාම ජීවනෝපාය කරගත්ත අපේ සීයා 1950 දශකයෙදි  ආර්ථික තත්වය අතින් ඉහළ තැනක හිටියා කියන්න හරි අපූරු උදාහරණයක් තියෙනවා. ඔහු තමයි ගම්පහ විජයාරාම මාවතේ නිවෙසකට මිළදී ගත් පළමු ගුවන් විදුලි යන්ත්‍රයේ හිමිකරුවා. එංගලන්තයෙ එළිසබෙත් මහ රැජිනගෙ විවාහයේ විස්තර ගුවන් විදුලියෙන් අහ ගන්න ඒ පළාතෙ බොහෝ දෙනා මේ නිවසට මේ විවාහ උත්සවය පැවැත්වුන දවසෙ එක් රැස් වූ බවක් කිරි අම්මා ජීවතුන් අතර සිටි කාලයෙදි මා හට කියා තිබෙනවා.

සිරා කොලුවට දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම අම්මගෙ මහ ගෙදර යන්න තිබුනෙ පුදුමාකාර කැමැත්තක්. අපේ සීයා වගේම කිරි අම්මත්, අම්මගෙ අයියා හෙවත් මාමගේ සමාගමයත් මගේ පුංචි හිතට එකතු කල චමත්කාරය ඉතාම ඉහළයි. ඒ නිවෙසට ගිය හැම වෙලාවකම අපේ සීයා තමන්ගෙ වියදමෙන් අපේ පුංචි බඩගෙඩි රසමසවුලෙන් පුරවන්න දැරුවෙ ලොකු මහන්සියක්. ඔහු අපට ආදරය දැක්වූවෙ ඉතාම නිහඩව බව තමයි මගේ මතකයෙ තියෙන්නෙ.

උදේම මාරකැට්ටුවෙ පළතුරු කඩයට යන සීයා, එතන කටයුතු අහවර කරලා හැන්දෑවෙ 5 - 6 වෙද්දි ආපහු නිවෙසට එන්නෙ පා ගමනින් පුංචි මල්ලකුත් එක උරහිසක දරාගෙන. නිවසට එදිනෙදා උවමනා අඩු වැඩිය හැංගිලා තිබුනෙ ඒ බෑග් මල්ල අස්සෙ. සීයා නිවසට ආවට පස්සෙ කිරි අම්මා හදලා දෙන තේ කෝප්පයකින් කාරිය සප්පායම් වෙලා ගෙමිදුල අමදින්න පටන් ගන්නවා.  නිවෙසට පිටතින් තිබෙන පහන් පැලේ පහන දල්වන්නෙ හැමදාමත් එකම වෙලාවකට වගේ. මමත් , මයෙ මලයත්, අපේ මාමගෙ පුත්‍ර‍ රත්නයත් එකට එකතු උනාම පුංචි පහේ වළියක් දෙකක් යන්නෙ කලින් සැලසුම් කරලා නෙමෙයි. එහෙම වෙලාවට අපේ සීයා, මාමගෙ පුත්‍ර‍යගෙ නම පවසමින් ඒකාට ආඩපාලි කියන්නෙ  මේකා තමයි මූලිකයා කියමින්. මේ සියලුම රාජකාරි අවසන් උනාට පස්සෙ විශාල වෑල් රේඩියෝව ලඟ ඉඳගෙන වෙළඳ සේවය සුසර කරන එක ඔහු නොවැරදීම සිදු කලා. මේ  ගුවන් විදුලි යන්ත්‍ර‍ය මෑතක් වනතුරුම යෙහෙන් වැජඹුනත් වර්තමානයේ එයට කුමක් සිදු වී දැයි මම දන්නෙ නෑ.

මා හට මතකයක් නැති වුවත් වතාවක් සීයගෙ සංවිධාන ශක්තියෙන් ගම්පහ ප්‍ර‍දේශයේ දේශපාලන රැස්වීමක් පවත්වා තිබෙනවා. එදා මේ රැස්වීමට ප්‍ර‍ධාන කථිකයා විදියට සහභාගි වෙලා තියෙන්නෙ විජය කුමාරණතුංග මහතා. ඔහුව බුලත් හුරුල්ලක් දී පිළිගෙන ඇත්තෙත් අපේ සීයා විසින්. පුංචි සිරා කොලුවා කිරි අම්මගෙ  අතට වෙලා මේ රැස්වීම දිහා බලාන ඉඳලා තියෙන්නෙ විජයව දැකගන්න ආව මහ සෙනග අස්සෙ රැස් කමින්. එදා ඒ මහ සෙනග අස්සෙ උන්න මදාවියෙක් සිරා කොලුවගෙ පංචායුදේට වග කියලා.

පුංචි සිරා කොලුවා සීයගෙ පළතුරු කඩේට යන්න ලැබුන අවස්ථා වලදි එහෙ ගියෙ බොහොම ආශාවෙන්. එහෙම ගිය දවසක, සීයා කිරි තේ එකක් අරගෙන එන්න මාව කඩේ මුදලාලි කරලා ගිය අල්ල පනල්ලෙ මම පුංචි ගණුදෙනුවක් කරලා ඉතිරි මුදල් නිවැරදිව ලබා දුන්නා. සීයා ආවෙ කිරි තේ කෝප්ප දෙකක් සහ ආනමාළු කෙසෙල් ගෙඩිත් අරගෙන. මගේ කථාව අහපු උන්දැ බොහොම සතුටට පත් උනා. ඒ දවස තවමත් මගේ මතකයෙ ගැඹුරෙ නිරුපද්‍රිතව සටහන් වෙලා තියෙනවා.

අපේ මාටින් මුදලාලි සීයට තිබුනා බොහොම කැත පුරුද්දක්. ඒ තමයි කටේ තියෙන බුලත් හපේ සමගම නින්දට යාමේ පුරුද්ද. හුණු, දුංකොල එක්ක ඒදන මේ බුලත් විඩේ රස ඔහුට දිනපතා බලන්න ඕනෙ. හැබැයි නින්දට පෙර ඉවත් කරන පුරුද්ද හුරු කරන්න කිසිම කෙනෙක්ට හැකියාව ලැබුනෙ නෑ

මේ විදියට බුලත් විට කෑමේ ප්‍ර‍තිඵලයක් විදියට අපේ සීයගෙ තොල් වල පිළිකා තත්වයක් ඇති උනා. එයට ප්‍ර‍තිකාර කරන්න ඔහුව මහරගම පිළිකා රෝහලේ නැවැත්තුවා. සිරා කොලුවගෙ අම්මා, එයාගෙ අයියා, සහ නංගි ගම්පහ සිට මහරගමට දිනක් හැර දිනක් යමින් සීයගෙ සැප දුක හොයලා බැලුවා.

විශේෂඥ දොස්තර මහත්වරුන්ගෙ නිර්දේශ අනුව සැත්කම් දෙකක් සීයට කරන්න නියම උනා. පළවෙනි පියවර යටතේ කලවයෙන් ලබාගන්න පටක යොදාගෙන ඔහුගේ මුඛය සම්පූර්ණයෙන්ම වසා දමන්නට තීරණය කලා. ඒ කාලසීමාවෙදි ඔහුට දියරමය ආහාර පමණක් ලබාගන්නට කුඩා බටයක් ස්ථිර ලෙස මුඛයේ රඳවා තිබුනා. දෙවැනි සැත්කම යටතේ පෙර පරිදි මුඛය නැවත් සකසන්නට තීරණය වී තිබුනා.

මේ ප්‍ර‍තිකාර ආරම්භ කරන්න කලියෙන් දවසක සිරා කොලුවගෙ අ.පො.ස සා/පෙ ප්‍ර‍තිඵල පිට උනා. මෑණියන් සමග සීයව බලන්න මහරගම ඉස්පිරිතාලෙ ගිය දවසක ඔහු තමන්ගෙ වේදනාව යටපත් කරගෙන මගෙන් ඇහුවෙ විභාගෙ සමත් උනාද කියලා ? මම ඔව් කිව්වම ඒ අසරණ මුවේ නැගුන මන්දස්මිතිය මට කිසිදාක අමතක වෙන්නෙ නෑ. මෙදා පාර අලුත්අ වුරුද්දට මට ඉන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ. ඔහු බොහොම දුක්බරව කියපු ආකාරය මට හොඳින් මතකයි.

ඊට පස්සෙ සිදුවුනේ බොහොම ශෝචනීය සිදුවීමක්. ගම්පහ සිට මහරගමට තියෙන දුර ප්‍ර‍මාණය වැඩි නිසා සීයා බලන්න ගෙදරින් නිවැසියො ගියේ දවසක් හැර දවසක්. එලෙස ගිය දවසක සීයා තමන්ට අදාළ ඇදේ දකින්න සිටියෙ නෑ. වැඩිහිටියන් ඔහු පිළිබඳ රෝහල පුරාම හෙව්වත් ආරංචියක් ලැබුනෙ නෑ

ඉස්පිරිතාලෙන් පැනලා යන්න ඇති. අදාළ බලධාරීන් එහෙම කිව්වා. ඒත් ආහාර ගන්න ඒ වෙද්දි කටක් නැති නිසා ඉස්පිරිතාලෙන් එළියට ගියාට ජීවත් වෙන්න නම් අමාරුයි.

ඔයින් මෙයින් සීයගෙ රූපකාය අවසන් වශයෙන් දකින්නට අවස්ථාවක් නොදීම ඔහු අතුරුදහන් උනා. කිරි අම්මා අංජනම් බලන, සාස්තර කියන තැන් වල හරියට රස්තියාදු උනා. ගෙදර එන්න කියලා ඉස්පිරිතාලෙන් ආවට මඟදි පාර වැරදිලා. සමහර අය අංජනමෙන් බලලා එහෙම කිව්වා. සීයගෙ දරුවො පොලීසියෙන් පුවත් වලට කියන නාඳුනන මළ සිරුරු හඳුනා ගන්න ගියා. එහෙත් අද වෙනතෙක් ඔහුව නැවත හොයාගන්න අපිට හැකි උනේ නෑ.

සීයගෙ වියෝවෙන් පස්සෙ දැන් වසර 18 ක්ම ගෙවිලා. මේ කාල සීමාව ඇතුලෙ මොන තරම් දේ අපේ ජීවිත වලට එකතු උනත්, සීයගෙ කුණුවෙමින් යන පළතුරු ගොඩක් අස්සෙ ඉඳගෙන කිරි තේ  බිව්ව අතීතය මගේ හිතට තවමත් මිහිරක් කාන්දු කරනවා. සීයගෙන් පස්සෙ ඔහුගෙ කඩ පිළිබඳ හිමිකම ලබාගත්ත අපේ අම්මගෙ නංගි ඒවා තවත් පාර්ශවයකට කුලියට දී තිබෙනවා. මේ ස්ථානයෙන් අහම්බෙන් යන දවසක මට නොවැරදීම සීයගෙ කඩේ දිහාට මගේ ඇස්ගෙඩි කරකැවෙනවා. පුංචි වෙලාවක් හරි ඒ ඉදිරිපිට නැවතී බලාන ඉන්න හිතෙනවා.  දැන් කඩය පවත්වාගෙන යන කෙනා පළතුරු වෙනුවට එළවළු විකුණන කෙනෙක්. ඔහුගේ එළවළු බක්කි අතරින් සීයගෙ පළතුරු ගොඩවල් සිහියට එද්දි ඔහු වෙනුවෙන් උපදින කදුලක් හැමදාමත් මගේ ඇස් අග රැදෙනවා.



මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

මේ ලිපිය සමගින් සිරාගේ කාමරයේ පල වූ සමස්ත ලිපි සංඛ්‍යාව 250 කඩඉමට ලඟා වූවේය.

ඊයේ දිනයට සිරාගේ කාමරයේ 4 වෙනි සංවත්සරය යෙදී තිබුනි. ඔබත් මමත් අතර මේ බැඳීමට දැන් වසර 4 කි.



Sunday, June 5, 2016

51 ඇය ෆාතිමා නම් වූවාය.

අද කථාවේ ප්‍රවේශය කාලයකට කලින් මවිසින් ලියූ සිරාගේ මහවේ ප්‍රේමය නැමති ලිපිය ඔස්සේ වැටී තිබේ. ඒ නිසා එම ලිපිය කියවා නැති ඇත්තන් මේ ලිපියට පෙර ඒ ලිපිය කියවීම මැනවි.

සිරා කොලුවාගේ පෙම් ජවනිකාවක් සෑහෙන දොහකින් ලියා නැත. මගේ ලිපි කියවීමට කාමරයට එන යන ඇත්තන් සමහරෙක් පෙම් ජවනිකා වලට වඩාත්  ඇළුම් කරති. ඒ බැව් ඒ අයගේ ප්‍ර‍තිචාර වලින් පැහැදිලි වී තිබේ. සිරා කොලුවාගේ අතීත පෙම් ජවනිකා සීරුවට මාරුවට මෙතුවක් දවසක් ලියාගෙන ආවෙමි. මේ එහි තවත් පියවරකි.

සිරා කොලුවාගේ මහවේ ප්‍රේමය අසාර්ථක වෑයමක් පමණක් වීමෙන් පසු මගේ චිත්ත සන්තානයම සෑහෙන දොහක් යනතුරු තිබුනේ මහා අන්ධකාරයක ගිලී යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මුලු හදින්ම යුවතියකට ඒක පාර්ශවීයව හෝ ආදරය කරන්නට යාම මහා වේදනාවක ඇරඹුම බව මම ඒ වන විට පසක් කරගෙන සිටියෙමි.

ඒ මහා මූසල කාල සීමාවේ මගෙ දුක යම් තරමකට හෝ පහව ගියේ නම් ඒ ෆාතිමාගේ සමාගමය නිසයි. එවකට මා සේවය කල දැන්වීම් ප්‍ර‍චාරණ ආයතනයේ මා අසලම සිටි චරිතය ඇයයි. කොළඹ ඉපදී කොළඹ හැදී වැඩී කොළඹ පරිසරයට හුරුව සිටි ෆාතිමා ලග මා සිතා සිටියාට වඩා තෙත් හදවතක් ඇති බැව් මා හට ප්‍ර‍ත්‍යක්ෂ වූයේ මේ කාලසීමාවේදීය.

අලුත් දවසක කාර්යාලයට ගිය හැම විටම හිමිදිරියේ ඇය කුමක් හෝ දෙයක් ගැන මා සමග දොඩමළු වෙයි. ඒ කථා බහ අවසානයේ ඇය මට හැමදාමත් කිව්වේ...

අමාලි ගැන හිතලා දුක් වෙන්න එපා...ඔයාට හොඳ කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඉවසීමෙන් ඉන්න...යනුවෙනි.

කාලය වෙනදා මෙන් ටික් ටික් හඬින් ගෙවී ගියේ බොහෝ සේ මන්දගාමීවය. ඒ කාල සීමාව අතර තුර මා අසල සිටින මෙතෙක් මා නුදුටු ෆාතිමා දැන හැඳින ගත්තෙමි. ඇගේ ලෙංගතුකම, මා කෙරෙහි ඇති දයාව ආදී කාරණා ප්‍ර‍මුඛ කොට දිනෙන් දින මා ඇය කෙරෙහි ආශක්ත වන බවක් මට දැනෙන විට මා ඇගෙන් වෙන් වී දුරට යන්නට බැරි තරමට ලං වී හමාරය.


බොහෝ අසාර්ථක ඒක පාර්ශවීය ප්‍රේම වෘතාන්ත වල හිත රිදුන අයගේ සිත් සනසන්න වෑයම් කරන අය හෙවත් සපෝටර්ලා හිත රිදුන පාර්ශවය සමග හිත් වලින් බැඳීම බොහෝ සේ සුලභ බව එවැනි කථා පුවත් කෙරෙහි අවධානය යොමු කරන ඔබට වැටහෙනු ඇත. මෙතැනදිත් නැවත වරක් සිදුවූයේ එයම බැව් නොසගවා ඔබට හෙළි කරන්නට මම රිසි වෙමි.

එතරම් රුවැත්තියක් නොවුනත් ප්‍රියමනාප පෙනුමක් තිබූ ෆාතිමා වෙනුවෙන් මගේ හිතේ ආලයක් ඉපදී තිබේ. ජාතිය, කුලය, ආගම වැනි කාරණා එවැනි හැගීමක් ඉදිරියේ අවලංගු කාසි වැනිය. මම ඒවා කිසිවිටෙක නොතැකුවෙමි. මා සමග තිබෙන ෆාතිමාගේ සමාගමය දිනෙන් දින මා ඇය වෙතම අද්දවා ගන්නට සමත් උත්තේජකයක් වැනිය. අවසානයේ අසරණ සිරා කොලුවාට නැවත වරක් අර  අසික්කිත ලෙඩේ වැළඳී හමාරය. මේ අසනීපය වැළඳුනොත් සමහරුන්ට සුව වෙන්නට කල් ගත වෙයි. සමහරුන්ට ඉක්මනින් සුව වෙයි. එය රෝගයේ බරපතල කම අනුව තීරණය වන්නකි.

ආලයක් හිතේ හිරකරගෙන ඉන්නට ඉතා අමාරුය. ලගම හිතවතුන් කීප දෙනෙකුට හෝ එය සැල කිරීමෙන් සිතට යම් තරමක සැහැල්ලුවක් මෙන්ම ආදරය ලබා ගන්නට යන ගමන පිළිබඳව යම් සැලසුමක්ද අටවා ගැනීමට හැකියාවක් ලැබේ.

එකල මාසයකට වරක් හෝ දෙකක් සිකුරාදා දිනවල  සන්ධ්‍යා භාගයේදී බොරැල්ල Mint Leaf අවන් හලේදී මගේ සේවා ස්ථානයේ උන් සමග අඩියක් ගසන්නට සැට් වීම සාමාන්‍ය කාරණාවක් වී තිබුනි. පුබුදු, චන්දන, ජීවන් මේ මිත්තර සම්පත්තියට අයත් වූවෝ වෙති. මේ අතරින් පුබුදු, ජීවන් කොළඹ පරිසරයේ හැදී වැඩී තිබුන අතර පුබුදු අපගේ ප්‍ර‍ධාන ඩිසයිනරයා මෙන්ම අපගේ නොයෙක් ගැටලු වලට විසඳුම් ලබා දෙන ලොකු අයියාගේ චරිතයද රඟපෑ චරිතය වූවේය. ඔහු ඉදිරියේ අපි අපේ පුද්ගලික ගැටලු පවා දිග හරින්නේ ඔහුගෙන් ඒවාට සාධාරණ විසඳුම් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි. චන්දනයා දකුණු පළාතේ චරිතයක් වූ අතර ජීවන් දමිළ දෙමාපිය යුවලකට දාව 83 කලු ජූලිය අස්සේ ඉපදුන එකෙකු නිසා ඔහුගේ මතු ආරක්ෂාව පතා නමේ මුල කොටස සිංහල නමක් සේ දිස්වෙන පරිදි යොදා තිබුනි. ඒ කථා පුවතත් මෙවැනිම සැට් වීමකදී වරක් ඒකා විසින් ඇඳ බෑ අන්දම මට මතකය. ජාතකය එසේ වුවත් කාර්යාල පරිසරයේදී අපි සියල්ලොම ඉතාම සමගි සම්පන්නව සිටියෙමු.

එක් වැසිබර සන්ධ්‍යාවක මේ අවන් හල් සෙවනේදී ප්‍රථම වතාවට ෆාතිමා පිළිබඳ කාරණය මම නොසගවා උන් හට පැවසුවෙමි. පානය කරන්නට ඉහළට ගත් රහ මෙර වීදුරු පසෙක තබා ඔව්හු පුදුමයෙන් වාගේ මා දෙස එක එල්ලේ බලා සිට ඇසුවේ එකම එක පුරස්නයකි.

උඹ සිරාවටමද ඔය කියන්නෙ...

මම ඔව් යනුවෙන් මුණිවත බිඳ දැමුවෙමි.

එකෙනෙහිම මා වෙත එළැඹි ජීවන් මා දැඩිව වැළඳ ගනිමින් මා හට සුභ පැතුවේය.

ඒකි ගොඩාක් හොඳ කෙල්ලෙක් බං...මම ගොඩාක් කැමතියි උඹලා දෙන්නා එකතු වෙනවා නම්...හැබැයි පුතෝ මේ ගේම ලේසි වෙයි කියලා නම් හිතන්න එපා. මුස්ලිම් පවුලකින් වෙන ආගමක එකෙක් කෙල්ලෙක් ගන්නවා කියන එක පට්ට ගේමක්. දැන් බලහං අපියි, ෆාතිමයි දෙගොල්ලොම කථා කරන්නෙ දෙමළ....එහෙම කියලා අපිටවත් බෑ බං උන්ව බඳින්න. ඒත් උඹ සැලෙන්න එපා. ජීවන් මගෙන් මෑත් වෙමින් කී වදන් මා හට තවම මතකය.

උඹ ඉක්මනින් ඔය අදහස ෆාතිමාට කියපං...අර කෝච්චියෙ ලව් එක වගේ ඇද ඇද ඉන්න එපා. හැබැයි පුතෝ ඒකි හිතයි උඹ විහිළු කරනවා කියලා...බලහංකො බොරු නම්. පුබුදු එසේ කීවේය.

එයින් අනතුරුව මේ පිළිබඳ බොහෝ දුරට අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව අපි විසිර ගියෙමු.  ඊලග සතියේ දිනක මගේ සිතැගි ෆාතිමාට කියන්නට මම ඉටා ගතිමි. සෑම දිනෙකම සේවය නිමවී ඇය නිවෙස බලා යන්නට අතුරු පාරට පිවිසෙන්නේ මා සමගම වීම මට මහත් සහනයකි. මගේ සැලසුම් පිළිබඳ දන්නා අනෙක් උන් කිසිවෙක් අපට බාධා කරන්නට නොපැමිණියෝය.

ඇය පැණි නාරං කන්නට ඉතා මනාපය. අපේ නිවසේ තිබෙන පැණි නාරං ගසේ ඵලදාව ඒ වන විට හොඳ තත්වයේ පැවතිනි. මම උරයක් පිරෙන්නට නාරං කඩා පසුදින ෆාතිමා වෙත ලබා දුන්නෙමි. ඊටත් පසු දින ඇය ඒවායේ අනර්ඝබව කියමින් මා හට නොයෙක් වර ස්තූති වන්ත වූවාය. අද දවසෙ මූඩ් එක හොඳයි..හැන්දෑවට මගේ අදහස කියලා දාලා හිත සැහැල්ලු කරගන්නවා. මම එසේ සිතීමි.

තවම වැඩ ඉවර නැද්ද? මම නම් යන්න යන්නෙ..එනවද ? ෆාතිමාගේ සුන්දර දෑස මා දෙස බලා සිටින්නේ මා අපහසුතාවයකට පත් කරමිනි. තවත් මොහොතකුදු පමා නොවී මම ඇයත් සමග කාර්යාලයෙන් ඉවතට පැමිණියෙමි. බොරැල්ල කොටා මාර්ගයට දිවෙන කාර්යාල අතුරු මාවතේ දැන් අපි දෙන්නා පමණි.

ෆාතිමා...මම ඇය දෙස හොරෙන් බලා තෙපලුවෙමි.

වෙනදාට සල්වාර් ඇදුමකින් සැරසී කාර්යාලයට එන ඇය අද දිගු සායක් සමග බ්ලව්සයක් හැඳ තිබේ. මේ ඇඳුමට ඇය ඉතා අලංකාරව දිස් වෙන බව මගේ ඇතුලු හදට දැනිනි. ඇගේ විලවුන් සුවඳ මගේ නාස් පුඩු ඔස්සේ ඉහළට ඇදෙන්නට වෙර දරයි. මුස්ලිම් යුවතියන් හිස ආවරණය කරනවා උවත්..ෆාතිමා එසේ නැත. ඇය ඒ රෙදි කඩෙන් උරහිස කොටස ආවරණය කරගෙන සිටියාය.

ඇයි...මොහොතකට පසු ඇය පිළිවදන් දුන්නාය.

මට කියන්න දෙයක් තියෙනවා...

ඉතින් කියන්න.

කලින් වතාවේ ඇප්ලිකේෂන් දමන්නට ගිය මගේ භෞමික අඛණ්ඩතාව ඒ වන විට යම් සාධනීය මට්ටමකට පැමිණ තිබූ නිසා සිතැගි පවසන්නට විළියක් නැත.

මම ඔයාට කැමතියි...මම ආයාසයකින් තොරව කියුවෙමි.

අහෝ...ෆාතිමා එය විහිලුවක් ලෙස සිතා සැනෙකින් බැහැර කළාය. මා හට පුබුදුගේ වදන් සිහිවූවේය.

අනේ අනේ...ඔයත් මාර විහිළු තමයි කරන්නෙ...අැය මගේ උරහිස ඇගේ උරහිසෙන් තල්ලු කරමින් පැවසුවාය.

අධෛර්යමත් නොවී මම නැවත වතාවක් එම දෙබසම තෙපළුවෙමි. 

ෆාතිමාගේ මුහුණේ කිසිම වෙනසක් නැත. ඇය අඛණ්ඩව සිනා සෙන්නේ මම විහිළු කරනවා යැයි සිතාගෙනය.

මේක විහිළුවක් නෙමෙයි ෆාතිමා...මම ඔයාට කැමතියි ...ආදරෙයි.

ඒ වදනින් පසුව ෆාතිමාගේ මුවේ වූ සිනාව අතුරු දහන් වූ සෙයකි. ඇය අදහා ගත නොහැකිව පුදුමයෙන් මෙන් මා දෙස දෑස් ලොකු කර බලා උන්නාය.

ඔය ඇත්තමද ? මම කවදාවත් හිතුවෙ නෑ ඔයා මට ආදරේ කරයි කියලා...ඇයි මට ආදරේ කරන්න හිතුනෙ.

ෆාතිමා මගේ අත අල්ලා ගත්තාය. මගේ හදවත ආදරයෙන් පිරී ඉතිරී ගොසිනි.

අමාලිට ආදරේ කරන්න ගිහිල්ලා රිදුන හිත හැදුවෙ ඔයා. ඔයා ගොඩාක් හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්. ඉතින් මට ආදරය කරන්නෙ නැතුව ඉන්න බැරි උනා.

ෆාතිමා මා දෙස මහත් භක්තියෙන් යුතුව බලා උන්නාය.

ඔයා දන්නවා අපි දෙන්නා ආගම් දෙකක. මේක ලේසි වෙන්නෙ නෑ...ඔයාට තේරෙනවනෙ...මට දවස් කීපයක් දෙන්න. මම මේ ගැන කල්පනා කරලා ඔයාට උත්තරයක් දෙන්නං. එදින ඇය මගෙන් සමුගත්තේ එසේ තෙපලීමෙන් අනතුරුවයි.

ෆාතිමාගේ පිළිතුර කුමක් වේදැයි දෙගිඩියාවෙන් යුතු දින කීපයක් ගත කළෙමි. ඒ දින කීපයේ ඇය මේ පිළිබද කිසිම දෙයක් නොකියන්නට තරම් පරිස්සම් වූවාය. එහෙත් එක් දිනක් සවසක ඇය අන් අයට නොඇසෙන සේ,

අද මා එක්ක යන්න එන්න. එදා ඔයා අහපු දේ ගැන මම කල්පනා කරලා තීරණයක් ගත්තා. ඇය මා දෙස එක එල්ලේ බලා පැවසුවාය.

සිරිත් පරිදි අපි දෙදෙනා දැන් වෙනදා මෙන්ම කොටා මාර්ගයට වැටෙන අතුරු පාරේ ඇවිදිමින් සිටින්නෙමු.

මම මෙහෙම කිව්වා කියලා ඔයා කලබල වෙන්න එපා. ඔයා ගොඩාක් හොඳ කොල්ලෙක්. ගොඩාක් සීරියස් කොල්ලෙක්. මට ඔයාගෙ හිත යම් දවසක මා නිසා රිදෙනවා බලා ඉන්න බෑ. මට මේකට කැමති වෙන්න බෑ. ඔයා දන්නවා මගේ පවුලෙ අය ඔයාව බදිනවට කීයටවත් කැමති වෙන්නෙ නෑ. මම ඔයා එක්ක පැනලා ගියත් ඒ අය මට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙත් නෑ. ඔයාගෙ ජීවිතේටත් ඒක අවධානමක්. 

මට මගේ අම්මා හිටියෙ නැත්තං ඔයා එක්ක එන්න හිත හදාගන්න තිබුනා. ඒත් මම එහෙම දෙයක් දැන් කලොත් මගේ අයියා..තාත්තා, නෑදෑයො හැමෝම බනින්නෙ අම්මට....කෙල්ලව හරියට හැදුවෙ නෑ කියලා. අම්මා පව්...ඒ නිසා මට ඒ තත්වෙට එයාව පත් කරන්න බෑ. මගෙන් වරදක් උනා නම්, මම කථා බහ කරපු විදියට ඔයාගෙ හිතේ බලාපොරොත්තුවක් ඇති උනා නම්,  මට සමාවෙන්න. ෆාතිමා දෑසේ කදුලු පුරවාගෙන මගේ අත අල්ලාගෙන සිටියාය.

කමක් නෑ ෆාතිමා...මම තරහා නෑ. මම ඇසෙන නොඇසෙන තරමට මිමිනුවෙමි.

මම එසේ පැවසූවත් ආදරයක් ඉපදුන චරිතයක් අසල ආදරයක් නැති අයුරින් හැසිරීම උගහටය. මම ඒ අත්දැකීම සිත් සේ වින්දෙමි.

ෆාතිමාගේ පිළිතුර පිළිබඳ කාර්යාලයේ මිත්තර කැල දැන සිටියෝය. ඔවුන් තවත් අවස්ථාවක් හෝ ලැබෙනු ඇතැයි යන සිතුවිල්ලෙන් දිවා ආහාර මේසයේ මමත් ෆාතිමාත් නොයෙක් වර තනි කළෝය. ෆාතිමා දිවා ආහාරය මා සමග ලබා ගැනීමට ටික දිනකින් පුරුදු වූවාය.

එවන් දවසක ඇය මුල් වරට අැගේ බත් පතෙහි වූ ව්‍යංජන මා සමග බෙදා ගත්තාය. ඇගේ මව පිළියෙල කල මාලු කරියේ රස මට තවමත් අමතක නොවේ.

දන්නවද වැඩක්..මම කවදාවත් කා එක්කවත් කෑම බෙදාගෙන කාලා නෑ. ඉස්කෝලෙ යන කාලෙදිවත් මම මගේ යාලුවෙක් එක්කවත් කෑම බෙදාගෙන කාලා නෑ. ඔයා එක්ක තමයි පළවෙනි වතාවට මෙහෙම කරන්නෙ. ඇය සිනාසෙමින් පැවසුවාය. මා ඇයගේ බත් පතෙහි තබන මගේ මව පිසූ ආහාර ඇය රස කරමින් භුක්ති වින්දාය. ඇය මේවා හලාල් දැයි සොයන්නට ගියේ නැත.

අමාලිට ආදරය කරන්න ගිහින් ඔයාගෙ හිත රිදුන තරම මට දැනුනා. ඔයා ගැන අනුකම්පාවෙන් තමයි මම ඔයාට ලං උනේ. ඒ හිත හදන්න. ඒත් ඔයා ඒක වැරදියට තේරුම් ගත්තෙ. ෆාතිමාගේ වදන් මම රිදුම් දෙන හදවතින් යුතුව අසා සිටියෙමි.

ඊට දින කීපයකට පසුව පුවත් පතක තිබූ දැන්වීමක් අනුව අපගේ එවකට සේවා ස්ථානයට වඩා හොඳ කාර්යාලයක ඩිසයිනර් තනතුරකට ඇය අයඳුම් කලේ මගේද අදහස් විමසීමෙන් අනතුරුවයි. ඒ කාලයේ හැටියට ඒ තනතුරට ගෙවූ වැටුප මෙන්ම ලැබෙන පහසුකම්ද ඉතා හොද මට්ටමක වූයෙන් මම ඇයව ඒ සඳහා දිරිමත් කළෙමි. වට කීපයක් පැවැත්වුන තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා සහභාගි වී සිටි ෆාතිමා සිරිත් පරිදි අප සමග සේවය කරමින් උන්නාය.

ඒ වසරේ නොවැම්බර් මස දිනක ඇය මා කරා ආවේ මගේ වැඩ කටයුතු අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදීය.

මම මේ අවුරුද්දෙ දෙසැම්බර් වලින් පස්සෙ මෙහෙ වැඩට එන්නෙ  නෑ. ලබන අවුරුද්දෙ ජනාවරි මුල ඉදන් අලුත් තැනට යනවා. අද තමයි මාව තෝරගත්තා කියලා දැන්වුවෙ.

ෆාතිමාගේ මේ වදන් ඒ අවස්ථාවේ මා හට ඇති කලේ මහත් වූ වේදනාවකි. ඇත්තෙන්ම එය ඇගේ ජයග්‍ර‍හණයක් වුවත්, ඇයට හිතවත් කෙනෙකු ලෙස මා සතුටට පත් විය යුතු වුවත්, ඈ වෙනුවෙන් මගේ හිතේ ඉපදී ඇති ආදරයේ නාමයෙන් එය මා හට මහත් වේදනාවක්ම වූවේය. 

ෆාතිමා නැති කාර්යාලයක සේවය කිරීම සිතාගන්නටත් නොහැකිය. කාර්යාල පරිසරයේදී ඇය මගේ හොඳම මිතුරියයි. මා පිළිබඳ වඩාත්ම සැළකිලිමත් කෙනාය. දිවා ආහාරය ගන්නට මා සමග එකතු වෙන සගයාය. ඉඳින් එවැනි චරිතයක් ඒ පරිසරයෙන් සමුගත් පසු ඉතිරිවන දරුණු හුදෙකලාව මා කෙසේ දරා ගන්නද ?

මේ හුදෙකලාව අනාගතයේ දවසක මා හට මහත් වූ වේදනාවක් විය හැකි බව ඉවෙන් මෙන් දැනුන හෙයින් මම එදින සිටම ෆාතිමාට කලියෙන් මේ ඔපීසියෙන් සමුගන්නේ යැයි ඉටා ගත්තෙමි. අවසානයේ මම සාර්ථක වීමි. පුවත් පත් දැන්වීමකට අනුව අයදුම්  කොට මම වෙනත් ආයතනයක සේවයට එක් වන්නට සමත් වූයෙමි.

ඔයාට හැකි ඉක්මනින් සේවයට වාර්තා කරන්න. ඔව්හු එසේ දැනුම් දුන් හෙයින් මම ෆාතිමාට කලියෙන්ම එතෙක් සේවය කල කාර්යාලයට සහ මිත්තර සම්පත්තියට සමු දුන්නෙමි.

ඇගෙන් සමුගත් පසු කාලයක් ගත වන තුරු මගේ චිත්ත සන්තානයම මහත් වූ පාලුවකින් පිරී ගිය බව සත්‍යයකි. මගේ පාසල් මිතුරන් සමග මධුවිතකට සම්බන්ධ වූ බොහෝ විට මම මේ ආදර කථාව උන් සමග පැවසුවෙමි. එහෙත් අද තරම් ජාතිවාදී අදහස් එකල පැතිර නොතිබුනත් මගේ මිතුරන් ඇයට එක හෙළාම විරුද්ධ වූවෝය.

තොට සිංහල කෙල්ලෙක් හිටියෙම නැද්ද යකෝ ලව් කරන්න. ඔව් සාහසික ලෙස ප්‍ර‍ශ්න කළෝය.

ඕක නොකෙරුන එකම තමයි හොඳ...අපි නම් පොඩ්ඩක්වත් කැමති නෑ මුස්ලිම් එකියක් කරේ එල්ලගන්නවට...ඔව්හු මගේ වේදනාව නොහඳුනන ලෙස තෙපලෝය.

එදා මෙදාතුර ආදරයක් නිසා මට මේ තරම් රිදුන තවත් කාලයක් නැත. ෆාතිමාගෙන් වෙන්වීමෙන් පසු මා හට දැනුන වේදනාව වචනයෙන් කිව නොහැකි තරමේ එකකි. 

ඔයාට සුභ අනාගතයක්. ඔයාට ලස්සන අනාගතයක් තියේවි. ලස්සන කෙල්ලෙකුත් මුණ ගැසේවි. එතනට යන්න නං ඔයා මගෙන් ඈත් වෙලා හිත හදාගන්න ඕනෙ. ඒ නිසා මම ටික කාලයකට ඔයා එක්ක කථා බහ කරන එක නවත්තන්නං. SMS එවන්නෙ නැතුව ඉන්නං...එහෙම උනා කියලා මම තරහා උනා කියලා හිතන්න එපා හොඳද ? අලුත් රස්සාවටයි...ඔයාගෙ අනාගතයටයි, මම හදවතින්ම සුභ පතනවා.

මම ෆාතිමාගෙන් සමු ගන්නා දා ඇය අවසාන වශයෙන් එසේ පැවසුවාය.

හදවතේ ගැඹුරටම දැනෙන ආදරයක් හමුවේ ජාති ජන්ම ආගම් භේද නොදැනෙන බව මම පසක් කරගත්තෙමි. දැනෙන්නේ ආදරයේ සුන්දරත්වය පමණකි. එකම පරිසරයක තමන්ට බහ නොදුන් ආදරියක සමග පැය ගනනාවක් ගෙවීම අතිශයින් අපහසු සහ වේදනාකාරී කටයුත්තක් බවට මෙවැනි අත්දැකීමක් විඳි සියලු දෙනා සාක්ෂි දරනු ඇත.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ෆාතිමා පසු කලෙක මුස්ලිම් ජාතික තරුණයෙකු සමග විවාපත් වූවාය. අද මේ දෙපලම ලංකාවෙන් බැහැර රටක වාසය කරන්නේ දරු සුරතල්ද බලමිනි.


පහළින් දැක්වෙන ගීතය කරළියට ආවේ ෆාතිමා නිසා රිදුන මගේ හිත යලිත් යථා තත්වයට පත් වෙමින් තිබූ කාල සමයේදී බැව් මට මතකය. වර්තමානයේ වුවද මේ ගීතය ශ්‍ර‍වනය වන ඕනෑම විටක ෆාතිමාගේ ඇසුරේ ගතවූ  අතීතයේ සුන්දර දවසක මගේ සිත නතර වෙයි.



සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගේ ආදරේ නුඹයි....

නාමලක්‌ වගේ සිතුම් සෙනෙහසින් පිරේ
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සදපාන ඔබ වැනි නිල් අහසේ නැළැවුණි
මගෙ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම්නැති....

සංසාර සිහිනයේ....

මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දගකාරකම තියා
ඔබ මා ළගින් නතරවෙන්න ආදරෙයි කියා....


ගායනය  - චාමික සිරිමාන්න
පද - චන්න ජයනාත්
සංගීතය -  රෝහණ වීරසිංහ




Sunday, May 29, 2016

52 කිත්තාගේ අටපට්ටම

මේ අවුරුද්දෙ වෙසක් දවස උදා වෙනකං සිරා කොලුවා බොහොම ආශාවෙන් පොඩි එකෙක් වගේ බලාන උන්නෙ සිරාගෙ අතිජාත ස්කූටරේ නැගලා යාලු හිත මිත්තරාදින් එක්ක ඉස්සර වගේ රවුමක් කාරිය යන්න පුලුවන් හින්දයි. අවුරුදු 3 ක්ම සිරා කොලුවට ලංකාවෙ වෙසක් දකින්න බැරි උන නිසා මේ වතාව බොහොම විශේෂ එකක් උනා. එහෙත් අයහපත් කාළගුණය හමුවේ මේ බලාපොරොත්තු බිඳ වැටුනා. ඇරත් සිරා කොලුවගෙ හිත මිත්තරාදින් අතර උන්න අයගෙන් බහුතරයක් පුංචි දරුවන්ගෙ පිය වරුන් වෙලා ඉන්න නිසා ඉස්සර වගේ දුර ඈත, වාහනයක මිස, යකඩ අස්පයන්ගෙ පිටේ නැගලා යන්න මනාප නෑ. මේ වගේ වට පිටාවක නිවසින් පිට යන්නෙ නැතුව ගෙදරටම වෙලා වෙසක් සමරන්නයි අන්තිමේදි මට සිද්ධ උනේ.

එහෙම ඉන්න අතරෙදි මගේ හිත ඈත අතීතයේ දවස් අතර අතර මං උනා. මම හිතින් පොඩි එකෙක් වගේ ඒ අතීත මතක සටහන් අතරටම වෙලා හිටියා. පොඩි කොල්ලො විදියට එකතු වෙලා සරුංගල් හදපු හැටි, සරුංගලේ නූල කැඩුනාම ඔලුව ගිණි ගත්තා වගේ සරුංගලේ පස්සෙ දුවපු හැටි, බට තුවක්කු හදාගෙන ඒවට දාන්න කිරිල්ල හොයන්න ගිය හැටි, වෙසක් කූඩු හදන්න උණ ගස් කපපු හැටි, කුඹුරු යාය මැද්දෙ අපි ක්‍රිකට් ක්‍රීඩාව කරපු හැටි... මේ ක්‍රියාකාරකම් නිසා හිතට දැනුන චමත්කාරය, කාලය ගත වෙලා ගියාට තවමත් දැනෙනවා වාගෙයි.

කිත්තා...මේ මතක සටහන් බොහොමයක ජීවමාන වෙන චරිතයක්. සිරා කොලුවාට වඩා වසර දෙක තුනක් වැඩිමල් කිත්තා මා එක්ක මුලින්ම ගණුදෙනුව පටන් ගන්නෙ කුඹුරු යාය මැද්දෙ ක්‍රිකට් ගහපු අවදියෙදි. අත ඇරලා දාලා තිබුන කුඹුරු කීපයක් මැද තැනක ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹුනේ බොහොම සුලුවට. කොළඹ ප්‍ර‍සිද්ධ ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයෙක් වෙලා හිටිය අපේ ගමේ රොෂාන් අයියා වගේ වැඩිමල් උන් තමයි මේ කාරියට උර දුන්නෙ. කාලයක් මේ විදියට ක්‍රීඩාව කරගෙන යද්දි අපේ තණ තිල්ල ස්වභාවිකවම ඉතාම හොද තත්වයට පත් උනා. පැයක් වැස්සත් විනාඩි 10 න් වතුර බැහැලා ගියා. සැහැල්ලු පන්දු ක්‍රීඩා කරපු අපි පස්සෙ කාලෙක රොෂාන් අයියගෙ උපාංග වල පිහිටෙන් ලෙදර් බෝල එක්කත් ක්‍රීඩාව කරන තත්වයට උසස් උනා.

මෙන්න මේ වටපිටාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න සිරා කොලුවට හැකි උනේ 8 කැලෑසියට වගේ ආවට පස්සෙ. හරියට අද කාලෙ පුහුණු සංචිතයක ඉදලා කණ්ඩායමට එනවා වගේ. පොඩි උන්ට වේග පන්දු වලට මුහුණ දෙන්න තියෙන අපහසුතාවත්, පන්දු රැකීමේ දුර්වලතාවත් නිසා අපේ ගමේ වැඩිමල් උන් තමන් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවට එතනින් පහල උන්ව ගත්තෙ නෑ. ඒ වගේ උන්ට සිද්ධ උනේ හොටු පෙරාගෙන අනිත් උන් ක්‍රීඩා කරන දිහා බලාන ඉන්න.

රොෂාන් ගොයියගෙ අධිසැර පන්දු වලට භයේ අපි ටෙනිස් බෝල ක්‍රීඩාව කරපු මුල් අවධිය මට තවමත් හොදට මතකයි. ඒ කාලෙ අපේ පිත්තත් පාදයත් අස්සෙන් පන්දුව කඩුලු වල දැවටුනේ හරිම පහසුවෙන්. මෙන්න මේ කාරණයට විසදුමක් විදියට කිත්තා එක අතකින් පිත්තේ මිටත් අනිත් අතින් පිත්තේ පහළ කොනත් අල්ලගෙන දෙකට නැමිලා වගේ ආරක්ෂා කාරී පියවර අනුගමනය කලා. කිත්තා කිව්ව ගමන් මට නිරායාසයෙන් මතක් වෙන්නෙ කිත්තගෙ ලෑල්ල. කිත්තා ලෑලි දදා ඉද්දි දවා ගන්න නම් මෙලෝ ජගතෙක්ට ඉඩක් නෑ. ඒ වෙලාවට නම් පන්දු යවන්නො කුණු හබ්බක් දෙකක් හීනියට අත ඇරියෙ කිත්තව මානසිකව වට්ටන්න හිතාගෙන වෙන්න ඇති.

කුඹුරු වපුරන කාලෙට අපේ ක්‍රීඩාපිටිය සහමුලින් ජලයෙන් යට වෙනවා. 96 ලෝක කුසලාන ජයත් එක්ක ඒ වෙද්දි අපිට වැළදිලා තිබුන ක්‍රිකට් උණ නිසාම ක්‍රීඩාව ජලයට යට වෙන්න දෙන්න කොහෙත්ම බෑ. එවැනි වටපිටාවක විකල්ප ක්‍රීඩා පිටි කීපයක් අපිට තිබුනා. විශාල පොල් ඉඩමක් වන පිල්ලෑව වත්ත වගේම වෙන්දේසි වත්තත් මේ අතරට අයත් උනා.

වෙන්දේසි වත්ත ප්‍ර‍සිද්ධ සමාගමකින් කොටස් කරලා ඉඩම් කට්ටි විකුනලා තිබුන ඉඩමක්. ඒවා මිළදී ගත්ත හිමිකරුවන් මේ ඉඩම් වල නිවාස ඉඳිකිරීම ආරම්භ කරන තෙක් ක්‍රීඩාව කරගෙන යන්න අපිට හැකි උනා.

කට හැකර ඇලිස් උන්දා ජීවත් උනේ මේ වෙන්දේසි වත්තට යාබදව. ඇලිස් උන්දැගෙ රන් තැඹිලි ගහෙන් ගෙඩියක් දෙකක් හොරට කඩන්න කිත්තට තිබුනෙ පුදුමාකාර කෑදර කමක්. උන්දැ බැහැරට ගිය බවක් දැනුනොත් කිත්තා ගහ දිගේ බඩගාන්නෙ ක්‍රීඩාව පටන් ගන්නත් කලියෙන්. මෙන්න මේ වගේ දවසක ගහට බඩ ගාපු කිත්තා පුක ගිණි ගත්තා වගේ එක පාරටම ගහෙන් බිමට රූටගෙන ආවා. පශ්චාත් භාගය අත් දෙකෙන්ම අල්ලගෙන බොහෝ දුරක් දුවලයි මිනිහා නතර උනේ. උගෙ කලිසන් කොටේ පාත් කරලා බැලුවාම කලුපාට තට්ටං කෑලි දෙකට කලාදුරු හමුදාවක් ඇරියස් අල්ලලා.....අන්තිමට ඇලිස් උන්දැගෙම රතු ලූණු අතුල්ලලා තමයි පුකේ දැවිල්ලට සහනයක් හොයා ගත්තෙ.

මේ කියන අතීතෙ අපේ කොලු නඩේ නිතර හමු උන තවත් තැනක් තමයි අත්තනගළු ඔයේ අපේ නාන මංකඩ. කාගෙ කාගෙත් දිය පිණුම්, කරණම්, කිමිදුම් දක්ෂතාවන් ප්‍ර‍කට වෙච්ච මේ පරිසරයෙ කිත්තටත් හොඳ නමක් තිබුනා. පැය දෙක තුනක් වතුරෙ ඔට්ටු තියලා ඇස් ගෙඩි ගොරකා මද වගේ රතු පාට උනාමයි අපි ඒ කාලෙ නිවෙස් බලා ගියෙ. 

ඔයට උඩින් තිබුන පාලම යට ඔය ඉවුර එක්ක පුංචි ඉඩක් තියෙනවා. ඒ කොටසට වෙලා මාලු බෑමත් කිත්තා ගජරාමෙට කරපු තවත් වැඩක්. මිනිහට කාන්තා කටහඩකින් කථා කරන්නට විශේෂ හැකියාවක් තිබුනා. ඒ හැකියාවෙන් වැඩ ගත්ත හැටි තමයි සිරා කොලුවා දැන් බොලාට කියන්න යන්නෙ.

ඔයට උඩින් තියෙන පාලමෙන් අපේ ගමට යාබද ගමට යන්නට හැකියි. විශාල ලොරියකට තරමේ යන්නට හැකි පලලක් තියෙන පාලම යට කිත්තා හැංගෙන්නෙ ඈතින් සේවය නිම වී නිවෙස් බලා යන තරුණියක් දෙන්නෙක් එනවා දැක්කොතින් තමයි.

ඒ ඇත්තියො පාලමට පිවිසෙනවාත් එක්කම කිත්තගෙ හඩ කාන්තා කටහඩක් වෙලා පාලම යටින් මතුවෙනවා.

අනේ අයියෙ වඳින්නං මට යන්න දෙන්න... මේ හඬින් තිගැස්සෙන යුවතියෝ ගල් ගැහුනා වගේ පාලම උඩ නවතින හැටි  ඔය ඉවුරෙ අට්ටික්කා කරටියක ඉඳගෙන අපි බලා ඉන්නෙ හිනාව අතින් කපාගෙන.

මාව අනාථ කරන්න එපා අයියෙ...මගෙ ඇඳුම් දෙන්නකො....කිත්තගෙ වැලපිල්ල පාඩම උඩට ඇහෙන්නෙ බොහොම සරුවට. මේ හඬින් කම්පනය වෙන යුවතියො පාලමට කිට්ටුව තියෙන මහතු මාමගෙ කඩේට දුවන්නෙ කෙල්ලෙක්ට කරදර කරනෝ... කියලා මහ සද්දෙට බෙරිහන් දෙන ගමන්. අන්න ඒ වෙලාවෙදි පාලම යටින් ඔයට පැනලා දිය යටින් යන කිත්තා අල්ලන්න මොන සක්කරයටවත් ඉඩක් නෑ.

අපේ කථානායකයගෙ දෙමාපියො වැඩිය දැන උගත් අය නෙමෙයි. වැඩිමල් සහෝදරයෙක් සහෝදරියක් එක්ක හිටිය පවුලේ බඩ පිස්සා නිසාමදෝ කිත්තා සෙල්ලක්කාර විදියට තමයි කරදඬු උස් මහත් වෙද්දි හැසිරුනේ. ඉගෙනීමට උවමානවක් තිබුනෙත් නෑ. පාසල් යනවට පාසල් ගිය ඒකාගෙ පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් උනා. 

ඊට මඳ කාලයකට පස්සෙ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ විවේකී බව ටිකෙන් ටික අඩුවෙලාම ගිය නිසා ක්‍රිකට් ක්‍රීඩාව නතර උනා. ඉස්සර දිනපතා මුණ ගැහුන අය සතිපතා වත් හමුනොවන තැනට වැඩ කටයුතු යෙදුනා. තවත් කාලයකට පස්සෙ එකිනෙකා මඟ ඇරුනා. ඔය අල්ල පනල්ලෙ කිත්තා අරාබි රටකට අපනයනය උනා.

සිරා කොලුවා උ/පෙ එහෙම ලියලා අහවර කරලා ඉද්දි කිත්තා ආයෙමත් ලංකාවට ආනයනය උනා. ඒ වෙද්දි මිනිහා ඉස්සර වගේ ලොකු සුහදකමක් නැති අමුතුම ජීවියෙක් වෙලා ඉවරයි. අපේ ගමට යාබද ගමේ නිවෙසක පටන් ගත්ත අලුත් පල්ලියෙ යොහෝවාගෙ සාක්ෂිකාරයො සෙට් එකක් කිත්තගෙ මනස විකාර කරලා මිනිහව බිලී බා ගත්තා.

ඉස්සර දන්සැල් දෙන්න, වෙසක් එකට කොඩියක් දෙකක් එල්ලන්න, ගමේ පොදු වැඩ වලට ආව ගිය කිත්තා දැන් කිසිම කටයුත්තකට එන්නෙ නෑ. ඒ මදිවාට මිනිහගෙ කටේ තිබුනෙ මම මේ ගමේ වැඩ වලට නෑ එහා ගමේ උන් එක්ක තමයි ඉන්නෙ කියන වචනෙ.

අපි කාට කාටත් කිත්තව දිරවන්නෙ නැති තැනට වැඩ කටයුතු සිද්ද උනා. මගදි දැක්කත් අහක බලාගෙන යන තත්වයකට පත් උනා. බෝම්බ හාල් සිද්ධියෙන් පස්සෙ කිත්තට ගමේ උන්ව වහ කඳුරු වගේ උනා. ආයෙ රට පැටවීම පැත්තක තියලා මිනිහා තුන් රෝද රථ රියදුරෙක් විදියට රථයක් අරගෙන අපේ හන්දියෙ බින්න බැස්සා.

ඔය අල්ල පනල්ලෙ දවසක තමයි සිරා කොලුවත් රට පැටවුනේ. මම එහෙ ඉන්න කාලෙ අපේ ගමේ විස්තර නිවසට කථා කරන දවසට මයෙ මලයා මා වෙත සන්නිවේදනය කලා.

ඈත පළාතක ලස්සන කෙල්ලෙක් කිත්තා කසාද බැන්දා...යෝජනාවක්ලු...ගමේ ගොඩාක් උන්ට වෙඩිම කිව්වෙ නෑ. අපිට කිව්වෙත් නෑ. මලයා දවසක් දා කිව්වා.

කිත්තා දැන් තාත්තා කෙනෙක්..පොඩි කොලු පැටියෙක් ඉන්නවා. මයෙ මලයා මට පයින්ඩෙ දීලා මාස 6 කට විතර පස්සෙ මයෙ මලයත් පියෙක් උනා. සිරා කොලුවා මහප්පෙක් උනා.

අපේ දුව ඇවිදින්න එක්ක යද්දි කිත්තගෙ පුතාවත් කිත්තගෙ නෝනා එක්කගෙන එනවා. පොඩි දෙන්නා හරි එකතුයි.  ටික කාලයක් ඇවෑමෙන් මලයා කිව්වා.

අද කිත්තගෙ පුතයි අපේ දුවයි ඇවිදින්න අරන් ගියා. පොඩි කොල්ලට හොදටම උණ ...අපේ කෙල්ලට ආපහු යන්න කලින් කිස් එකකුත් දුන්නා. මලයගෙ නෝනා මට කිව්වෙ ඊටත් පස්සෙ දවසක.

මාර වැඩේ අයියෙ, කිත්තා ප්‍ර‍යිවට් බේත් අරගෙන දිදී ඉදලා..උණ හොදටම වැඩි වෙලා..ඉස්පිරිතාලෙ එක්ක යද්දි පරක්කු වැඩියිලු. කිත්තගෙ පොඩි එකා නැති උනා. හැදිලා තියෙන්නෙ H1 N1 ලු. අපේ කෙල්ලටත් ඒ එක්කම හොදටම උණ හැදුනා. ඔය ලෙඩේමයි. අපි නියම වෙලාවට ඉස්පිරිතාලෙ ගිය නිසා කෙල්ල බේරුනා. මයෙ මලයා එහෙම කිව්වම පොඩි එකා මගේ නොවුනත් මටත් ලොකු කම්පනයක් දැනුනා.

තමන්ගෙ ලේ වලින් ජාතක උන දරුවා තමන්ගේ වරදින් වසර දෙකක් ආයු වළඳලා නැති උනා කිව්වම මොන අම්මට තාත්තටද වාවගෙන ඉන්න පුලුවන්. මෙන්න මේ දුක්බර කාලසීමාවෙදි කිත්තගෙ විපර්යාස රාශියක් වෙන්න පටන් ගත්තා. බුදු දහමින් ඈත් වෙලා උන්න කිත්තා ආයෙමත් පන්සල, ස්වාමීන් වහන්සේලා එක්ක ආශ්‍ර‍ය පටන් ගත්තා, ගමේ පොදු වැඩ වලදි පෙරමුණ ගත්තා. කා අතරත් හොඳ හිත පැතිරෙව්වා. කාට කාටත් දැන් සතුටුයි. හතුරු වෙලා හිටිය අය කිත්තා එක්ක දැන් මිතුරුයි.

අයියේ...මෙන්න කිත්තා ඇවිල්ලා....හරියටම වෙසක් දවසෙ උදේම  මයෙ මලයා බෙරිහන් දෙනකොට මම උන්නෙ ගේ ඇතුලෙ.

කොහොමද මල්ලි...මම පොඩි එකීට වෙසක් කූඩුවක් දීලා යන්න ආවෙ...මම සැකිල්ල හැදුවෙ. අපේ පවුල තමයි  කොළ ඇළෙව්වෙ.

කිත්තා ගෙනත් දුන්න කූඩුව

සුදුයි රතුයි පුංචි අටපට්ටම දිහා චූටි එකී ආශාවෙන් බලාන ඉන්නවා.

ලත්තනයි...කෙලි පොඩ්ඩගෙ කට ඉස්සර උනා.

කිත්තා පොඩි එකී දිහා හැඟීම්බරව බලාන උන්නා. මගෙ පැටියා හිටියා නම් මීට වඩා සුට්ටක් ලොකුවට ඉඳියි...මිනිහට එහෙම හිතෙන්න ඇති. වැඩි වෙලා උන්නෙ නෑ. කිත්තා අපෙන් සමුගත්තා. වෙසක් කූඩුවක් හදාගන්න වෙලාවක් නැතුව, සල්ලි වලට ගන්න හිටිය අපිට කිත්තා වටිනා තෑග්ගක් දීලා ගියා.

මුලු ගමේම කිත්තගෙ නැති උනා පුතාගෙ වයසට ලඟ පුංචි අය ඉන්න ගෙවල් වලට කිත්තා අටපට්ටම් හදලා ළගටම ගිහින් දීලා. පව් නේද දුවේ...අපේ අම්මා මලයගෙ නෝනට කිව්වෙ එදා දවල් බතට කලියෙන්.

දන්නවද වැඩක්...අන්න කිත්තගෙ නෝනට ආයෙමත් දරුවෙක් ලැබෙන්නලු....අපේ ගමේ රොයිටර් ඇගි නැද්දා එදා හැන්දෑවෙ සතුටුදායක පුවතක් අපි හැමෝගෙම කනේ තිබ්බා.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

ජීවිතය යනු එහෙම් පිටින්ම අභියෝග රාශියකි. මේ අභියෝග අරභයා අපි දක්වන ප්‍ර‍තිචාර අනුව දුක හෝ සතුට අපේ ජීවිත වලට එළැඹේ. දුක, අපේක්ෂා භංගත්වය සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිතයට යහපත් විපර්යාස එකතු කරන්නට සමත් වන බව ඔබ අසා තිබුනාද ?

Wednesday, May 18, 2016

64 සඳරුවගෙ කැරකෙන කූඩුව

මෙදා පාර අපි හන්දියෙ ගහමු ඩෝ හොද කැරකෙන කූඩුවක්...නිකංම නිකං කැරකෙන කූඩුවක් නෙමෙයි තට්ටු දෙක දෙපැත්තට කැරකෙන කූඩුවක් අරිද ඩෝ...සයිඩ් එකෙන් පොඩි විරිදු පාරක් හරි ඔලුබක්කො පාරක් හරි දාලා කීය කීය හරි දෙයියනේ කියලා එකතු කරගෙන වෙසක් පහුවෙලා හොඳ ආතල් එකක් දාමු. 




එවකට අපේ ගමේ අපිට වඩා වයසින් අඩු ගැටයන්ගෙ සංගමේ සභාපති වගේ හිටිය සඳරුවා ඕනෙම කුණු ගොඩකට එක හිතෙන් මුලු පංචස්කන්ධයම ලයින් කරන්නෙ දෙපාරක් හිතන්නෙ නැතුව. ලොකු පොඩි කවුරුත් සඳරුවගෙ සමාගමය ප්‍රිය කලේ මුගෙ ශ්‍රී මුඛයෙන් ඇනිකට් දොර යටින් පොල් ලෙල්ලක් එනවා වගේ වේගෙන් එක දිගට ගලන උපහාසය මුසු වෙච්ච කථා විලාශයට තියෙන කැමැත්ත නිසාමයි. සමහරු නම් කිව්වෙ සඳරුවගෙ අම්මා ඌව ලැබෙන්න කලින් ඝන්ටාර පූජාවක් කරපු කථාවක්. සඳරුවගෙ චරිතෙ ගැන බොලාට වැටහීමක් ගන්න පොඩි පූර්ණිකාවක් සපයලාම ඉන්නං.

අදින් වසර කීපයකට පෙර දවසක සිරා කොලුවගෙ පුටාරා එකේ මැද පොල්ලට සඳරුවා ගොඩ උනේ කිරිකොට් පිට්ටනියට යන්න. අතර මග හරියෙදි සඳරුවගෙ ජංගම දුරබණුවට ඇමතුමක් ආවා. දුරකථන අංකය දැක්ක ගමන්ම ඒකා පොඩියක් නවත්තහං අයියෙ කියාගෙන පුටාරා එකෙන් බිමට පැන්නෙ හරියට රටක් රාජ්ජයක් ජය ගන්න යන්න හදන එකෙක් වගේ.

මම තොට ගත්තෙ නෑ ගොං හරකො...උඹනෙ දැන් මට කෝල් කරන්නෙ....කථාව බොහොම රළුයි. මමත් අග මුල ගැට ගහගන්න විදියක් නැතුව සඳරුවා දිහා බලාන ඉන්නවා.

උඹේ දුව එක්ක මම ෆිල්ම් බලන්න ගියෙ නෑ බොල. පිස්සෙක්ද? පෙත්ත ගත්තෙ නැද්ද? තමුසෙට පාචනේද ඕයි ? හෙට පෝයද නැත්තං ජංගියෙ හිලක්ද ?  එතනින් පස්සෙ උගෙ කටින් පිටවුන කුණුහබ්බ ලැයිස්තුව මොන හිතකින් මම මෙතන කොටන්නද ? මිනිත්තුවෙන් දෙකෙන් කථාව අහවර කරලා ඒකා ආයෙම පුටාරා එකේ මැද පොල්ලට බර දුන්නා.

අයියෙ පොඩියක් නවත්තහංකො...සඳරුවා ආයෙම බිමට පැන්නා.  මළ කෙලියක්නෙ බං වෙලා තියෙන්නෙ. වැරදීමකින් මම වෙන එකෙක්ට කියලා මම යාලු වෙලා ඉන්න කෙල්ලගෙ තාත්තටනෙ කුණුහබ්බෙන් බැනලා තියෙන්නෙ. ඒ මනුස්සයා වෙන නොම්බරේකින් මට කථා කලේ. කටහඩ දැන් තමයි මීටර් උනේ.

අනේ බුදු මාමණ්ඩි මට සමාවෙන්න ඕනෙ. මට මේ උදේ ඉදම්ම එකෙක් වද දෙනවා උගෙ දුව එක්ක මම යාලුයි කියලා. ඒකයි මම කුණුහබ්බෙන් බැන්නෙ...නෑ නෑ මම මාමණ්ඩිට එහෙම කරනවද ? මගෙ ආයුෂත් අරගෙන මාමණ්ඩි ඉන්න ඕනෙ. පිස්සුද අප්පා එහෙම කෙල්ලෙක් එක්ක මම යාලු නෑ. මම යාලුවෙලා ඉන්නෙ මාමණ්ඩිගෙ දුව එක්ක විතරමයි. ඇත්තමයි සත්තයි. මගෙ දත් හැලෙයි, මම අබ්බගාත වෙයි.  මම බොරු කියනවා නම්...අනේ එහෙම හිතන්න එපා...මේක රත්තරං පපුවක් මාමෙ. මාමට තේරෙයි තව ටික දවසකින් සඳරුවා කියන්නෙ කවුද කියලා. හෙට අනිද්දම මාමණ්ඩිව මුලිච්චි වෙන්න මම එන්නං...එතකං සමා වෙන්ඩ ඕනෙ...අරිද ?

සඳරුවගෙ කථා ඔන්න ඔය විදියයි. ඒ කාලෙ ඒකා රැකියාවක් කලෙත් නෑ. පාසලෙන් ඉවත් වූ අලුතම වගේ කියලයි මට මතක. විනාඩියෙන් දෙකෙන් ලොකු කථාවක් කියන්න සඳරුවට තියෙන්නෙ උපන් හැකියාවක්..ඒ කථාව අස්සට අංග චලන ටිකකුත් එකතු උනාම අහගෙන ඉන්න පිරිසට හිනා වෙලා පණ යනවා.

සඳරුවගෙ වෙසක් කූඩු යෝජනාවට උගෙ වයසෙ කාණ්ඩෙ සහයෝගය දෙන්න කැමති උනේ කිසිම විවාදයක් නැතුව. ලංකාවෙ ප්‍ර‍ධාන මාර්ගයක පිහිටා තියෙන අපේ හන්දියෙ අපි දන්න අතීතයේ කවදාවත් කැරකෙන කූඩුවක් හැදිලා තිබුනෙ නෑ. ඒ හින්දමද කොහෙද බාල මහලු හැමෝම තම තමන්ට පුලු පුලුවන් විදියට උදව් කරන්නං කියන පොරොන්දුව ඒකාට දුන්නා.

ඔය අය අතරෙ අපේ හන්දියෙම තමන්ගෙ ප්‍රියම්භිකාව එක්ක සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යන සම්පත් අයියා මූලිකයා බවට පත් උනා. උඹලා ගින්දර වගේ කූඩුව හදපං සඳරු මල්ලි. ඕනෙ දෙයක් අපිට කියලා සල්ලි ඇතුව හෝ නැතුව කඩෙන් අරගෙන පලයං. පස්සෙ උඹලට පුලුවන් උනොත් සල්ලි දියං. ඒ නැතත් මගෙ හිතේ කහටක් නෑ. උඹලගෙ වැඩේට අපිත් පුලුවන් විදියට සහයෝගයක් දෙන්න එපායැ බොලව්...

අන්න බලහං...අපේ සම්පත් අයියා අපිට දෙන සප් එක...අපි මේ වැඩේ කරන්නෙ සම්පත් අයියෙ ඇත්ත වශයෙන් කියනවා නම් පුද්ගලික ලාභ බලාගෙන නෙමෙයි. අපේ ගමේ කොල්ලන්ගෙ නිර්මාණ කෞෂල්‍ය පිටස්තර ජනතාවට පෙන්වන උදාර පරමාර්ථයෙන්. සඳරුවා මේ වගේ බර ටෝක් එකක් දෙන වෙලාවට ගොඩාක් උන් අතින් කට වහගන්නවා ඌට පේන්නෙ නෑ.

කොහොමින් කොහොම තවත් ආධාරකරුවෙක් දුන්න ටෙන්ට් එකක් කාරිය හන්දියේ කූඩුව හදන තැන අටවගෙන කැරකෙන කූඩු වැඩේ නැගලම යන්න පටන් ගත්තා. රාජකාරියට යන තරුණ පරපුරත්..නෝ ජොබ් කොම්පැණියෙ සුපවයිසර්ලා මැනේජර්ලා කාරියත් හැන්දෑවට හැන්දෑවට කයියක් ගහන්න අනිවාර්යෙන්ම ඔන්දස්පොට් වෙන තැන බවට මෙතැන පත් උනේ බොහොම ටික දවසකින්.

රෑ දවල් නැතුව එක දිගට කූඩු වැඩේ යනවා. පොල් අතු වලින් වහලය සකස් කරගෙන කැරකෙන කූඩු සැකිල්ල හදාගෙන යද්දි සඳරුවාගෙ වෑයම ගැන පැහැදුන ගොඩාක් දෙනා ඒකාට වචනෙකින් හරි උදව් උපකාර කරන්න පෙළඹුනා. ගිණි අව්ව , සීතල උදේ , මහ රෑ කියලා බලන්නෙ නැතුව ගජරාමෙට වැඩ කරන කොල්ලන්ට සම්පත් අයියගෙ කඩෙන් ටිකිරි මාරියක් එක්ක තේ කෝපි ටිකක් නිරන්තරයෙන් ලැබුනෙ කිසිම අයකිරීමකින් තොරවයි. ඔහුගෙ ඇඹේණිය කඩේ වැඩත් අතපසු කරගෙන මේ නඩේට සත්කාර කලේ බොහොම කැපවීමෙන්.

අඩෝ...බුල කෙලින්න එපා ඩෝ....වැඩ කරන කොල්ලන්ට තියෙන සියරට් එක බීලා මෙතන නිකං හාල් පාරුවා වගේ දුම් දාන්න එපා අරිද ?...සයිඩ් එකෙන් ඉදින්...නෝ ජොබ් කම්පැණියෙ එකෙක් වැඩ කරන තැන වාත වෙද්දි සඳරුවා දුන්නෙ ඒ වගේ වදන් ටිකක්.

සඳරු පුතේ ගෙදර හදපු ඉඳිආප්ප...අපේ කෙල්ල කිව්වා කූඩුවෙ වැඩ කරන අයියලටත් ටිකක් දෙමු කියලා...කාලා බලන්නකො..නංගිම තමයි අලහොද්ද හැදුවෙත්. ගමේ නැන්දා කෙනෙක් එහෙම උපකාරයක් කලාම සඳරුවා ඒ ඇත්ති ඉස්සරහා නැමෙන්නෙ තද හුළගකට අහු උන බට පඳුරක් වගේ. 

නංගිව අපි ආදරයෙන් මතක් කලා කියන්න නැන්දෙ...කට පලල් කරගෙන සඳරුවා එහෙම කියන්නෙ තමන්ගෙ සගයන්ට ඇහැක් ගහන ගමන්.

කොල්ලො ටික ගජරාමෙට වැඩ. අපිට ඉතින් කඩේ ඉස්සරහම බලා ඉන්න බෑනෙ. ඒක හින්දා මේ දවස් ටිකේම තේ කෝපි කාරිය දුන්නා. කඩේට එන යන ඇත්තියක් එක්ක සම්පත් ගොයියගෙ නෝනා පුරසාරම් දෙඩුවෙ අන්න එහෙමයි.

කැරකෙන කූඩුවෙ වැඩ රාජකාරි බොහොමයක් දැන් අවසන් වෙලා, වෙසක් උත්සවයට තව එක සතියයි. අන්තිම සතියෙ තියෙන්නෙ සව්කොළ වලින් කරන වැඩරාජකාරි නිසා මහන්සිය වගේම ඉවසීමත් හොඳින් ප්‍ර‍ගුණ කරන්න ඕනෙ. සතියක් දෙකක් තිස්සෙ මුලු දවසක්ම  කැරකෙන කූඩුවක් අස්සෙ ඉදලා දැන් සඳරුවගෙ නඩේට හොඳටම මහන්සියි.

තොපිලා මොකද කියන්නෙ...මහන්සිය යන්නත් එක්ක කියලා රෑ වෙලා පොඩි එකක් ගමුද ?

කොහෙද බං සෙට් වෙන්නෙ...මෙතනමද ? කැරකෙන කූඩු සාමාජිකයෙකුගෙන් පුරස්නයක්.  

ඔව් ඔව් මෙතනම බෝතලේ කඩමු මිනිස්සු නිදාගන්න කං ඉදලා...

බෝතලයක් ගේන්න තොට සල්ලි තියෙනවද සඳරුවො...

සල්ලි තියෙන නිසා නේන්නං බොල කියන්නෙ..උඹ නිකං පීදෙන්නෙ නැතුව හිටහංකො.

මුලු ගම්මානයම වැහි අදුරත් එක්ක වේලාසන නින්දට ගියත් හැමදාම වගේ අදත් සඳරුවගෙ කැරකෙන කූඩු භූමිය අවදියෙන්. පිටට පේන්නෙ නැති වෙන්න ආවරණය කරලා තියෙන හින්දම ජාමෙ බේරගෙන අඩියක් ගහන්න කියාපු තැන එතැන කියලයි උගේ අදහස.

බෝතලේ අඩිය පෑදෙන්න තව ටිකයි. කැරකෙන කූඩු ව්‍යාපෘතියෙ බොන කන උන් හිටියෙ අතලොස්සක් නිසා දැන් හැමෝටම හොද ගානට කික්.

සඳරුවො...සැන්ටිං ඉවරයි බං...

දැන් මොන රෙද්ද එක්කද යකෝ බොන්නෙ. තොගෙ කටේ දත් පණුවො කාලද දැල අස්සෙන් අත දාගෙන හිටිය වෙලාවෙ  සැන්ටිං ඇතිද මදිද කියන්න බැරි උනේ ?

මට අමතක උනා බොල...දැන් මොකද කරන්නෙ.

මොනවා කරන්නද සම්පත් අයියගෙ කඩේ දැල අස්සෙන් කලින් ගෙනාවා වගේ අත දාලා තව සෝඩා බෝතලයක් දෙකක් ගමු.

සම්පත් ගොයියගෙ කඩේ වටේටම තිබුනෙ යකඩ කූරු වලින් හදපු දැලක් වගේ සැකිල්ලක්. මේ සැකිල්ල ලගම තමයි පැණිබීම ජාති ගබඩා කරලා තිබුනෙ. දැලේ හිල් අස්සෙන් සැන්ටිං වලට බෝතලයක් දෙකක් පන්නන එක සඳරුවා වගේ එකෙක්ට ටොයිස් වැඩක්.

කොහොමින් කොහොම බෝතල් දෙකක් පන්නලා රහමෙර තිබුන හැම එකම අහවර කොලා කියමුකො. ඊට පස්සෙ කඩෙන් ගෙනාව හිස් බෝතල් ආයෙමත් එතැනින්ම තියන්න ඕනෙ කියලයි කඳ පාත් උන සඳරුවගෙ අදහස...

එහෙම තැන තැන බෝතල් දාලා යන්න එපා ඩෝ...සම්පත් අයියා ඔද මිනිහා...ඕහ්.....අපිට මේ කූඩුවෙ වැඩේට දැන් දවස් කීයක් කියලා බිස්කට් දුන්නද , තේ දුන්නද, කොහු ලණු කැරළි දුන්නද, අපේ දෙමාපියෝවත් මේ තරම් සහයෝගයක් දුන්නද බං.....ඒ හින්දා හිස් බෝතල් ටික එතන තියන්නම ඕනෙ.

කොච්චර කිව්වත් සඳරුවගෙ අදහස වෙනස් උනේ නැති නිසා කඩේ දැල අස්සෙන් පිල්ලි ගිය සෝඩා බෝතල් ආයෙමත් දැල අස්සෙන්ම අත දාලා එතැන තියන එක තමයි කැරකෙන කූඩු කණ්ඩායමේ ඊළග මෙහෙයුම.

සම්පත් ගොයියගෙ කඩේ පිටිපස්සෙ ගෙදර ජීවත් වෙන සුරංග මාමා දවසේ රාජකාරි අහවර කරලා මධ්‍යම රාත්‍රිය කිට්ටුව නින්දට යන කෙනෙක්. වහලා දාලා තියෙන කඩේ පැත්තෙන් බෝතල් එකට වදින සද්දයක් ඇහෙන නිසා මිනිහා හොදට සද්දෙ එන පැත්තට කන දීලා. මීට කලියෙන් දෙවංගියක්ම මේ කඩේ හොරු කඩපු නිසාම සුරංග මාමා ගෙයින් එළියට ඇවිත් කලුවරේම ඇහැ දුන්නම දැක්කෙ දැළ අස්සෙන් අත දාගෙන හිටිය කැරකෙන කූඩු නඩේ. කලුවරට මුන්ගෙ මූණු පෙන්නෙ නෑ.

සුරංග මාමා නූල් සූස්තර කාරයා. මිනිහා තනියම එතනට යන්නෙ නැතුව ඉක්මනින්ම කඩේ හිමිකාරයටත් පයින්ඩෙ යවලා කලුවරේම බැටෑලියන් එකක් ලෑස්ති කරගෙන දැල අස්සෙන් අත දාගෙන හිටිය උන්ගෙ බෙලි කෙටි වලින්ම අල්ල ගත්තා.

තොපි මොකද යකෝ මේ මහ රාත්තිරියෙ මේ කඩේ කඩනවද ?

අපිව අත අරින්න සුරංග මාමා...අපි හරිම අහිංසකයි...සඳරුවගෙ හිර උන බෙල්ලට උගුරු ඇටේ කොටසත් අහුවෙලා තිබුන නිසා සද්දෙ එළියට එන්නෙ යන්තමින්...

උඹලා අද කූඩුව අස්සට වෙලා බිව්වද ? මේ ගඳ එන්නෙ...හිටපිය කඩේ අයිතිකාරයා එනකං..දෙන්නං හොඳ සම්බුවක් අද...

කඩේ හිමිකාර සම්පත් ගොයියා ඒ අව් අස්සෙ අඩියට දෙකට එතැන...දැල අස්සෙන් බීම බෝතල් පිල්ලි ගිය කථාවත්, කැරකෙන කූඩු සැට් එක අඩි ගසා පාටි දමා ඇති ආකාරයත් සුරංග මාමා පණ පිහිටුවලා කිව්වට පස්සෙ සම්පත් ගොයියගෙ ඉවසීමේ සීමාව පැන්නා. සඳරුවගෙ පැහැබර මුහුණ අවපැහැ වෙන තරමෙ දරුණු පාරක් කම්මුලක් සිප ගත්තා.

තොපිට යකෝ මම සති දෙකක් විතර මොන තරම් උදව් කලාද ? මොන තරම් දේවල් නිකං දුන්නද ? කොච්චර තේ කෝපි දුන්නද ?  එහෙව් මගේම කඩේ බඩු හොරකම් කලා...කාලකන්නි...කැරකෙන කූඩු හදනවා කිය කියා රෑ තිස්සෙ අරක්කු බිබී මොනවද මේ කරන වැඩ.

සම්පත්ට ආච්චි වැහිලා ඉන්න වෙලාවට පාලනය කරන්න කාටවත් බෑ. ඒ මදිවට ඒකා ගැටයා සන්දියෙ ඉදලම සටන් ක්‍ර‍ම ඉගෙනගත්ත එකෙක් නිසා හරියට තැනට ගහන්න සූරයා.

සුරංග මාමගෙ හමුදාවත් එක්කම කැරකෙන කූඩුව ඉඳිවෙමින් තිබුන තැනට කඩිමුඩියෙ ඇවිද ගිය සම්පත් ගොයියා අනුකම්පා විරහිතව එල්ල කරපු පා පහර දෙක තුනකින් පස්සෙ සඳරුවගෙ කැරකෙන කූඩුව කැරකෙන්නත් කලියෙන්ම තීන්දු ගමන් ගියා.

මේ හන්දියට තොපි වගේ අපතයො හදන කැරකෙන කූඩු ඕනෙ නෑ. තොපිලගෙ ගෙවල් වලට මම දැන්මම පයින්ඩෙ යවලා දෙමාපියන්ට කියා දෙන්නං කූඩු හදනවා කියලා කරලා තියෙන දේවල්.

අපි කිව්වා මේ බූරුවට හිස් බෝතල් ආයෙම තියන්න ඕනෙ නෑ කියලා...කොහෙද ඇහුවද..නෙදකින් ගං කබරයා...සඳරුවගෙ කැරකෙන කූඩු සංවිධානෙ එකෙක් ඒකාට බනින්නෙ බොහොම සාහසික විදියට.

ඔයින් මෙයින් පහුවදා උදෑසන වෙද්දි එතන හිටිය උන්ගෙ දෙමාපියන්ට වගේම මුලු ගමටම කලින් දවසෙ රාත්තිරියෙ වෙච්ච සංගෙදිය ප්‍ර‍චාරය උනා. මුන්ට ඇති හැකි විදියට උදව් කරපු හැමෝම සඳරුවගෙ මළගිය ඥාතින් පවා සිහිකරමින් බැන්නා.

නෙදකිං අවලං හැත්ත...ඕකුන්ට මම ඉඳි ආප්පත් ගිහින් දුන්නා...ඉඳි ආප්ප නැන්දටත් යකා ආවේශ වෙලා.

අන්තිමේදි සතියක් දෙකක් යනකං ගමටත්, තමන්ගෙ කොලු නඩයටත්  මූණ දෙන්න විදියක් නැතුව නිවාස අඩස්සියෙ හිටිය සඳරු කොලුවා පස්සෙ දවසක සුරංග මාමව දැක්ක තැනක යටියන්තොට යවන බවට පාරම් බබා හිටියත් උගෙ දෙමාපියො තමන්ගෙ පුත්තරයා ලංකාවෙ හිටියොත් පාප මිත්තරයො හින්දා කවදාවත් ගොඩගන්න බැරි බව දන්න නිසාම විදේශ රටකට අපනයනය කොලා.

සිරා කොලුවා වසර 3 කට පස්සෙ තමයි මෙදා පාර ලංකාවෙදි වෙසක් සිරිය දකින්නෙ. ලංකාවෙ හිටියෙ නැති කාල සීමාවෙ අපේ ගමේ ගොඩාක් දේ වෙනස් වෙලා. ඉස්සර වගේ ගමේ පොදු වැඩ වලට දැන් තරුණ පරපුරක් නෑ. සඳරුවා තවමත් විදේශ ගත වෙලා. උගෙ ගෝලයොත් විවිධ දේ සමග කාර්ය බහුල වෙලා. උන් එදා කැරකෙන කූඩුව හදපු භූමිය දකින වාරයක් පාසා සිරා කොලුවට මතක් වෙන්නෙ බොලාට අද කිව්ව මේ කථාව.

මිනිස්සු වෙසක් එකට කූඩු හදන්නෙ, රැලි තියලා අලවන්නෙ, කිසිම නොගැලපීමක් ඇති නොවෙන්න. ඒත් තමන්ගෙ එදිනෙදා ජීවිතය තුල ඇතිවෙන නොගැලපීම් ගැලපීම් කරගන්න මිනිස්සු වෙසක් කූඩුවක් හදනකොට තරම් මහන්සි වෙනවද කියලා මේ වෙසක් සමයෙදිවත් හිතලා බලන්න.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ලංකාවේ ජීවිතය මා කලින් සිතුවාට වඩා කාර්ය බහුල වී තිබේ. ඒ නිසාම සිරාගේ කාමරයට යමක් ලියන්නට වෙලාව නැත්තටම නැති වී ඇත. එහෙත් සිරා කොලුවො තෝ මලාද ? යනුවෙන් අසා මා වෙත ඊ විදින කිසිදා හැබැහින් දැක නැති සිරාගේ කාමරයට යන එන ඇත්තන් වෙනුවෙන් හැකියාවක් ලැබෙන සෑම විටෙකම මම ලියමි.
Related Posts Plugin for WordPress, Blogger...