Sunday, April 27, 2014

68 නගා

නගා යනු උසස් පෙළ සමයේ මා සමගම සිටි මගේ අතිජාත මිත්තරයන්ගෙන් කෙනෙකි. කාමරය තුල ලියවුනු කථා කීපයකම මේකාගේ සාඩම්බර නම යන්තමින් කියැවුනද තවමත් වැඩි විස්තරයක් ලියවී නැත. ඒ අඩුපාඩුවත් මේ ලිපියෙන් පසු යම් තරමකට තුනී වී යනු ඇත.

සාමාන්‍ය පෙළ දක්වාම නිවෙස කිට්ටුව පිහිටා තිබූ ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ නගා අපේ පාසලට පැමිණියේ උසස් පෙළ වෙනුවෙන්. නමුත් ඊට කලින් ඉදන්ම මම නගාව දැන උන්නෙ සිරා කොලුවා සහභාගි වෙච්ච අතිරේක පන්ති වලටම ඒකාත් සහභාගි වෙච්ච හින්දයි.

ඔය කිව්ව සාමාන්‍ය පෙළ විභාගය එහෙම සමත් කොරගෙන නගා කොලූ අපේ පාසලට බඩගෑවෙ රටක් රාජ්ජයක් දිනපු එකෙක් ගානට...අපේ උසස් පෙළ ජීවිතය පටන් ගන්න කලියෙන් සෑම සිසුවෙක්ම දෙමාපියන් එක්ක  පාසලට කැදවාලා පවත්වපු රැස්වීම දවසේ නගා භයෙන් භීරාන්ත වෙලයි උන්නෙ. ඒ වෙන අටමගලක් නිසා නම් නෙමෙයි. එකා එකා මේකට නවක වදයට ලක් කොරයි කියලා. ඒ භය නිසාමද කොහෙද පාසලේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුලු උනාට පස්සෙ තියෙන පොඩි කදු ගැටය තරණය කරලා ප්‍රධාන ශාලාවට පිවිසෙන තුරාවටම මේකා පොඩි එකා වගේ මගේ අතේ එල්ලිලාමයි උන්නෙ.

ඉතිං බොලව් ඔය කිව්ව ඉලව් රැස්වීම් ආදියෙන් පස්සෙ අපේ උසස් පෙළ  ජීවිතය හෙවත් පාසලේ ගත කරන අවසාන දෑ අවුරුද්ද උදා වුනා. දෛවයේ සරදමකටදෝ මන්දා නගා කොලුවත් මමත් එකම පන්තියකට තමයි අයත් වුනේ. ඉතිං 6 වසරෙ ඉදන් පාසලට ආව පරණ උන් එක්ක උසස් පෙළට ආව කීප දෙනෙකුත් මේ කියන පන්තිය ඇතුලෙ එකට මුසු වෙලා.

අපරාදෙ කියන්න බෑ අපේ කොල්ලො කිසි එකෙක්ට නවක වදය කියලා ශාරීරික දඩුවම් දුන්නෙ නෑ...ඩෙස් පුටු උඩ නැගලා ඉන්න කියලා කිව්වෙත් නෑ. ආර්ථික හැකියාව, නිවසේ පසුබිම වගේ දේවල් අලුත් අයගෙන්ම දැනගෙන පුංචියට බිස්කට් පැකැට්ටුවක් දෙකක් ගේන්න කියන එක විතරයි  කොලේ.

නගා මගේ මිත්තරයා වෙච්චි කොට මම කෝමෙයි උගෙන් බිස්කට් ඉල්ලන්නෙ. මම නගාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ...පන්තියෙ අනිත් උන් තමයි මේකාගෙන් බිස්කට් කෑවෙ.

ඔය ඉතිං නවකයින්ගෙ සබකෝල ගතිය දුරුවෙන්න වැඩි කාලයක් අවශ්‍ය නෑ නොවැ. ඉක්මනින්ම අලුත් පරිසරයට හැඩ ගැහෙන්න මේ අයට හැකි වුනා. ඒ කාලෙ නගාට මේ වගේ සාඩම්බර නමක් රැජිස්ටර් වෙලා තිබුනෙ නෑ. ඒ උනාට මොන දේ කිව්වත් කෙදිරිගාන ගතියක් අපේ විචක්ෂනශීලී විමර්ෂණ වලට හසුවෙච්ච හින්දම වැඩි දවසක් නොගිහින් නගාට ඉතාම සුන්දර නමක් පටබැදුනා. එයින් කියවුනේ ශරීරයේ එක් උපාංගයක් මේකාට නෑ කියලයි. ප්‍රසිද්ධියේ මෙවැනි නමක් කියන්නට තිබුන ප්‍රායෝගික අපහසුතා ආදිය සළකා බලලා මේ නම තවත් ටිකක් මොඩ් කරලා තමයි නගා කියන තැනට ගෙනාවෙ. සමහරු නම් කිව්වෙ නංගි කියලා...මොනා උනත් මේ නම පිළිගන්න අකමැති බව පෙන්නලා මුල් කාලෙ පොඩි පොඩි ගෝරනාඩු කලාට, අපරාදෙ කියන්න බෑ අන්තිමට උප්පැන්නෙ තියෙන නමටත් වඩා නගා කියන නම ප්‍රසිද්ධ උනා. නගාටත් අන්තිමේදි ගානක් නැතුව ගියා.

අපි ඉතින් උසස් පෙළ විභාගය සදහා පන්සලක පාඩම් කොරාපු විත්තිය මම අතීතයේ ලියපු සමහර ලිපි වල දක්වලා තියෙනවා. ඒ ලිපි කියවපු ඇත්තන්ට ඒ බව මතක ඇති. මේ කියන නගාත් මේ අපේ පාඩම් කණ්ඩායමට අයත් වුනා.



මට මතක විදියට අපි පාඩම් කරන්න පටන් ගත්තෙ ඉතාම ශීත දේශගුණයක් තිබ්බ වසර අග කාලෙක. උදෑසන හැම අතම මීදුම. පන්සලේ ධර්ම ශාලාවේ ඉදන් වෙල් යායට තියෙන්නෙ බොහොම පොඩි දුරක් හින්දමද කොහෙදෝ රාත්තිරී 10 කණිසම පනිනකොටම අපිට මහා ශීතලක් දැනෙන්න ගත්තා.

පන්සල ලගපාතම හිටිය පුෂ්පෙ කොලුවා ඒ දවස් වල පාඩම් කරන්න එන්නෙ අපේ මේ ශීතල දුරු කරන්න අති විශාල උණුසුම් බෝතලයක තේ එකක් එහෙම පුරවගෙන. සිරා කොලුවා, පුෂ්පෙ ළමයා, වැද්දා, නගා එක්ක පන්සලේම නැවතිලා ඉදගෙන අපේ පාසලේ, අපේ පන්තියෙ අධ්‍යාපනය ලබපු කන්තලේ මෛත්‍රී ගොයියත් මේ කියපු පාඩම් නඩයට අයත් වුනා.

තේ එකක් බොමු බං....නගා අදහස දානවා.

උඹට දැම්මම ශීතලද නගෝ...

ශීතලකට නෙමෙයි යකෝ...පවුනෙ බං...මෙච්චර ලොකු වතුර බෝතලයක් උස්සගෙන එන එකේ අපි මේක හිස් කරලා දෙන්න එපායැ බන්....

එහෙම කියලා පළවෙනි වතාවට තේ කෝප්පයක් තොල ගෑවා කියමුකො.. තවත් අඩහෝරාවක් යන්න කලියෙන් ආයෙමත් නගාට තේ බොන්න ඕනෙ. මේ විදියට සැරෙන් සැරේ තේ බීලා උණුවතුර බෝතලේ අඩිය පෑදුනාට පස්සෙ තමයි නගාගෙ තේ බීම නතර වෙන්නෙ.

මේ හැමවතාවකම ප්‍රයෝජනයට ගන්න පන්සලට ලැබුන දානමාන ආදියෙන් මෛත්‍රීලාගේ ප්‍රයෝජනයට ලොකු හාමුදුරුවො නිකුත් කරපු තල කැරැල්ලක්, කැවුමක් , කෙසෙල් ගෙඩියක් වගේ දේකුත් එකතු වුනා. එහෙමත් දවසක තමයි ඉතිං අපි තේ විතරක් බිව්වෙ. පාඩම් කරන්න කියලා ඉදගත්තට තවමත් සිත එක්තැනකට අරන් නිසිලෙසම ඒ වැඩකටයුත්තේ යෙදෙන්න අපට අපහසුතාවක් දැනුනා. ඒ අපහසුතාව නිසාමදෝ තේ බෝතලය ඉතා ඉක්මනින් හිස් උනා.

පාඩම් නොකලත් කමක් නෑ...එකතැනක වැඩි වේලාවක් වාඩිවෙලා ඉන්න එකත් ඇති මුල් කාලෙ. ටික ටික තමයි පාඩමට හිත යොමුකරගෙන මේ කටයුත්ත කාර්යක්ෂම තත්වයට ගේන්න ඕනෙ...අන්න එහෙමයි අපේ ගුරු භවතුන් ඒ කාලෙ අපට උපදෙස් දීලා තිබුනෙ.

උදේ ඉදන් අව්වෙ කරවෙලා බෑන්ඩ් ගහලා ඉක්මනින් නිදා ගන්න බලාගෙන ගෙදර එන මට ඈත තියාම දකින්න ලැබෙන්නෙ  අපේ ගෙදර ගේට්ටු කණුවකට හේත්තු කරලා තියෙන නගා ඒ කාලෙ පැදපු පොල්ල නැති බයිසිකලේ. පා පැදියෙ හරස් පොල්ල තිබුනෙ නැති කාන්තා වර්ගයේ එකක් වෙච්ච නිසාම නගාගෙ සාඩම්බර නම තවත් බැබලුනා කියලා මට හිතෙනවා.

උඹ පලයන් නගෝ...මට අද හරිම මහන්සියි...නිදිමතයි... කිව්වත් නගා නෙමෙයි යන්නෙ.

කමක් නෑ බං...ගානක් දෙකක් හදලා උඹ නිදිය ගනින්....එහෙම කියලා කොහොම හරි මාවත් පංගරාර්තු කරගෙන නගා පන්සලට යන්නෙ අතරමගින් වැද්දවත් එකතු කරගෙන.

පන්සල ලග පුෂ්පෙ කොලුවා සහ වැද්දා නගා අපේ පාසලට එන්න කලියෙන් භජනයක් තිබුනෙ නෑ. අපි පාඩම් කරන්න සැට් වෙන්න සැළසුම සකස් කරගෙන යන කාලෙදි මම තමයි නගාවත් මේකට දා ගමු කියලා යෝජනා කලේ. උනුත් අන්තිමේදී ඒ අදහසට කැමති වෙලා තමයි නගාට අපිත් එක්ක පාඩම් වැඩ වලට එකතු වෙන්න අවස්ථාවක් උදා උනේ.

ඉතිං තේ බෝතලේ ඉවර උනාට පස්සෙ නගාගෙ ඇහැ යන්නෙ පන්සල ලගම තිබුන විදුලි පහන් කණුවක අස්සෙන් පේන අඹ වල්ලට.

සෝක් අඹ වල්ල බන්...තිතට පැහිලා..

ඉතිං උඹ මොනවද කරමු කියන්නෙ. නගාට මේ විදියට අනිත් කෙනෙක් තවත් ප්‍රශ්නයක් යොමු කලාම නගාගෙ පිළිතුර උනේ.

මොනා කරන්නද බන් කඩමු....

ඔන්න ඉතින් එතැන ඉදලා එක සීරුවට ලොකු පුංචි ගල් කැට වගේම පොලු කෑලිත් විදුලි පහනේ ගෑවි නොගෑවී අල්ලපු හිස් ඉඩමට වැටුනා. කොහොම හරි අඹ ගෙඩියක් බිම වට්ටා ගත්ත දවසට අපිට හරිම සතුටුයි. විදුලි පහන් කණුව හින්දම අඹ වල්ලට ගලක් ගහන එක අමාරු කාරියක් උනා. විශ්වාස කරන්න.....අපි පාඩම් කරපු අවුරුද්දකට වැඩි කාලය තුල කෙතරම් ගල් ගැහුවත් එක ගලක් වත් මේ කියන විදුලි පහන් කණුවේ විදුලි පහනේ වැදුනෙ නෑ.

තේ බීලා, අඹ කාලා සැට් එක ජොලියෙන් ඉන්න වෙලාව උදාවෙනකොට තූර්ය වාදක පුහුණුවීම් නිසා බොහොම මහන්සි වෙලා ඉන්න සිරා කොලුවගෙ කරටිය බිමට පාත් වෙනවා. මුල්ම කාලෙ මම නිදා ගත්තට පස්සෙ අනිත් උන් පාඩම් වැඩ වෙනුවට ධර්ම ශාලාවෙ තියෙන බංකු වලින් බාධක හදලා නගාගෙ පොල්ල නැති බයිසිකලේ ඒක ඇතුලෙ පැද්ද. එක වටයක් යන්න යන කාලය ඔරලෝසු වලින් මැනලා ජයග්‍රාහකයො පවා තේරුවා...අද නම් මේවා බොහොම සුන්දර මතක.

බයිසිකල් පැදිල්ලත් එපා උනාම පන්සල් බිමේ සිටවා තිබුන නානාප්‍රකාර මල් ගස් වලින් පැල ගැලවීම, මල් කැඩීම වැනි ඉතාම යහපත් ක්‍රියා වල පිරිස නිරත වුනා. ලොකු හාමුදුරුවො තමයි විිවිධ තැන් වලින් මේ මල් වර්ග වල ඇට/පැළ ආදිය ගෙන්වාගෙන මේ විදියට හිටවලා පන්සල ලස්සන කරලා තිබුනෙ.

මහා රාත්‍රිය උදා උනත් සමහර විට ආවාසෙ ඉදලා ලොකු හාමුදුරුවො පාඩම් කරන ඇත්තො දිහා කරුවලේම බලාන ඉන්නවා. ඉතිං එහෙම වෙලාවට ඇහැ නොගැටෙන්න, මල් ගැලවිල්ලට ගිණි කූරක් දල්වා ලැබෙන එළිය තමයි පාවිච්චි කලේ. මේ විදියට ගිණි පෙට්ටියක් පමණ එක් රාත්‍රිය
කට අපට වැය වුනා.

රෙඩ් ෆාම් ගස් වලට තමයි හැමෝම කෑදර වුනේ. දවසක් වැද්දා මල් පෝච්චියක සිටුවා තිබුන ලස්සන රෙඩ් ෆාම් පැලයක් ගලවන්න අත් දෙකෙන් පෝච්චියෛ් පස් හාරමින් උන්නෙ...එක පාරටම මේකා අම්මෝ කියාගෙන දිව්වෙ...අපිවත් තල්ලුකරගෙන.

ගිණි කූරු එළිය මල් පෝච්චියට ලං කලාම තමයි කාරණය අක්මාවටම දැනුනෙ. වැද්දා මෙලෝ සිහියක් නැතුව මල් පෝච්චියේ පස් ඉවත් කරද්දි කඩි ගුලක් මතුවෙලා. උන් පරන ඇරියස් එක්කම වැද්දට ඇනලා.

ඉතින් සතියක් දෙකක් පාඩම් කිරිල්ල මේ කියන ස්වරූපයෙන් කෙරුනට පස්සෙ තමයි නියම විදියට පාඩම් කරන්න ආරම්භ උනේ. අපි නගා කියලා කෝචොක් එක් දැම්මට අපේ නඩේ හිටිය මීටරේ නගා කිව්වට වරදක් නෑ. අන්තිමේදි අපි හතර දෙනා අතරින් සරසවි වරම් ලැබුවෙත් ඒකා පමණයි.

මෙන්න මේ විදියට පාඩම් කරමින් ඉන්න වෙලාවක තමයි පන්සලට එහා පැත්තෙ නිවෙසට අමුත්තෙක් ආවෙ. ඒ කථාවත් ඔබට මතක ඇති.

රාත්තිරියෙ පන්සලේ පාඩම් කලාට උසස් පෙළ දෙවැනි අවුරුද්දෙ පළවෙනි මාස හය පමණ ගත උනාට පස්සෙ පාසල් යන්නෙ නැතුව නිවසේ ඉදන්ම පාඩම් වැඩ කරගන්න තමයි හැමෝම කැමැත්ත දැක්වූවෙ. ඒ උනාට අපේ නිවස කිට්ටුව නිවාසයක දෙකක හිටිය සංගීත රසකාමී ජනතාව ඒවායේ හඩ උපරිම කරලා ඒ රස මිහිර විදගත්ත නිසාම මට නිවසෙ ඉදන් පාඩම් වැඩ කොරගන්න විදියක් නැති බව වැටහුනා. අපේ පන්සලේ පාඩම් නඩයටත් මේ අපහසුතා ගැන කියලා දිවා කාලයේ ගම්පහ පුස්තකාලයේ පාඩම් කරන්න යොදාගමු කියන යෝජනාව අන්තිමේදි මගේ කටින් පිටවුනා.

මේ කියන පුස්තකාලෙ නිසා තමයි පස්සෙ කාලෙක අපේ නගාට කවදාවත් හිතපු නැති දේවල් උරුම උනේ. ඒ විස්තර ඉදිරි දිනයක.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.









68 comments:

  1. මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොලං...අනුන්ගේ රසවින්දය උදෙසා බොලාලා කරගෙන යන මේ ව්‍යාපෘතිය මාගේ නොමද පැසසුමට ලක් වේ.

      Delete
  2. අද පලියක් නැද්ද?

    //""මොනා උනත් මේ නම පිළිගන්න අකමැති බව පෙන්නලා මුල් කාලෙ පොඩි පොඩි ගෝරනාඩු කලාට, අපරාදෙ කියන්න බෑ අන්තිමට උප්පැන්නෙ තියෙන නමටත් වඩා නගා කියන නම ප්‍රසිද්ධ උනා. ""// ඕක තමයි වෙන්නේ ඉස්කෝලේ කාලේ බැඳෙන හැම නමකටම .

    ReplyDelete
    Replies
    1. පලිය දාන්නෙ කථාව අවසානයේ...මේ කථාව මේ කියන්න පටන් ගත්තා විතරයි..නගා කියන්නෙ කථා රාශියක්...හැබෑට මේකා ගැන ලියනවා නම් මට මාස ගානක්ම ලියන්න දේ තියෙනවා...

      Delete
  3. අපිත් පන්සලේ අඹ ගස් දෙකේම පලදාව අවුරුදු ගානක්ම අතට ගත්තා පොල්ලේ පිහිටෙන්.. හැක්.. මාර නගෙක් කේ.. ඌ බිස්කට් කවල වෙන්ටැති බොලා ඔච්චර සුදු වෙලා තියෙන්න්..

    ReplyDelete
    Replies
    1. ඒවා යුතුකම් දේශකයො...කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තං අපිවත් ඒ කාරිය කොරන්න එපායැ...මම කලිනුත් කියලා තියෙනවා...අපි අඹ කඩලා නිකා හිටියෙ නෑ...පස්සෙ පස්සෙ පාඩම අස්සෙ පන්සලේ තැඹිලි ගස් වලටත් බඩ ගෑවා...එකෙක් දවසක් තැඹිලි වල්ලක් බිමට බාන්න කියලා ගෙනිච්ච මන්නයක් තැඹිලි වල්ලක් අස්සෙ ගහලා එක වල්ලක් බිමට බාලා ඒකත් බිමට බැස්සා...පස්සෙ දවසක ලොකු හාමුදුරුවො තැඹිලි කපන්න මිනිහෙක් ගහට යැව්ව වලේ අපේ සායම දිය වුනා....ගෝලයො පාඩම අස්සෙ නිකං ඉදලා නෑ වගේ කියලා...ඒ මනුස්සයා ලව්වා බාපු තැඹිලි වල්ලත් අපිටම පැවරුවා....

      Delete
  4. අපෙත් හිටියා ඔහොම එකෙක්… මෑනුත් මරු මීටරේ, ඒත් ඩයල් එක ඕය ත‍රම් සමාජ ශීලී නෑ.… කොටින්ම කිසිම බාහිර වැඩකට සම්බන්ධ වෙන්නෑ. කෙල්ලන්ව නම් හොදට ආස්සරේ කරනවා.

    අද ඇත්තට පලිය කෝ??

    ඉක්මනටම පුස්තකාලෙ සිද්ධි ටිකත් දාන්න……

    ReplyDelete
    Replies
    1. පලිය දාන්න කථාව ඉවර කරල ඉන්න එපාය එතෙක් හිටු

      Delete
    2. අන්න බලන්න විදානෙට තේරුම් ගිය කාරණේ බොට තේරුම් ගියේ නෑ නොවැ...මේ කථාව කියන්න පටන් ගත්තා විතරයි. අපේ නගා ඉතින් පස්සෙ කාලෙක සල්ලං වුනේ කෙල්ලො නිසාම තමයි...ඒ කථා ඉදිරියට...

      Delete
  5. කථාවේ උච්චතම අවස්ථාවට අැවිල්ලා නතර උනානේ..
    ඉස්කෝල යන කාලේ කාඩ් නං සිරාම තමයිි සිරාේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම උච්චතම අවස්ථාවට ආවෙ නෑ විදානෙ...ඒ අවස්ථාව තව මග....

      Delete
    2. මට විදානේගේ කාඩ් එක දෙකක් මතක් වුනා.

      Delete
    3. දෙකෙන් එකක්වත් කිව්වොත් නරකද ?

      Delete
  6. ඉතිං ඔය මල් කැඩිල්ල හාමුදුරුවන්ට අහුවෙන්නෙ නැද්ද දවල්ට.

    ReplyDelete
    Replies
    1. බොලා හිතුවද අපි මල්කැඩුවෙ අහුවෙන්න කියලා...හාමුදුරුවො පාට දෙකේ මල් පිපෙන බෝගන්විලා වර්ග කීපයක් වවලා තිබුනා...ඒවායින් කොච්චර කියලා මම දඩු කඩාගෙන ගිහින් ගෙදර හිටවන්න ඇතිද...එකක් පැළවුනේ නෑ නොවැ....කොල්ලො කිව්වා පස්සෙ පස්සෙ පන්සලෙන් ගෙනියන හින්දද කොහෙද කිසිම වගතුවක් නෑ මේ මල් පැලවෙන්නෙත් නෑ කියලා...වැද්දගෙ රෙඩ් ෆාම් පැලය නම් පැලවුනා.....නමුත් වසර ගානක්ම ඒක වර්ධනයක් පෙන්වුවේ නෑ....එක තැන...අදටත් එහෙමද දන්නෙ නෑ.

      Delete
    2. රෙඩ්ෆාම් පැල පොකුරෙන් එකසැරේ ගැලෙව්වම එහෙම තමයි...! පස්සෙ හරියනව..මුල් අද්දන්න කාලයක් යනව.

      Delete
  7. උඹලා උස්සන මල් පැල වලට මොකද කලේ? ඒවා ගෙදර ගෙනිහින් හිටෙව්ව කියලා නම් මම හිතන්නේ නෑ?

    මම මහන වෙච්ච දවසක උඹලා වගේ එවුන් නම් පංසල පැත්තටවත් වද්දා ගන්නේ නෑ කියලා හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා කාලෙන් කාලෙට විවිධ මල් වර්ග මිදුලෙ වවන්නෙ...කාලයක් කැනස් වර්ග වැව්වා...කාලයක් බෝගන්විලා...ඊට කලියෙන් ඇන්තූරියම්...

      බෝගන්විලා වවන කාලෙදි අපේ ගෙදර නැති ඒවා පැල කරන්න සෑහෙන්න පන්සලෙන් අතු කඩාගෙන ආවා...කිසිම ප්‍රගතියක් ලැබුනෙ නෑ....බොලා මහන වෙන්නද යන්නෙ...ශාසනේටත් කෙළවෙන පොටක් වගේ...

      Delete
  8. අද ප.ලි. නැද්ද ?

    කොහොමවුනත් අද නගා ගැන වැඩිපුර දේවල් ටිකක් දැනගත්තා... ඉතුරු විස්තරත් ඉක්මනින්ම ලියන්න ....

    ReplyDelete
    Replies
    1. ප.ලිය දාන්නෙ කථාවෙ අවසානයටනෙ නගෝ...මේ ඇරඹුම...තව ඉදිරියට කියන්න දේ තියෙනවා....

      Delete
  9. ප. ලි ය අනික් සැරේට වෙන්නැති නේද සිරෝ.අපේ අපවත්වුනු ලොකු හාමුදුරුවොත් හරියට මල් වැව්වා හැබැයි ගලෝනව තියා අල්ලන්න වත් දෙන්නෙ නෑ කොළයක්වත් කඩල අහුවුණොත් ඉඳල ඕනෑ නෑ ඉතිං සිවුර කැහැපොට ගහගෙන බනින්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ කියන ලොකු හාමුදුරුවො නුවර පළාතෙ කෙනෙක්...ඒ පළාත් වලින් ලස්සන ලස්සන මල් වර්ග හොයාගෙන ඇවිල්ලා හිටවන එක උන්වහන්සේගෙ සිරිතක්...පන්සලේ හිටිය නිසා සමහර දවස් වලට අපිටත් පැවරුනා මල් වලට වතුර දාන්න වගේ පොඩි පොඩි වැඩ....

      Delete
  10. තාමත් ඌට කියන්නේ ඔය නමමද? පවු බන්

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්...තවමත් නගාම තමයි...නමුත් උගෙ වාසනාවට මේ නම කැම්පස් එක ඇතුලට ගියේ නෑ...

      Delete
  11. උඹේ මේ ස්ටයිල් එකේ කතා වලට මම හරි මනාපයි බං...:)

    කිවත් වගේ කෝ යකෝ පලිය..?

    ReplyDelete
    Replies
    1. මේ ඉට්ටයිල් එක තමයි ඉස්සර මම ලියපු බොහෝ ලිපි වල තිබුනෙ...අද මේ එදාවේල ටුවර්ස් වලින් තමයි බොග ලියාගෙන යන්නෙ...මට දැන් වෙලාව අඩුයි බන්...මෙහෙම ලියන ඒවා රහ නෑ කියලයි මගේ අදහස...මක්ක කරන්නද...

      Delete
  12. නඟා... ඉවරයිනෙ ඒකා එතනින්ම. පවු නැත්ද අහිංසකය.

    ReplyDelete
    Replies
    1. මේකා අහිංසකයා වගේ හිටියට කපටි රජා...හීන්නූලෙ ගේම් දෙන්නෙ...බලහංකො ඉදිරියේදි නගා කරපු වැඩ....

      Delete
  13. ඉස්කෝලේ යන කාලේ ගැන මතක් කරපුවහම හැම එකකම වගේ මේ වගේ නගා චරිතයක් ඉන්නවා වගේ බං අයියේ

    ReplyDelete
    Replies
    1. මුන් වගේ එකෙකුත් ඕනෙ බං...නැත්තං කිසි කික් එකක් නෑ ගැන්සියෙ....

      Delete
  14. අපෙත් හිටිය නංගි කෙනෙක්.... ඌත් අනිත් උන් ඉන්න තැන චු කරන්න බෑ කිව්වා කියල තමා ඒ නම වැටුනේ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...එහෙනං ඒකා ඇත්තටම නංගියෙක් වෙන්න ඇති....

      Delete
  15. අපේ ඒලෙවල් පංතියෙත් හිටියා බං එකෙක්..ඉස්සරහම පේලියේ ඉන්නේ හැමදාම..සෑර්ගෙ ආවතේව කරුවා..ඌ තමයි උදේට රෙජිස්ටරේ පැන්සලෙන් එකයි බිදුවයි දාන්නේ.සර් දවස් දෙක තුනකට.පාරක් ඕක මකලා පෑනෙන් දාන්නෙ..
    උදේ පීරියඩ් එක ඉඳලා අපි යනවනෙ බං අපේ ගමං බිමං තාප්පෙ උඩිං..මේ යකා මටයි අනික් උන්ටයි බින්දු දාල . 80% දෙන්නෙ උගෙ බාප්පද..?? මං ඉතිං ආදරෙන් කීවා ආවත් නාවත් අපේ නං වලට එක නොදැම්මොත් උඹෙ &%$# &%$$ වා කියලා.. ඊට පස්සෙ අපූරුවට දැම්ම බං.උගෙ අතිං පයිං යනවෑ ඕක දැම්ම කියල.

    ReplyDelete
    Replies
    1. පත්තරයා ඒ කියන්නෙ ඒ කාලෙ පන්තියේ සද්දෙ දාගෙන ඉදලා තියෙන්නෙ...මේ වගේ අහිංසක නගාලට...දුක නැද්ද බොල...මේ වගේ නගාලව තලා පෙලන්න...

      Delete
    2. අනේ එහෙම නෑ බං.. ඌ ඉතිං කොහොමත් බයිට් වෙන එකානෙ.මං මක් කරන්නද බං.. වෙන එකෙක්ගෙන් නං ගුටි කනවනෙ .. ඇයි යකෝ බින්දුව දාන්නෙ අපි ඉස්කෝලෙ ආව නොවැ.. පීරියඩ් එකක් දෙකක් පන්තියෙත් හිටියනෙ.. අනික එක පන්තියෙ ඉන්න එකා වෙච්චි..

      Delete
    3. පීරියඩ් දෙකක් පන්තියේ ඉදලා ඉතුරු ටිකට ෂෝට් ලීව් දැම්මද ?

      Delete
  16. මේ ඉස්කෝලෙ කාලෙ කතා ටික නම් මල් හතයි සිරා අයියේ!

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද නගේ ඒ හරිය...මට මේ බොග අවුරුද්දක් උනත් නඩත්තු කරන්න කථා තියෙනවා අපේ පාසල් ජීවිතය ඇතුලෙ...ඒ තරම් සුන්දරයි....

      Delete
  17. හරිම රසවත් පාසැල් කාලයක් සිරාට තිබිලා තියෙන්නේ...

    මටත් ආසයි අඹ ගස්වලට ගල් ගහලා පන්සලේ ඉඳගෙන පාඩම් කරන්ට අර ලොකු බෝතලෙන් තේ බි බී....:)

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් ඕවා කරන්න ආසා උනාට දැන් හොද කාලෙ පහුවෙලා නොවැ....ඒ නිසා ලබන ආත්මෙ හරි එහෙම කරනවා කියලා අධිෂ්ඨාන කොරගන්න.

      Delete
  18. කෑ පතේ රෙන වැඩ කියන්නේ ඕවට තමයි. ඒ වුනත් කොලු වැඩනේ. මතකයන් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. කෑවොත් ඉතින් රෙන්න වෙනවමනෙ ලොක්කො....මොකද ඊයෙත් කලා, පෙරේදත් කලා කියලා නිකං ඉන්නයැ...

      Delete
  19. සිරා ලොක්කගෙ කතා විලාසයට නියමෙට සෙට් වෙන එකක් තමයි මේකත්..ඔය වගේ දේවල් අනිවා කරන්න ඕනෙමයි.නැත්නම් ගතියක් නැහැ..

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද මලේ...එහෙම දෙයක් කොරපු නිසා නේන්නම් අද අපි මතක් කරලා සතුටක් ලබන්නෙ....නමුත් සීමාවක් ඇතුලෙ තමයි වෙවැනි දේ විය යුත්තෙ.

      Delete
  20. මේ ඉන්න චරිත පටබැඳෙන නම් හැම එකක්ම හැම කෙනෙක්ගෙම පාසල් කාලයට පොදුයි වගේ දැනෙනවා.එකම විදියෙ සෙට් තමයි හැම තැනකම ඉන්නෙ.

    අපෙ ඉස්කෝලෙ එකෙකුයි ටියුෂන් ක්ලාස් එකේ එකෙකුයි හිටියා...

    ඉස්කෝලෙ එකාට දැම්මෙ පබා කියලා.උගෙ නම පබසර. ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න ආවාම පරණ එව්වො හැටියට මායි තව එකෙකුයි තමයි පුස්තකාලෙට ලමයිගෙ නම් දීලා කාඩ් එහෙම ගෙනැල්ලා අළුත් එව්වන්ට මග පෙන්නුවෙ. මේකට මම නිල්පාට පුස්තකාල කාඩ් එකක් දුන්නම මේකා කියපි // අනේ මට මේ පාට එපා රෝස පාට දෙන්න // කියලා. මට ඕක එවෙලෙ මීටර් නොවුනට පන්තියෙ හිටිය රෙජිස්ටාර්ට ගානට මීටර්. එදා ඉඳන් ඌ පබා. හැබැයි අපරාදෙ කියන්න ඕන්නෑ ඒක ඉස්කෝලෙන් අයින් වෙනකොට ගානට හදලා යැව්වා නැත්තං ඌ හිටියෙ සමූහ දූෂණයට ලක්වෙන ගානට....

    අනිකට කියන්නෙ නංගිමල්ලි. ඒකා අහිංසක කමේ උපත. ඌට මොකක් කිව්වත් ඌ නෙමෙයි එකට එක කියන්නෙ හිනා වෙලා පැත්තක් අල්ලගෙන පාඩමක් කරගෙන ඉන්න එක තමා උට තිබ්බ සැපේ.බස් එකක යද්දි කොල්ලො ස්ටෑන්ඩ් එකේ ඉඳන් කෑ ගැහුවාම ඒකා වීරයා වගේ අත වනාගෙන යනවා කිසි ගානක් නැතිව.කෝමහරි දැන් මිනිහා ඉංජිනියරිං

    අනිකා වැද්දා. ඒකා කරපු එකම වරද නාට්ටියකට ලමයි තෝරනකොට මිස් මම වැද්ද වෙන්නං කියපු එක. 8 වසරෙ විතර ඇති එතකොට. කෝමහරි නම දැම්මයි කියමුකො ඒකා නෙමෙයි කනකට ගත්තෙ.හැබැයි නාට්ටිය ඉවරවෙලා ඔඩිටෝරියම් එකේ කට්ටිය පිස්සු නටනකොට දුන්නක් අරං මූ විදින්න ගත්තම තමා නම දාපු එවුන්ටයි කියපු එවුන්ටයි රත් වෙන්න ගත්තෙ...

    ආසාවේ බෑ අප්පා මේ මතක හාරනකොට ඔහොම යං ඈ

    ReplyDelete
    Replies
    1. උඹ වගේ උවමනාවෙන් කමෙන්ට් කරන උන් නිසා තමයි බං බ්ලොග් කලාව රසවත් එකක් විදියට මට ඉස්සර දැනුනෙ...දැන් දැන් මේ විදියට තමන්ගෙ හිතේ තියෙන අවංක හැගීම් වෙලා අරගෙන කමෙන්ට් එකක් විදියට දාන්නෙ කීයෙන් කී දෙනාද...මහා ගොඩක් බ්ලොග් අඩවි අතරෙ ඒ ඇත්තන්ට ඒ සදහා මිඩංගු කරන්න කාලයකුත් නැතුව ඇති. නමුත් ලියන කෙනාට කික් එකක් එන්නෙ සුපිරියි..අනර්ගයි කියනවාට වඩා තමාගේ අත්දැකීම් බෙදාහදාගන්න වර්ගයේ කමෙන්ටු වලින්....බොට බොහොම ස්තුතියි..

      අපි බෑන්ඩ් ගහන කාලෙ අලුතෙන් ආපු පොඩි එකෙක් හිටියා නංගි බබා කියලා..ඒකා ඇරපු අතක් නෑ කෙල්ලෙක්ම තමයි...ඉතින් බෑන්ඩ් එකේ පුහුණුවීම් වලට ආවෙ නැති උනාම දඩුවම් දෙන බව දන්නවා නොවැ. මේකව බයිට් කරන්න හිතාගෙන එදා සැරයන් උගෙන් ඇහුවා උඹ -ක දෙනවද ? වෙඩි කනවද කියලා....වටේ පිටේ හිටපු උන් යන්තමට ඇහෙන ගානට ඌට කිව්වා වෙඩි කනවා කියලා කියන්න නම් එපා...උඹට අම්බානක පනිෂ්මන්ට්....ඒ නිසා අනිත් එකට කැමතියි කියලා කියපං කියලා....අනේ නංගි බබා....අයියෙ මට වෙඩි කන්න නම් බෑ....-ක දෙන්නම් කියලා කිව්වා නේද....අපිට එදා හිනා වෙලා පණ ගියා.

      Delete
    2. හපොයි දෙයියනේ ඔක්කොටම එහානේ මේක.... :D

      Delete
  21. //ඒ උනාට අපේ නිවස කිට්ටුව නිවාසයක දෙකක හිටිය සංගීත රසකාමී ජනතාව ඒවායේ හඩ උපරිම කරලා ඒ රස මිහිර විදගත්ත නිසාම මට නිවසෙ ඉදන් පාඩම් වැඩ කොරගන්න විදියක් නැති බව වැටහුනා.//

    ඔක්කොමත් හරි මේක තමයි වැඩේ.අපේ මිනිස්සුන්ට තියෙන අමුතු රෝගයක්.මමත් ඕකට ඔය විදියටම මුහුණ දුන්නා.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙවල් ලග හිටි කෙනා දැම්මෙ කාගෙ සින්දුද දන්නවද ? රස විදින්න පුලුවන් දෙයක් නම් පාඩම් නොකර හරි අහගෙන ඉන්න තිබුනා...ඒ උනාට කොහොමද බන් බස් අජිත්ගෙ මෙලෝ රහක් නැති ගූ සින්දු අහගෙන ඉන්නෙ.

      Delete
  22. අපිත් ඔහොම කලක් පාඩම් කලා මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වෙ පන්සලකද ? ඒ උනාට අපි වගේ ගේම් නම් දෙන්න නැතුව ඇති..

      Delete
  23. සිරාගේ පාසල් කතා ගෙනෙයි සිහියට අප ගේද පාසල් මතකයන්...

    ReplyDelete
    Replies
    1. නලින් අයියා කාලයකට පස්සෙ කාමරයට ගොඩ බැස්සේ...ඒ කියන මතකයන් එකක් දෙකක් ඇයි ඔබේ අතින් අකුරු නොවෙන්නෙ...

      Delete
  24. බලාගෙන යද්දී කාගෙත් සෙට් එකේ මෙහෙම එකෙක් ඉදලා තියෙන පාටයි.. බලමුකෝ එහෙනම් ඊලග එකත් කියවලම..

    ReplyDelete
    Replies
    1. නගා කාඩ් එක වැදුන එකෙක් හරි බොහෝ තැන් වල ඉදලා තියෙන බව පැහැදිලියි දැන්.

      Delete
  25. උඹලාත් එක්ක හිටිය හැම එකෙක්ටම මොකක් හරි වෙනත් නමක් තිබිලා තියෙනවා නේද.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් උන්ට තිබුනා...කොටින්ම මටත් තිබුනා...ඒ නම කිව්වාම තමයි මාව ගොඩාක් උන් අදටත් දන්නෙ.

      Delete
  26. //ධර්ම ශාලාවෙ තියෙන බංකු වලින් බාධක හදලා නගාගෙ පොල්ල නැති බයිසිකලේ ඒක ඇතුලෙ පැද්ද. එක වටයක් යන්න යන කාලය ඔරලෝසු වලින් මැනලා ජයග්‍රාහකයො පවා තේරුවා...අද නම් මේවා බොහොම සුන්දර මතක.// ඔය බොලාඅ ලිව්ව පන්සලේ කතාවෙ..මම කිව්ව වගේ මතකයි ඒත් නැවත කියමි.පින්වන්ත හාමුදුරු කෙනෙක් නැත්තන් තොපිලට ගහල එලවන්නෙ ධර්ම ශාලාවෙ සයිකල් පැදල.

    පුස්ථකාලෙ කතාත් මතකයි බොලා කිව්ව.

    ReplyDelete
    Replies
    1. ලොකු හාමුදුරුවො නිතර නිතර පිටරට සංචාර වලට වැඩියා දායකයන්ගෙ උවමනා එපාකම් මත. ඒ කාලෙට ඉතිං පන්සල අපිට අපේ ගෙදර වගේ තමයි...ඒ වගේ කාලයට තමයි බයිසිකල් රේස්....තැඹිලි කැඩිලි නැගලම ගියේ...

      Delete
  27. ශිහ්.. ඌට මහ අජූත නමක්නෙ වැටිලා තියෙන්නෙ..පව් වැඩේ... ඌ මේවා කියවනවද ?

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද සෙන්නා...ලබා උපන් හැටි නොවැ...අදටත් උගෙ කාඩ් එක නගාම තමයි.

      Delete
  28. ඔන්න අද අවා මේ පැත්තේ ගොඩ කාලෙකින් ^_^ 

    ReplyDelete
    Replies
    1. හුග කාලෙකින් කියන්නෙ නගා මේ පැත්තට ආවමද කොහෙද...කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඔන්න...

      Delete
  29. නගා කිව්වේ අපේ පවනියාට නේද ?

    ReplyDelete
    Replies
    1. මොන පවනියෙක්ද ලොකු අයියෙ...පවනියා එක්ක අපි කෝමෙයි එකට පාඩම් කරන්නෙ උ/පෙ වලට....ඒකා දරුකමට හදාගන්න පුලුවන් වයසක ඉන්න එකෙක් නොවැ...

      Delete
  30. අපෙත් හිටිය නගෙක් ඔය වගේම මල්ලියෙ..මු ඕ ලෙවල් ෆේල් උනා නමුත් හොදට සල්ලි..ඌට කාඩ් එක හිච්චි නගා..පස්සෙ මලය මේකා යෝග කරන්න ගියා..ඌට ඒක හොදට අල්ලලම ගියා..පේරාදෙනියෙ යෝග උගන්වන තැනක් මූට සෙට් වෙලා ඒකෙ යෝග උගන්නන්න ගියා...අන්තිමට එතනට යෝග ඉගෙන ගන්න ආව මූට වඩා අවුරුදු 3 වැඩිමල් ස්වීඩන් ඩොකියෙක් එක්ක සෙට් වෙලා මූ බැදල ස්වීඩන් ගියා..හැබැයි..කොච්චර කලත්...කොච්චර කල් ගියත් උගෙ පරන හිතවත්කම එහෙම්මමයි..ඌ මම දැනුවත්ව සුනාමියෙන් අසරන වෙච්ච පවුල් 4 කට ගෙවල් හදල දුන්න උගේම වියදමෙන්..වෙනද වගේම අදත් කතාවෙ මේ කොටස ඉස්තරම්..ජය වේවා

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ දෛවය වෙනස් කරපු ඔය වගේ සිදුවීම් මමත් බොහෝමයක් අහලා තියෙනවා...එක නිමේෂයකදි ජීවිතයට ලැබෙන අලුත් දේකින් ගොඩගියා කියලා මම අහලා තියෙන කථා වලට මේකත් එකතු වෙයි...ස්තූතියි...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...