Wednesday, November 19, 2014

102 ඉංග්‍රීසි සෑර් නිසා කුජීත වූ සිරා කොලුවා

ඉංග්‍රීසි සෑර් සමග සිරා කොලුවාට තිබුනු ගණුදෙනුව කවර ආකාරයේ එකක්දැයි මම දැන් ඔබට තරමක් දුරට වටහා දී හමාරය. එහෙත් මේ සටහන් කියවාගෙන යන ඇතමෙකුට ඇති වී තිබූ ගැටලු අතර සිරා කොලුවා රහමෙර පානය කර නිවසට පැමිණෙන විට මාපියන්ට හසු වූයේ නැතිද යන්න ප්‍රධාන විය. ඒ සඳහා පිළිතුරක් මෙන්ම ඉංග්‍රීසි සෑර් හා සම්බන්ධ තවත් මතක සටහන් සමගින් මේ ලියවිල්ල අරඹන්නට කැස කවමි.

කලින් පලවූ කොටස් මෙන්න. 1 කොටස  2 කොටස

ඉංග්‍රීසි පන්ති යාමෙන් පසු කොලුවා නිවසට එන්නට ප්‍රමාද වන බව මගේ දෙමාපියන්ට සෑහෙන දොහක සිට වැටහී තිබුනි. බොඳවූ දෑසින් නිවස පේනතෙක් මානයට පැමිණි පසු එතැන් සිට පුරුෂ ශක්තිය සිරුරට කාවද්දාගෙන වැනෙන්නේ නැතිව නිවසට යන්නට මා උත්සාහ කල අයුරු මට මැවී පෙනෙයි. එහෙත් පියා මෙන් නොව මගේ මව ඉතාම සූක්ෂම කෙනෙකි. ඇය නිවසට පැමිණි පසු මා හට තනිවන්නට ඉඩ නොදුන්නාය. ප්‍රමාදයට කාරණා ආදිය විමසා මගේ මුහුණ අසලට ඇගේ මුහුණ ගෙනවිත් ඉව අල්ලයි. නැතිනම් ඇසිපිය හෙළන වේගය දෙස බලා සිටියි. එවැනි වෙලාවට මම හුස්ම නොගෙනම සිටියෙමි.

අපේ නිවසේ මගේ කාමරය පිහිටා ඇත්තේ නිවසේ ප්‍රධාන දොරට හසුනොවන සේ එයට පිටතින් ඉස්තෝප්පුවට යාබදවය. කාමරයේ දොර වසා දමා එහි යතුර මා අත තිබෙන නිසා ප්‍රමාද වූ විටෙක දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්නට ප්‍රමාද වන බව දන්වා තිබූ කලෙක මා වෙනුවෙන් දොර විවෘත කරන්නට කිසිවෙකු අවදියෙන් රැදී සිටිය යුතු නැත. ඇතැම් දිනෙක මධ්‍යම රාත්‍රිය පසුවී නිවෙසට පැමිණෙන විට කිසිවෙකු අවදියෙන් නොමැති නිසා මා පැමිණියේ කුමන වේලාවටදැයි දකින්නට කිසිවෙකු සිටියේ නැත. එහෙත් පසුදා උදෑසනම මවගේ ප්‍රශ්න වැළකට උත්තර බඳින්නට සිදු වේ.

නගා කොලුවාගේ පියා මගේ පියාගේ හිතවතෙකි. එක් දිනක් මහ මඟ මේ දෙපල හමුවීමෙන් පසු නඟාගේ පියා පවසා ඇත්තේ සෑර් සමග ගිය බව පවසමින් නඟා ඇතැම් දිනෙක රෑ බෝ වී පැමිණෙන බව හා මත්පැන් ගඳක් වහනය වන බවකි.

මේ කියන දිනයද සෑර්ගෙන් Where Are You ? කෙටි පණිවිඩය ජංගම දුරබණුවට ලැබූ දිනයකි. වල නමින් හඳුන්වන ගම්පහ නගරයේ පිහිටා ඇති ප්‍රසිද්ධ ආපන ශාලාවේ සිට මම ඉංග්‍රීසි සෑර් සමග තුන් කාලක් පමණ හිස් කලෙමි. භාගයෙන් ආරම්භ කලද ඒ වන විට අපේ බේබඳුකම උඩුදුවා තිබූ නිසා තුන්කාලක් උව අපහසුතාවකින් තොරව බොක්කට හලාගත හැකි තරමට සිරා කොලුවා දියුණු වී සිටියේය.

සාදය අවසන් වූ පසු අපේ හන්දිය දක්වා වෑන් රථයෙන් ප්‍රවාහන පහසුකම් දීම සෑර්ගේ සිරිතයි. මම බොඳවූ දෑස පොඩිකරමින් නිවෙස බලා ඇඳුනෙමි. පුදුමයකි. මධ්‍යම රාත්‍රියට ආසන්න වුවද එදින කිසිවෙකුත් නිදි නොමැතිව මගේ ආගමනය බලා සිටින සෙයක් දුරතියා දුටුවෙමි. මගේ හදගැස්ම තීව්ර වෙයි.

මේකාව හදන්න බෑ...මේ සෑර් එක්ක තියෙන ආශ්‍රය නැති කරලා දාන්න ඕනෙ...අර නඟාගෙ තාත්තත් කිව්වා සෑර් එක්ක ගිහින් ඒකා බීලා එන කථාවක්...තාත්තාගේ කටහඬ මට දුරතියා ඇසෙයි.

කොහෙද ගියේ...ගෙට ගොඩවෙන්නට ලැබුනේ නැත. වෙනදාට තාත්තා මේ තරම් රෞද්‍ර නැත. එහෙත් අද අම්මා විසින් විෂපොවා තාත්තා පෙරමුණට එවා ඇත.

බස් පරක්කු උනා...මම වෙනදා අරින තඩි මුචලින්ද නාගයෙකු අත හැරියෙමි.

බොරු කියන්න එපා. ඔය බස් ඕනෙ තරම් ගියේ....

අපේ හන්දියේ බස් රථයක් නවතා, නැවත එය ධාවනය වන්නට පටන් ගන්නා විට එන්ජිමෙන් නැගෙන සැර හඬ රාත්තිරියට නිවෙසට හොඳින් ඇසේ.

බොරු නෙමෙයි..මම ගොඩාක් වෙලා හිටගෙන හිටියා කොළඹ ඉඳන් ඇවිල්ලා.
තාත්තා මා කරා අවුත් මගේ සියොලග විනිවිද යන බැල්මක් හෙලා මගේ පුසුඹ බැලීය.

මේකා බීලා ඉන්නෙ.
තාත්තා අවසන් නිගමනය අම්මාට දුන්නේය. ඇය දැන් පරල වී සෑර්ගෙන් පටන්ගෙන නඟා දක්වාම බැන වදින්නීය.

කොච්චර කිව්වත් රෑ ගමන් නවත්තන්න බෑ...අම්මා දෙස් දෙයි.

තාත්තා මා කරා ක්ෂණිකව ලං වී දකුණත ඔසවනවා යන්තමට දුටිමි. අසල සිටි මයෙ මලයා ඊළගට සිදුවෙන්නට යන දේ වේලාසනින් දැක ඉක්මනින් ඉදිරියට පැණ තාත්තාගේ බාහුවක එල්ලුනත් ඔහුද සමග තාත්තාගේ හැඩිදැඩි දකුණත මා කරා ආවේය. තරු පොකුරක් පනින තරමේ දැවැන්ත පහරක් මගේ වම් කම්මුල මත පතිත විය. සිරා කොලුවාට ඉතාම කලාතුරකින් දඬුවම් කර ඇති තාත්තා විසින් එදා මෙදා තුර මා හට එල්ල කල දරුණුම පහර එයයි. තරුණ කල කරාටේ ක්‍රීඩකයෙකු වූ තාත්තා වර්තමානයේ වුවද අපට වඩා ඉහළ බාහු බලයකින් යුතු කෙනෙකි.

නෙප්චූන් කෝකද, ප්ලූටෝ කෝකද, හේලිගේ වල්ගාතරුව කෝකදැයි මට නිච්චියයක් නැත. මන්දාකිනී එකට පැටලී වල්ගාතරු සමග පෙම් කරනවා වැනිය. මම අපහසුවෙන් කාමරයට වැදී දොර වසාගතිමි. තාත්තා සමග අම්මා දැඩිව බැණ වදින ආකාරය ඇසෙයි.



ගන්න කෝල් එකක්...කියන්න සෑර්ගෙ ගෙදරට අම්මා යෝජනා කරයි.

ඒ අවසරයෙන් තාත්තා නිවසේ දුරබණුවේ රිසීවරය අතට ගන්නා හඬ මට යන්තමට ඇසෙයි. එහා කොනෙන් සම්බන්ධ වන්නට ඇත්තේ අපේ සෑර්ගේ ප්‍රිය බිරිඳ විය යුතුය.

කෝ සෑර් ගෙදර නැද්ද...මට සෑර්ට කථා කරන්න ඕනෙ...ආ...පන්ති ගිහින් තාම ආවෙ නැද්ද....මම මේ කථා කලේ ........ ගෙ තාත්තා සෑර් අපේ ළමයි එක්කගෙන ගිහිල්ලා බොන්න දෙනවනෙ....ඒක හරිම වැරදි වැඩක්...පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න.

සිරා කොලුවා කුජීත වූ දිනයක් ඒ ආකාරයෙන් අවසන් වුවද අපේ රාත්‍රී මධු සාදවල අවසානය එය නම් නොවීය. සෑර් නිසා භාෂාව පැත්තෙන් අප ලද දියුණුවක් වූයෙන් සෑර් නැති තැන කෙසේ කීවත් ඔහු හදිසියේ හෝ අප නිවෙසට ගොඩවැදුනු වේලාවට අම්මා වෙනසකින් තොරව කථා බහ කලාය.

සෑර්ගේ බෙංගො වෑන් කොටයේ පින්තාරු කර තිබූ නියෝන් කොළ පැහැයෙන් යුතු වාහන ඉතා දුලබ විය. ඒ නිසා වාහනය දුරතියා එනවිට එහි ශබ්දයෙන් මෙන්ම දර්ශනයෙන්ද සෑර් පැමිණෙන බව දැනගන්නට ලැබෙයි.

එය සතියේ මැද දිනයකි. නිවාඩු දවසකි. වේලාව සවස 6 පමණ වන්නට ඇත. සෑර් නිවෙසට පැමිණ තිබේ.

සෑර් වාඩි වෙන්න අම්මා පෙරමගට ආවාය.

නෑ කමක් නෑ...මම මේ ආවෙ අපේ ටීවී එක කැඩිලා....මේ ලග ටීවී හදන හොඳ කෙනෙක් ඉන්නවා කියලා මෙයා කිව්වා. එයාව හම්බවෙන්න යන්න...සෑර් වැඩි හොදට රථයේ පිටුපස තබා තිබෙන රූපවාහිනී යන්ත්‍රය පෙන්වයි. අම්මාද රථය තුලට වීදුරුවෙන් එබී බලා ඇත්ත ලෙසම එහි රූපවාහිනියක් තිබෙන නිසා මට ඔහු හා යන්නට අවසර දෙයි. සෑර් රථය හන්දියෙන් හරවන්නේ රූපවාහිනී අලුත්වැඩියාවන් සිදු කරනා පුද්ගලයා සිටිනා දෙසට නොවෙයි.

ඔහෙට නෙමෙයි අනිත් පැත්තට හරවන්න...ටීවී හදන කෙනා ඉන්නෙ අනිත් පැත්තෙ...මම සෑර්ට කීවෙමි.

මොන ටීවී ද අයිසෙ..මම මේ ඩ්‍රින්ක් එකක් දාන්න යන්න ආවෙ. බලනවකො ඔය ටීවී එකේ මදයක් නෑ...සෑර්ගේ මුවෙන් හීන් හිනාවක් මතුවෙයි.

සැබෑ ලෙසම රූපවාහිනියේ මඳය නැත. සිරාකොලුවා නිවසින් පිටතට ගැනීමට සෑර් කර ඇති රඟපෑමක තරම හැබෑට.

තවත් දිනෙක ඔහු ආවේ වෑන් රථයට ටයර් කීපයක් මිළදී ගැනීමට යන බව පවසමිනි. එදාද ඔහු මිළදීගත් ටයරයක් නැත.

සිව්දෙනාම එක්වරකට සැට් වෙන අවස්ථාවක් උදාවූ කල තත්වය වෙනස්ය. එවන් විටෙක අපි ගම්පහින් තරමක් දුරට ගියෙමු. බොහෝ විට මෙවැනි ගමන් වලදී මත්පැන් පානය අතරතුර සෑර් වනිගයා සමග පැටලෙයි. ඒ විවිධ වාද විවාද නිසාය. කෙසේ හෝ මත්පැන නිමවා නැවත නිවෙස් බලා එන අතරතුරද වෑන් රථයේදී වනිගයා සමග උණුසුම් වාද විවාද ඇති වෙයි. කෝපය ඉහවහා ගිය තැන සෑර් රථය නවත්වයි.

බැහැපං බිමට...ඒ වෙලාවට සෑර්ව අස්වසන්නට තැත්කර පළක් නැත.

වනිගයා බිමට බසියි..දැන් උඹට කැමති එකක වරෙං....එසේ පවසා සෑර් රථය ඉදිරියට ධාවනය කරයි. මඳ දුරක් යන විට

අරූ පව් නේද...ත්‍රී වීල් එකකවත් එන්න සල්ලි තියෙනවද දන්නෙ නෑ...එසේ කියන සෑර් අප නිවෙස් වලින් බස්සවා නැවත වනිගයා සොයා යයි.

වරක් අප ගම්පෙදෙස ගිලගත් දරුණු ගංවතුරකි. හතර අතින් ජලයෙන් වටවී තිබෙන වටපිටාවක ප්‍රධාන මාර්ගයේ බස්රථ ධාවනය වන්නේද නැත.

මොකද වෙන්නෙ ඔය පැත්තට...සෑර්ගෙන් මගේ ජංගම දුරබණුවට ඇමතුමකි.

මොනවා වෙන්නද සෑර් අපිට හොඳටම ගං වතුර....

ඇඟ රත්කරගන්න මම මොනවා හරි අරගෙන එන්නද ? අරුන් තුන්දෙනාටත් මම කථා කරන්නම් සෑර් එසේ පවසයි...මගෙන් පිළිතුරක් නැත.

පැයක් දෙකක් ගත වෙන්නට ඇත. නඟාගෙන් ඇමතුමකි. මෙන්න සෑර් ඇවිල්ලා බෝතලේකුත් අරගෙන...වරෙන් ඇනිකට් එක ලගට....

මා එහි යන විට සෑර් නත්තල් සීයා මෙන් අපට තෑගි භෝගද රැගෙන පැමිණ සිටියේය. වයිට් ලේබල් බෝතලයක්...ආනමාලු ඇවරියක්...බිත්තර ආප්ප කීපයක් එහි විය. කලිසමේ කකුල් දෙක උඩට නමාගෙන ගංවතුර මැද ගම්පහ නගරයේ සිට කිලෝමීටර් 4 කට මඳක් වැඩි දුරක් පාද යාත්‍රාවෙන්ම ගෙවාදමා සෑර් එහි පැමිණ තිබුනි.

අතීතයේදී අපි නිවාඩු දින බොහොමයකදීම අඩියක් ගැසුවෙමු. එයට පොහෝ දින පවා ඇතුලත් විය. එක් වසරක වෙසක් උත්සවයද උදා වූවේය. මට මතක විදියට වෙසක් දිනයට පසු දිනයයි. සෑර් අපට කිව්වේ රාත්තිරියට වෙසක් බලන්නට කොළඹ යන්නට රථයෙන් එන බවත් සූජානම් වී සිටින ලෙසත්ය.

සෑර්ගේ පෙර වැරදි තිබුනද වෙසක් සඳ යට වැරැද්දක් සිදු නොකරනු ඇතැයි යන විශ්වාසයෙන් අපේ නිවෙසින් ගමනට අවසර ලැබුනි. රථය තුල මට අමතරව නඟා, පුෂ්පයා, වනිගයා සහ මයෙ මලයාද විය. මයෙ මලයා අපට පසුව සෑර්ගේ පන්ති ගිය නිසා හිතවත්කමක් තිබුනි. නමුත් මධුවිත සඳහා මලයාට ආරාධනාවක් ලැබුනේ ඉතාම කළාතුරකිනි.

කොළඹ නගර මධ්‍යයේ ඒ වන විට ඉඳිකර තිබූ තොරණ නැරඹීමට අප කථිකාවේ යෙදෙමින් තිබූ වටපිටාවක රථය ගාළු මුවදොරට සේන්දු විය.

ඇයි සෑර් තොරණ් බලන්න යන්නෙ නැද්ද ? අපි විමසුවෙමු.

මොන තොරණ්ද...අඩියක් ගහලා ගෙදර යනවා මිසක...

ගාළු මුවදොර පිටියේ මත්පැන් පානය තහනම් නිසා අඳුරු මුල්ලක බෝතලය හිස්කොට අප දැන් නැවත නිවෙස් බලා යන්නෙමු. නමුත් හැමටම බඩු මදිය.

මගේ බාස්කට්බෝල් කෝච් සුනිල් අයියා හිටියෙ කඳානෙ. මම ඉස්සර ගෙදර ගිහින් තියෙනවා..සෑර් පවසයි. සුනිල් අයියාගෙන් කොටයක් ඉල්ලාගන්නට සෑර් තීරණය කර තිබෙන්නේ වෙසක් නිසා තවමත් බාර් වසා දමා ඇති හෙයිනි.

සුනිල් අයියාගේ නිවෙස සොයාගන්නට අපට සෑහෙන වෙලාවක් ගතවිය. සෑර් එහි මෙවර පැමිණෙන්නේ වසර 18 කට පසුවය. එයද කොටයක් ලබා ගැනීමටය.

අප යන විට නිවැසියන් සිටියේ තද නින්දේ වුවද සුනිල් අයියේ යනුවෙන් වාරයක් දෙකක් කථා කල විට විදුලි පහනක් දැල්විනි. නිවසේ දොර විවෘත කර ඉවතට ආ තැනැත්තා සුනිල් අයියා විය.

අම්මේ බං උඹව දැක්ක කල්....කොච්චර කාලෙකට පස්සෙද....මේ මහ රෑ කොහෙ යන ගමන්ද...සුනිල් අයියා අපේ සෑර්ව එක එල්ලේ හඳුනාගත්තේය.

ආගිය තොරතුරු කථා කිරීමෙන් පසු සෑර් මාතෘකාවට බැස්සේය.

සුනිල් අයියා කොටයක් නැද්ද ? බඩු මදි උනා....වෙසක් නිසා හැමතැනම වහලා...

පොඩ්ඩක් ඉඳහංකො...පෙරේදා කඩපු ගල් භාගයක් තිබුනා දෙන්න...

සුනිල් අයියාගේ ගල් භාගයෙන් මඳි හරිය පුරවාගෙන, වෙසක් අසිරියෙන් නෙතු පුරවාගෙන බමන මතින් අපි එදිනත් නිවෙස් වෙත සේන්දු වූයෙමු.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

එක හුස්මට අපේ ඉංග්‍රීසි සෑර් පිළිබඳව ලිපි 3 ලිව්වෙමි. මේ ලිපි කීපය පුරාවටම ඇත්තේ සුරාවයි. සිරා කොලුවා වන මට හංගන්නට දෙයක් නැත. අපි අතීතයේ සැබෑ ලෙසම කල කී දෑ ලියන නිසා සුරාව වැඩි වී තිබේ. අතීතයේදී නිතර නිතර මධුවිතෙන් සප්පායම් වුවද පසුකාලයේ එය මසකට වතාවක් තරමට සීමා විය.

සිරා කොලුවා අද තනිකඩ ජීවියෙකු ලෙස නොරටක සිටියද, මත්පැන් පානයෙන් පසු බැණ වදින්නට, ගුටිබැට දෙන්නට දෙමාපියන් ලග සිටියේ නැති වුවද මධුවිත සමග මගේ ළඟ ආශ්‍රයක් දැන් නැත.මධුවිතක් හැමවිටම රසවත් වන්නේ, බෝතලය හිස්වන අතර තුර මිතුරන් සමග කරනා කථා බහෙනි. බොක්කෙ මිතුරන් නැති මැලේසියාවක සිට තනිව රහමෙර පානයට සිරා කොලුවා අකමැති නිසා මේ ශීලය සමාදන්ව සිටිමි.

සෑර් ගැන ලියන්නට තවත් බොහෝ දේ තිබේ. වර්තමානයේදී වුවත් එතුමා සහ අප අතර සුහදතාව ගිලිහී නැත.ඇතැම් විනෝද චාරිකාවක් අතරතුර සිදු වූ රසවත් සිදුවීම් මේ ලිපියට ලියන්නට නොහැකි විය. ඒවා සහ තවත් දෑ ඉදිරි දිනයක ලියමි. එතෙක් අපේ ඉංග්‍රීසි සෑර්ට සමුදෙමි.

102 comments:

  1. ඔන්න කොටස් තුනම කියෙව්වා.දැන් හොඳටම වෙරි.කොහොම උනත් බොලාගේ සෑර් නං නියම චරිතයක්.ගෝලයන්ගෙන් මිනිහට අල්ලල ගියෙ උඹල කස්ටිය වෙන්න ඇති.ඒ උනාට මේ වගේ කතා ලියනකොට ටිකක් පරිස්සමෙන්.මේකෙ ඉන්න ජීවිතේට මත්පැනක් දිහා බලලවත් නැති සුචරිතවාදියෝ උඹව පතුරු අරින්න ගනී.

    ReplyDelete
    Replies
    1. බොන්නැති උන් හතර මායිමට වද්දගන්න එපා කියල සර් සිරාට උපදෙස් දීල තියෙන්නෙ.
      සුචරිතවාදියො කියන්නෙ රෑට මල්පදුරු අස්සෙ තියාගෙන හොරෙන් බොන උන්ට නේද හැලපයියෙ.

      Delete
    2. ඔය සුචරිත වාදියො මත්පැන් දිහා බලන්නෙ නෑ. ඔළුව දෙපැත්ත හරෝල බැලුව වීදුරුව අරගෙන ළඟ නමාගත්ත එච්චරයි.

      Delete
    3. කථාව ඇත්ත හැලපයියෙ. සෑර්ට ගොඩාක් ගෝලයෝ ඉඳලා තියෙනවා...ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවොම කීප දෙනෙක් ඉන්නවා...සෑර්ගෙ සහ එතුමාගෙ මෑණියන්ගෙ ඉංග්‍රීසි දැනුම අති විශිෂ්ඨයි. ගුරුවරයෙක් ලෙස ඔහු ඉතාම සාර්ථක චරිතයක්.

      මම කලින් කිව්වා වගේ තමන්ට අත ඇරුනු නව යොවුන් තරුණ විය අපි එක්ක විඳින්න ඔහු තීරණය කරන්නෙ ඔහු හා අප අතර බොහොම හොඳ ඇසුරක් ආරම්භ උනාට පස්සෙත අපි සෑර්ගෙ බිරිඳගෙ නිවෙසට වගේම ඇගේ සහෝදර සහෝදරියන්ගෙ නිවෙස් වලට පවා ගියා නුවර ප්‍රදේශයේ...ඒ තරමට අපි හිතවත් උනා. ඒ වගේම අපි සහ සෑර් අතර තියෙන මේ සබඳතාව ඔහුගේ බිරිඳ ඉතාම හොඳින් තේරුම් අරගෙන තිබුනා...අපේ පියා එතුමියට චෝදනාත්මක මුඛයෙන් කථා කරපු වෙලාවෙත්....එයාට පුතාලා නෑනෙ ඒ හින්දයි එයාලා එක්ක ඔය තරම් හිතවත් කියලයි ඇය උත්තර දීලා තිබුනෙ.

      සුචරිත වාදියො ගැන ඉතිං මට හොඳ අත්දැකීම් තියෙනවා...උන් සමාජයට පෙන්වන්නෙ අපි හරි සාධු චරිත අපි බොන්නෙ කන්නෙත් නෑ කියලා...ඒ උනාට උන්ගෙ ලග තමයි කුහකකමයි / ජඩ කමයි / වැඩිපුරම තියෙන්නෙ. කවදාවත් මිනිහෙක්ට උදව් කරන්නෙ නැති...අමාරුවක වැටිලා ඉද්දි අහකබලාගෙන යන ගොඩාක් උන් නොබොන්නො. අත්දැකීමෙන් කියන්නෙ....මගේ මිතුරන් අතර ඉන්න නොබොන්නන්ගෙන් බොහොම සුළු ප්‍රමාණයයි මේ ගතිගුණ නැති උන් ඉන්නෙ....අනිත් උන් බහුතරය මෙලෝ රහක් නැති උන්...බොන උන් හැමෝම හොඳයි කියනවා නෙමෙයි...ඒත් බහුතරය ඉතාම හොඳ මානුෂීය ගතිගුණ වලින් යුතු අය.

      Delete
    4. @රාජ් (ආතල් ඇනෝ සමහ), දේශක, මාතලන් අරූ සහ අනෙකුත් අය ( සොරි ලිස්ට් එක ලිග වැඩියි)

      අපිව මේතරම් සිරා වර්ණනා කරන්නෙ මොකද? සිරා චන්දෙ ඉල්ලනවද? පොදු අපේක්ශකද ?

      Delete
    5. බොන එකත් කලාවක්... අෆ්රිඩි වගේ ගහගෙන ගහගෙන යන්නේ නැතුව... ගානට ගහලා ආතල් එකක් දාලා කාටවත් වාතයක් නොවී ඉන්නවනම් කිසිම අවුලක් නෑ....

      ගල් හොදායී... එත් ගදායී

      Delete
    6. පොදු අපේක්ෂක වෙන්න කියලා ආරාධනාවක් ආවොත් මම භාර ගන්නෙ නෑ. ඒ උනාට ප්‍රතික්ෂේප කරන්නෙ නම් නෑ ලොක්කො...සිංහල සෑර් කිව්වෙ එහෙම නේද කාලෙකට කලින්.

      වැඩ දාලා බොන්න යන උන් නොන්ඩි වෙලා ඔන්දස්පොට් වෙන්න වැඩි වෙලා යන්නෙ නෑ...මට නොයෙක් වර එහෙම අත්දැකීම් තියෙනවා...වතාවක් සිංගප්පූරුවේදිත් අපි එක්ක හිටිය එකෙක් වැඩ දාලා බීලා ඇදවැටුන හැටි මතක් උනා...

      Delete
    7. @ප්‍රා...මචෝ...ඔය ලිස්ට් එකේ ඉන්න අය සෙට්වුන දවසකට ඉංග්‍රීසි සර්ටත් එන්න කියමු.

      Delete
    8. කවුරු සැට් උනත්

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    9. මාතලං එනවනං මට බෑ..

      Delete
    10. බල්ලො එක්ක මම නම් බොන්නෙ නෑ...

      Delete
  2. සරුත් දැන් රහමෙර පානය සීමා කරල, මම හිතන්නෙ ගෝලයො ටික නොරටක හින්ද වෙන්නැති.
    අපිටත් A/L කාලෙ ටියුෂන් දෙන්න ගම්පහට ආපු ගුරුවරයෙක් හිටිය, දැන්නම් ප්‍රසිද්ද කෙනෙක්, සල්ලි තියන පවුලක පුතෙක්. විභාගෙ ලංවෙද්දි අපේ යාළුවෙක්ගෙ ගෙදර නැවතිලා අපිට නොමිලේම ඉගැන්නුව, රෑට කුරුම්බ කැඩීම්, ගෙවල් වල මල් පෝච්චි මාරු කිරීම්, රෑට ආඳො අල්ලන්න යන එකෙන් මෑන් මාර සතුටක් ලැබුව. එයාගෙත් කොළු කාලෙ යාළුවො ආශ්‍රය කරන්න දීල නෑ.
    මැලේසියාවෙදි බොන්නැත්තෙ මොකද? කෙල්ලෙක්වත් එපා කිවුවද ? අපේනම් බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. අපේ ඉංග්‍රීසි සෑර් කම්මල අයියගෙ අසල්වැසියා..ඉතිං වර්තමාන තොරතුරු දන්නෙ ඔයා තමයි. දැන් සෑර්ට ගෝලයො කවුරුවත් අල්ලගන්න බෑ. දෙන්නෙක් රටේ නෑ...දෙන්නයි ලංකාවෙ ඉන්නෙ. උන් දෙන්නත් පට්ට බිසි.

      ඔය කුරුම්බා කඩන, වගේ හොර සීන් එකක් දෙකක් තිබ්බම තමයි කොලු කාලෙ හැමදාම අනුස්මරණය කරන්න පුලුවන් බොහොම සතුටින්.

      මැලේසියාවෙදි බොන්නෙ නැති ප්‍රධානම හේතුව තමයි තනියෙන් බොන්න තියෙන කම්මැලි කම...කයියක් ගහගෙන බොන්න එකෙක් නැතුව තනියෙම බොන එකේ මෙලෝ ලකයක් නෑ. නැත්තං මෙහෙ අරක්කු පට්ට ලාභයි. මමත් ඉතිං මෙහෙට සංචාරයකට මගේ යාලුවෙක් එනවා නම් ගල් තමයි හැමදාම ගෙන්න ගත්තෙ. මේ වර්ෂය අග එන එකා ගේන්නෙත් ගල්...

      අපි ලංකාවෙදි සැට් උනාමත් ගල්ම ගහමු...ගඳ නොබලන්නෝ....ගල්ම ගහන්නෝ....

      Delete
    2. අනිවා..කම්මලේ..බයිට් එකට වනචර ඌරා (ප්‍රියාගේ නිර්මානයක්)

      Delete
    3. වනචර සතා දැක්ක කාලයක් මතක නෑ මෙන්ඩො.

      Delete
    4. තැබ්ලි හොරෙන් කඩන පට්ට ආතල් වැඩක්... දවසක් අපිත් ගසමින් ඉන්නකොට සැන්ඩි ඉවර උනා.. තීරනයකොරා අල්ලපු වත්තට පැනල තැබිලි ගෙඩියක්වත් කඩලා කලවම් කරලා ගහමු කියලා... ඔන්න අපේ සෙට් එකේ පයිලට් ගහේ... ගහ යට කොන්ක්‍රීට් පාර නිසා ගෙඩිය බිමට වැටෙන්න නොදී අල්ල ගන්නත් ඕනා... අනික සද්දේ ඇහුනොත් වැඩේ දෙල්... සෙට් එකෙන් හොදටම සෙල්ලම් කරන්න පුළුවන් එකා ඉදිරිපත් උනා තැබිලි ගෙඩිය අල්ලන්න... අරුත් ගහ උඩ ඉදල දැම්මා.. මෙන්න මු ලස්සනට අත්දෙකයි බඩයි මැදින් "දොක්" ගාලා ලස්සනට ගෙඩිය බිමට ඇත ඇරියා... අත ඇරලා ඩෝප් මරගාතේම කියනවා " බලපන් ටෙක්නික් එකට ලස්සනට අත ඇරියා නේද" කියලා.... සද්දේ ආව නිසා අරුත් ගහෙන් කටෙන් ගෙඩියක් එල්ලන් සුරුස් ගාලා බැස්සා.... කට්ටිය දිව්වා ආත බුත නැතුව...

      Delete
    5. ඇනෝ කොල්ලො...වතාවක් සිරා කොලුවා ඇතුලු බෑන්ඩ් නඩයත් තැඹිලි මෙහෙයුමක් සිද්ධ කලා නොවැ...මෙන්න මෙතැනින් ඒ කථාව කියවන්න.

      Delete
  3. සුපිරි අතීතයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...සෑහෙන දොහකින් දැක්කෙ...

      Delete
    2. @ මධුෂාන්...එළකිරි මචෝ...මම ලින්කුවෙන් ගිහිල්ලා බැලුවා...මගුල් /මල ගෙවල්/ දානෙ ගෙවල් ඕනෙ එකකට මාලු සපයනවද ?

      Delete
  4. පිස්සු කෙලින්න එපා..ලංකාවට ආවම සෑර් කාරයත් අල්ලගෙන බෝතලයක් ගහන්නම ඔිනේ..

    ReplyDelete
    Replies
    1. ඔයා බයිලා නම් කථා කරන්න එපා...රාජාංගනේ වැව් බන්ට් එකේ...ඔයයි මමයි කම්මලයි...පත්තර මල්ලියයි..වීයයි...ඔන්න සෙට් එක...අම්පාරට ගියොත් සඳරුවත් ඉන්නවා....ගල්ම ගහමු...සීදුවෙන්ම අරගමු....

      Delete
    2. අනිවා..එදාට ගහනවා පක්කං පදිරි සන්නහා සන්නද්ධ වෙන්න.

      Delete
    3. එළකිරි....ඊට කලින් මම එන්නම් දැරිවියො සහ දැරිවියො භාරව ඉන්න කෙනාවත් බලලා යන්ට...

      Delete
    4. මං ගුඩු ගුඩු ගාලා ගල් සේරෝම ටික බීල එතැනම බුදියනවා !! ඉටිකොලේකුත් ඇරං එන්නේ. ඕ යේස් !!

      Delete
    5. රජරට වැවක්, ගල් බෝතලයක් ... හම්මේ සනීප

      Delete
    6. එවලේම අල්ලපු කොරලි බැදලා...කකුල් දෙක වතුරට දාගෙන බිලා..හෙලුවෙන් නාලා බල්ටි ගහලා.තෙලක් දාලා දුමක් දාලා වලක් බැහැලා

      Delete
    7. උඹ ගුඩු ගාලා බොනවා නම් පත්තරයො අපිට සීදුවෙන් ස්කාගාරයම රජරටට ගේන්න වෙයි වගේ...මොකද උඹ ගුඩු ගානකොට ඔය මෙන්ඩිස් අයියලා කම්මල අයියලා වගේ දැනමුත්තො නිකං ඉන්න එකක්යැ...

      Delete
  5. අපොයි බීල ගිහිල්ල අහුවෙලා ඔහොම බේරුනා මදැයි.
    මොක උනත් සර් කාරයනං උඹලත් එක්ක බොක්කෙ ෆිට් වෙලා තියෙන හැඩයි.

    බොක්කෙ යාළුවො එක්ක බොන එක වගේම බිව්වට පස්සෙ කියන කතා වලින් උං නියම යාළුවොද නැද්ද කියන එක හොඳට තේරුං ගන්න පුලුවං. ඒ පාඩම හොඳට ඉගෙනගත්ත එකෙක් තමයි මම. ඒ නිසා දැං අපේම පවුලෙ එකෙක් එක්ක සෙට් උනොත් මිසක් වෙන කිසිම යාලුවෙක් එක්ක බීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. සෑර් තමන්ට පුතෙක් නැති වීම ගැන සෑහෙන්න තැවෙන කෙනෙක්...ඒක එයා කාටවත් කිව්වෙ නැති උනාට ඒ පසුතැවිල්ල අපට දැනිලා තියෙනවා. ඒකත් එක්ක තමයි එයාට තමන්ගෙ තරුණ කම සමරන්න පුලුවන් ගින්දර කොල්ලො 4 සැට් උනේ.

      මම නම් දන්නම උන් එක්ක තමයි ගොඩාක් වෙලාවට ලංකාවෙදි සැට් උනේ...යාලුවන්ගෙ යාලුවො...කලින් මුණ ගැහිලා නැති උන් එක්ක බොද්දි හරිම පරිස්සම්...බිව්වට පස්සෙ දේශපාලනය වගේ මෙලෝ වැඩකට නැති...ඒ උනාට අපේ උන් මරාගන්න මාතෘකා වලදි මම හරිම කට පරිස්සම් කරගෙන ඉන්නෙ....ඔය වගේ වැඩකට නැති දේ නිසා තමයි සමහරු මරාගන්නෙ.

      Delete
    2. @ ප්‍රසා, පවුලෙ උන් එක්ක බොන්න, අපෝ එයිට වැ ඩිය හොදා වස බොනව. කටක් ඇරලා ගල් බෝතලයක් ගහමු කියන්නෙ කොහොමද නෑයෙකුට.
      - බ්‍රෑන්ඩ් එක ගල් -

      Delete
    3. @ කම්මල,
      පවුලෙ උං කියන්නෙ ඔය මස්සිනාල දෙන්න වගේ එවුවො තමයි. මොනවද ඉතිං ලෑස්ති කරල කතා කරන එක විතරයි.

      -බ්‍රෑන්ඩ් එක ගල්- උනාට අන්තිමටනං සෙට් උනේ ඕල්ඩ් එකකට.

      Delete
    4. පවුලෙ උන් එක්ක සැට් වෙලා එකෙක් හරි බීලා වැඩිවෙලා පිස්සු කෙලියොත් අර බීම සංවිධානය කරපු කෙනාගෙ ඇඟට තමයි කුණු කන්ද කඩා පාත් වෙන්නෙ. මිනිහගෙ බාරියාවගෙන්...

      කම්මල අයියා...ගල් වලට මොනවද හොදම ෂැන්ඩිය..?

      Delete
    5. ගල් වලට තැඹිලි වතුර !!

      බිකෝස් කෝක් ගන්න සල්ලි වලිනුත් තව ගෝලිප් එකක් ගෙනාහැකි !! ඕ යේස්

      Delete
    6. ගල් නම් සෝඩා, නැත්නම් ජින්ජර් ඒල් .

      පත්තරේ , තැබිලි ගෙඩියක් 40 යි.

      Delete
    7. තැඹිලි ගෙඩියක් හතලිහට නැගලද...මම එද්දි රුපියල් 25 ටනෙ තිබුනෙ...ආශ්චර්යය තමයි ඉතිං...

      Delete
  6. හම්මේ තාම මිරිකුවාම බෝතලයක් ගන්න පුළුවන් සයිස් එකේ ද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම නෑ....දැන් මාස හතරකට සැරයක් විතර බොසාගෙ ඉවෙන්ට් එකකදි විතරයි ටිකක් තොල ගාන්නෙ....

      Delete
  7. මොනවා උනත් මේ වගේ සර්ලා අතින් වැරදි සිද්ධ වෙනවා අඩුයි. අපේ AL ඉංග්‍රීසි සර් තුමත් හොඳ බෙබා! උදේට පන්තියට ආපුවහම මුණ මිරිකලා බෝතලයක් ගන්න පුළුවන් ගඳ මැකෙන්න පට්ට සැර සෙන්ට් එකක් ගහගෙන එන්නේ.
    හැබැයි මිනිහා අඩු වයසින්ම වැලිගම්පිටි ගියා

    ReplyDelete
    Replies
    1. අපි ලංකාවෙන් දුරස්ථ වීමත් එක්ක සෑර්ගෙ බොන පුරුද්ද සෑහෙන්න අඩු උනා. මා ඇතුලුව ගෝලයෝ දෙන්නෙක්ම දැන් පිටරට....අපි නැවත එකට සෙට් වෙයිද කියලත් හිතෙනවා...මොකද හුග කාලෙකින් අපි 5 දෙනා එක මේසෙක සැට් වෙලා නෑ

      Delete
  8. මම පාසල් යන කාලේදී නම් කවදාවත් බීලා නැහැ. හැබැයි පාසල් ගුරුවරයකු ලෙස ගතකල ඉතා කෙටි කාලසීමාවේදී එම පාසලේම කලකට ඉහත මගේම පන්තිභාර ගුරුතුමා සමහ සැට් වෙලා තියනවා කීපවතාවක්. එතුමා බොහොම සතුටුවුණා මගේ 'දක්ෂකම් දැකලා' :D

    මම පාසලෙන් ඉවත්වෙලා ඉන්න කාලේදී තමයි බීලා තාත්තට අහුවුනේ. කණ පලලා මාස තුනක් විතර ගෙයින් එලියට යන්න දුන්නෙත් නෑ. එලියට ගිය දවසේ යාළුවො ඇහුවා උඹ වැඩිවිය පැමිණිලා ඉඳලා ඊයේද වතුර වැක්කෙරුවේ කියලා.

    ReplyDelete
    Replies
    1. මම පාසල් යන කාලෙදි බොන්න අත්පොත් තිබ්බෙ බෑන්ඩ් එක නිසා...ඒ උ/පෙ කරන කාල සමයෙදි...බෑන්ඩ් කෙරුවාවෙන් බොන කෙරුවාවත් හොඳ ගානට පුරුදු උනා...මම හිතන්නෙ ඒක අද වෙද්දි සාමාන්‍ය දෙයක් වෙලා...සමහරු මෙතැනින් ගන්න ආරම්භය හරහා වෙනත් මත්ද්‍රව්‍ය වෙත යොමු වෙලා ජීවිතය නාස්ති කරගන්නවා.

      අපි මේ දේවල් එදා කලාට අපේ දරුවෙක් මේ වගේ දේ කරද්දි අපි ඉවසන්නෙ නෑ නේද...ඒ ගැන මොකද විචාරක තුමා කියන්නෙ

      Delete
    2. අද මම මගේ අක්කලාගේ පුතාලා එක්ක ගහනවා සිරෝ. හොඳ වෙලාවට මට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නේ. උන් දෙන්නා නම් බොන එකෙක් දිහා ඇහැක් ඇරලාවත් බලන්නේ නැහැ මගේ වැඩ කිඩ දන්න නිසා :D

      හැබැයි ඉතිං දිනපතා බොන්නෙක් නොවී. ඉතා සීමිතව සහ අවස්ථානුකූලව බොන්නෙක් වීමේ වරදක් නැහැ. හමුදා කඳවුරුවල බොන්න තියන පහසුකම් සහ මුදල්මය හැකියාව අනුව බිව්වානම් අද අපි මැරිච්ච තැන්වල ගසුත් පැළ වෙලා.

      අද පරපුර සිගරට් බීම සීමා කලාට මත්පැන් බීම නම් ටිකක් තදට තියනවා.

      Delete
    3. පුතාලා එක්ක ගහන නිසා තමයි විචාරක තුමා තවම නව යොවුන් තරුණයා වගේ ෆුල් ආතල් එකේ ඉන්නෙ...බොහොම සන්තෝෂයි...

      Delete
    4. මටත් පුත්තු නැහැ. වෙන්ඩ බෑණා එක්ක අඩි පුඩි ගහනවා. මම තරම් 'දක්ෂ' නැහැ :

      හැබැයි සිරා හොරෙන් ගහන එවුන් එක්ක නම් මට එතරම් මනාපයක් නැහැ. අපේ තාත්තා මම බොන බව දැණගත්ත කාලේ කිව්වේ, කරන දෙයක් කෙලින් කරන්න පුරුදුවෙයන්. නැත්නම් නොකර හිටපන් කියලා. මම ඉතින් කෙලින් කරන්න හිත හදාගත්තා :D

      Delete
    5. අපේ තාත්තා මුල්ම කාලෙදි අපි අඩියක් ගහලා ගෙදර එන බව දැන දැනත් නිහඩව උන්නා. එ තාත්තත් බොන කන මිනිහා නිසා. ඒත් අම්මා කියවන්න ගත්තම කනක් ඇහිලා ඉන්න බැරි වෙන නිසා තමයි තාත්තා කාලයක්ම බලාගෙන ඉදලා අතදිග ඇරලා එකපාර දඬුවම් කලේ.

      මමයි මලයයි දැනට අවුරුදු 3 කට විතර කලියෙන් අපේ අසල්වැසියෙකුගෙ නිවෙසකදි තාත්තත් එක්ක එක බෝතලේකට සැට් උනා...එදා විතරමයි අපි තුන්දෙනා එකට බිව්වෙ...ඒක හරිම සුන්දර දවසක්...

      Delete
    6. @අරැ අයියා
      එල ද බ්‍රා තාව.
      මගේ තාත්තා කිව්වෙත් තමන්ගේ සිමාව දැනගෙක බිපන්..හැබැයි උඔ හම්බ කරලා.

      Delete
  9. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා....

    ReplyDelete
    Replies
    1. බැතිපෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා
      අපිට බොනවෙලාවට සිංහල තහනම්...ඉතින් හැමදේම ඉංග්‍රීසියෙන් තමයි කියන්න ඕනෙ...බැරිම දෙයක් තිබුනොත් සිංහලෙන්...ඒක ඉංග්‍රිසියට පරිවර්ථනය කරලා සෑර් බොන ගමන් පාඩම කරනවා...ඒ නිසා බොන්න ගියා කියලා අපිට ඉංග්‍රීසි පාඩම නැති උනේ නෑ...ඒක හරිම චමත්කාරජනක කාලයක්.

      Delete
  10. පහුගිය ටිකේ ටිකක් වැඩ වලට හිර වෙලා හිටිය නිසා අද තමයි මුල් කොටස් දෙකත් කියෙව්වේ ...

    හි..හි.. එහෙම සර්ලා ඉන්නේ හරි කලාතුරකින්..

    ReplyDelete
    Replies
    1. මේ වගේ චරිතයක් දිහා බැලූ බැල්මට පේන්නෙ කළු චරිතයක් විදියට..ඒත් අවබෝධයෙන් යුතුව බැලුවොත් චරිතය සුදු බව පෙනේවි...නමුත් ඒ අවබෝධය ලැබෙන්නෙ නෑ ගොඩාක් අයට...

      Delete
  11. බොලා හදන්න බෑ ..... :)

    මම නම් ඔව්ව පාවිච්චියක් නෑ. කාගෙවත් බල කිරීමක් නිසා නෙවෙයි, මට අවශ්‍ය නෑ කියල හිතුන නිසා. දැනට කාලෙකට කලින් ටික කාලයක් පුරාවටම මට අදහසක් තිබුනා දවසක සිහිනැතිවෙනකන්ම බොන්න ඕන කියල. ඒත් කොහොම හරි ඒක මඟඇරුනා, අද නම් මම සතුටු වෙනව මම ඒකට යොමු උනේ නැති එකට. උඹලට නම් මම විහිළු කරනව තමයි, ඒත් බොන කන මිනිස්සු මොනව කරගත්තත් සාමාන්‍යයෙන් මගේ නම් වැඩි තැකීමක් නෑ ඒ ගැන. මොකද බෙහෙත් ගන්න ගියාම දුම සම්බන්ධයෙන් ඩොකාම තදින් අවවාද කරන ඒත් දුම උරන - ඉඳල හිටල හරි ඇල්කොහොලුත් ගිලින ජීවමාන උදාහරණයක් අපේ ගෙදරත් වැඩ සිටිනව, ආයෙ මොනාද තව. කොහොම උනත් මම, මම ගැන චරිත සහතික දෙන්න අවශ්‍ය නැති නිසා අර උඹ උඩ හැලපෙ අයියට දීපු රිප්ලයි එකේ කියපු දෙපාර්ශවයෙන් කැමති පැත්තකට ඔන්න මාවත් දාගනින්.

    හොඳ වෙලාවට බොලා සෑර් එක්ක බොන කන වෙලාවට කඩ්ඩ වනන්නෙ. නැත්නම් අර කඩ්ඩ මාස්ටර් හෙන්රි අයියල වගේ “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!” කියල තමා බොලාටත් අන්තිමට කියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම ඉතිං සෑහෙන දොහක් නොවැ අපේ DDT යා අමද්‍යප සංගමයෙ බොහොම වැඳගත් තැනක ඉන්න බව දැනගෙන. මම ඒ තීරණය ගැන කිසි දෙයක් කියන්නෙ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවැ. අපි කවදාවත් බොන්න අකමැති කෙනෙකුට බලෙන් පොවලත් නෑ...මම කියන්න හැදුවෙ මචෝ බොන උන් අන්තිම නරකයි...නොබොන උන් හොදයි කියලා සමාජ ගත වෙලා තියෙන එහෙමත් නැත්තං කාන්තා පරාණ විශ්වාස කරන කාරණය ගැන මගේ දැක්ම අනුව අදහස් දැක්වීම පමණයි. මම සහ මගේ කිසිම මිතුරෙක් දුම පාවිච්චි කරන්නෙ නෑ. අපි සම්පූර්ණයෙන්ම දුමෙන් තොරයි.

      අපි ඉතිං ඒ කාලෙ රැස්ටුරන්ට් එකකට බොන්න ගියාම සිංහල භාවිතයක් නැති නිසා රැස්ටුරන්ට් එකට එන යන උනුත් මුන් නම් කොළඹ හොඳ කකුල් ටිකක් වෙන්න ඇති කියලයි අපේ දිහා බැලුවෙ.

      Delete
  12. ඔබේ සුන්දර ශෛලියෙන් - හාස්‍යය, උපහාසය, බරපතළකම, කාව්‍යමය බව ... මෙකී නොකී සියල්ලෙන් ම යුතු ශෛලියෙන් - රචිත, කියවීමේ රුචිය වඩනා මේ රසබර ලිපි සොයා ගෙන මම දැන් නිතර මෙහි පැමිණෙමි. පෝස්ටු එකකට එකක් දෙවෙනි නැත. භාෂාව නොමරා හැකිතරම් වියරණ ද රැකගෙන ඔබ ලියන ලියවිල්ලට, එහි නැවුම් අව්‍යාජ බවට මම ඉතාමත් ප්‍රිය කරමි. ඔබට සුබාසිරි !

    එංගන්තයෙන් ඔබේ රසවතෙක්.

    ReplyDelete
    Replies
    1. සිරා වෙනුවෙන් ඔබට ස්තුතියි ඇනෝ..

      Delete
    2. මේ ඔබේ අවංක අදහස නම් මම ඉතා සතුටුවෙමි. කෙනෙකු සතු හැකියාවක් හෝ වෙනත් වටිනාකමක් මේ අන්දමින් අගය කරන්නට හොඳ නිහතමානී කමක් තිබිය යුතු බව මගේ වැටහීමයි. ස්තූතියි ඇනෝ මිත්‍රයා...දිගටම කාමරේ පැත්තෙ එන්න...කැමති නම් කාමරේ 7 වෙනි ලිපියට එංගලන්තයේ ඔබේ අත්දැකීම් එකතු කරන්න.

      මෙන්ඩිස් / නදිනි දෙපලටත් මගේ ආචාරය...

      Delete
    3. ඇනෝ බොක්කා පිට් තමා !!

      Delete
    4. බෙහෙවින් ස්තුතියි සිරා මල්ලී (මා ඔබට වඩා වැඩිමහලු කෙනෙක්). යම් කෙනෙකුගේ හැකියාව සහ නිර්මාණශීලිත්වය අගය කළ යුතු මට්ටමක පවතී නම් එය අගය කළ යුතු ම යි. තමන්ට නොහැකි, නුපුරුදු දෙයක් තවෙකෙක් ඉතා හොඳින් පහසුවෙන් මෙන් ම අන් අයගේ ප්‍රශංසාවට බඳුන් වන අන්දමට කරනවා නම් ඔහු ඇගයීම මගේ සිරිතක්. එය මූනිච්චාවට හෝ උපහාසාත්මක ව කරන දෙයක් නොවේ. ඔබේ අපූරු බ්ලොගය මා සිත් ගත් බ්ලොග අතළොස්ස අතරින් විශේෂිතම එකක්. දුරුරටක සිට රැකියාව කරන අතරේ මෙවන් රසාංග ගෙන එන ඔබට තෙරුවන් සරණ පතමි.

      සංජීව, නදිනි, පත්තර මල්ලි ඇතුළු ඔබේ අනගි මිතුරු කැළටත් තුති! නැවතත් නොවරදවා මෙහි එමි.

      Delete
    5. ඉස්සර කාලේ හොද හැටියට බීපු පොරක් වෙන්ටැති ඔය ඇනෝ...

      Delete
    6. අනිවා කනබොන වුන්ගේ බොක්ක හොදයි..දැන් බලන්න අපේ පත්තර මල්ලි සෙම සෙවල නෑ.ඇගේ පච්ච නෑ ඇටේ මයිල් නෑ..

      Delete
    7. ඇටේ මයිල් නැත්තෙ හැමදාම බයිසිකලේ පොල්ල උඩින් පැදලා ඇතිල්ලිලා වෙන්න ඇති...

      Delete
  13. නියමයි.. මේ පාර එක කොටසක්වත් මිස් උනේ නැහැනේ. ඒක නිසා රසේ වින්දා. අනික තනිකර බොන්න තියෙන තැන් වලට අපිත් මනාපයි.. සෑර් තාමත් ඒ විදියටම බොනවද බං..

    ReplyDelete
    Replies
    1. සෑර් දැන් එහෙම බොන්නෙ නෑ කියලා ඔය කම්මල අයියා කියන්නෙ...අපේ සෑර් උන්දැගෙ ගෙවල් කිට්ටුවම ඉන්න කෙනෙක්. අපි ලංකාවෙදි සැට් වෙන වෙලාවක බොටත් කථා කරන්නම්...දේශිකාගෙන් බේරිලා එන්ට හැකි උනොත් එව...

      Delete
  14. සිරාවට. තනියෙන් බොන එකේ කිසිම ආතල් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට අහු උනේ නෑනේ අම්මප එහෙම ගුරුවරු....

      Delete
    2. තනියෙන් බොන එකේ මෙලෝ රහක් නෑ කියලා මට දැනුනෙ..මම මැලේසියාවෙදි තනියම කාලක් ගහපු පළවෙනි දවසෙ...

      Delete
  15. කොටස් තුනම කියෙව්ව..කොලු කාලේ මේ වගේ දේවල් නොකලනම් තමයි ඉතින් අවුල.මේ වගේ දේවල් කරපු එවුන් තමයි ඉතින් දන්නෙ ඒකෙ තියෙන ආතල් එක..එහෙම නේද සිරා අයියෙ.

    ReplyDelete
    Replies
    1. කොලු කාලෙ කියලා ඉතිං මලයො කරන හැම අසික්කිත වැඩක්ම අනුමත කොරන්නත් බෑ...මොනවා නමුත් මම මගේ ප්‍රත්‍රයෙක් මේ විදියට හැසිරුනා නම් අපේ තාත්තා තරම්වත් ඉවසයිද කියලා මට සැකයි...ඇත්ත වශයෙන්ම අපි ඒ කාලෙ හැසිරිලා තියෙන විදිය අන්තිම කැතයි.

      Delete
  16. මෙයාල නිසා සර් වැඩිපුර බොන්න පුරුදු වෙලාද කොහෙද?
    තාත්තගෙන් පාරක් වැඩුන වෙලාවෙ කොහොම තරු පේන්න ඇතිද? මට මැවිලා පෙනුනා... සිරා අයියගේ තනිකඩේ වහන්න අදහසක් නැද්ද දැන්ම?

    ReplyDelete
    Replies
    1. සිරාගේ ලෑලි දොර කැඩිලා කඩේ වහගන්න බැරිව ඉන්නෙ , නදී නගාට පුලුවන්නම් ලෑල්ලක් අරන් ගිහින් වහගන්න.

      Delete
    2. තනිකඩේ වහන්න ලොකු කැමැත්තකින් ඉන්නවා නගේ...ඒත් කවුරුවත් අත හිත දෙන්නෙ නෑනෙ...ඒකනෙ මෙතන තියෙන පුරස්නෙ...

      Delete
    3. අපේ ආතා තනිකඩව ඉඳලා 85 දි බැන්දා .. ඕ යේස් !!!

      Delete
    4. නදිනි සිරා සැහෙන කාලයක් තනිකඩව හිටපු නිසා අත දෙන්න බයයි මු අතින් වෙන වැඩ ගනි කියලා...විහලුවක් කරේ නංගා මු ලංකාවට ආපු ගමන් අපි එප්පාවල රතු අක්කව කතා කරලා තියෙන්නේ..ඒකි මාර චරිතවත ගුනවත් කුලවත් රැමත් නැනවත් තව මේ...පත්තර මල්ලි කියපන්කෝ ඒ අංහිසකිගේ ඉතුරැ ටික

      Delete
    5. රතු අක්කා? එයා සිරා අක්ක කෙනෙක් වෙන්න ඇති නේ?

      Delete
    6. කවුද නගෝ දන්නෙ...මෙන්ඩිස් අයියගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ...අක්කගෙ සමහර විට පොත්ත රතු ඇති...

      Delete
    7. අඩෝව් රතු අක්ක ලබන ආත්මෙ හොඳ තැනක උපදින්ඩෝනැ !!! රත්‍තරං ගෑණි

      Delete
    8. කම්මල අයියේ, සංජීව අයියේ, පත්තර මල්ලි, බලන්නකෝ සිරා අයියගේ පෙම් හිනාව....

      Delete
    9. පත්තර මල්ලි..මම එප්පාවල කටියාව ට්‍රැක් 7 කියන ගමේ අවුරුද්දක විතර කාලයක් උන්න..මේ මෑතකදී..ඔය වගේ කෙනෙක් ගැන මමත් අහල තියෙනව හැබැයි වෙන නමකින් බං... නදිනි නංගි...මිනිහගේ මේ ලගදි ඉදල පෙම් හිනාව වැඩියි ඕව කියනකොට...

      Delete
  17. නියමයි සිරා. කොටස් තුනම අද හිමිදිරියෙ කියෙව්වෙ ෆෝන් එකෙන්. කමෙන්ටුවක් දාන්නෙ දැං.
    උඹේ කතාවෙ මුල් කොටසෙදිම මට තේරුනා සර් ගල්වඩුවෙක් නං නෙවේ කියල. මොකද ඒක එහෙම උනානං මීට කලින් උඹලට දැනගන්න ලැබෙනව. කතාව සුපිරි!

    ReplyDelete
    Replies
    1. සෑර් කියන්නෙ එදා මෙදාතුර මට මුලිච්චි වෙච්ච සුපිරිම චරිතයක්...මම රට පැටවෙන වෙලාවෙත් ඉංගිරිසියෙන් සකසපු සමහර ලියකියවිලි සෑර් තමයි හැදුවෙ.

      මේ බේබදු කථාවට අදහසක් එකතු කලාට ස්තූතියි ඔබට...

      Delete
  18. අපෙත් ඉංග්‍රීසි සර් කෙනෙක් හිටියා,පොරත් බොනවා ලු,හරියටම දන්නේ නැහැ.හැබයි සිගරට් මාරයා.පොඩි කාලේ මට සල්ලි දීලා එන්ලොප් එකක් දීලා කියනවා කඩේට ගිහින් සර් එව්වේ කියලා කියන්න කියලා.එතකොට පොර එන්ලොප් එකයි සල්ලියි අරන් ආයෙත් මට අර අන්ලොප් එකේ මොනවාද දාලා දෙනවා.මම දන්නේ නැහැ මොනද තියෙන්නේ කියලා.ඔය වැඩේ අපේ ආච්චිට මාට්ටු වුනා.එයින් පස්සේ වෙන එකෙක් කඩේ යවන්න ඇති මම නම් ගියේ නැහැ.

    පස්සේ කාලෙක සර් බෙල්ලේ වැල දාගෙන මලා...:(

    ReplyDelete
    Replies
    1. ෙබාලාෙග් අාච්චි මක්කවත් කිව්වද අහල බලහං

      Delete
    2. දැන් අහන්න බැහැ අාච්චි අපෙන් නික්ම ගිහින්නේ.හැබැයි අනිවර්යෙන්ම කියන්න ඇති මොකද එයා කියන්න තියෙන දේ මොකාට වුනත් කියලා දානවා එකෙන්ම.

      Delete
    3. උඹ ඇයි බං ඔය තරම් කීකරු දරුවෙක් උනේ...උඹ බලන්න එපායැ ලියුං කවරෙ තිබුනෙ මොනාද කියලා...මිනිහා කුඩු බිස්නස් වත් කලාද බං ලියුං කවරෙ හරහා...මට එහෙමත් හිතුනා එල්ලිලා මළ නිසා...

      Delete
  19. ඉංගිරිස් වෙරි..!!

    සැට් වීමේ ආතල් එක තියන්නෙ ඔක්කොම එක්ක මොනව හරි කතා කර කර ඉන්න නිසා. සාමාන්‍යයෙන් කතා නොකරන එකෙක් ට වුණත් කියන්න දේවල් එනවානෙ. මං අවස්ථා දෙකකදි විතර චාටර් වෙලා තියනව. එක දවසක් රා ගහල. ඉඳගෙන බීල නැගිටින කොට තමයි පදම දැනෙන්නෙ. ඒ මුල් වතාව ද කොහෙ ද.. දැන් නම් හිතවත් ම එකෙක් එක්ක විතරක් බොහොම කලාතුරකින් තමයි සැට් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් වාර කීපයක්ම හද්දා චාටර් වෙලා තියෙනවා...මම ඒවා ඉතිං වරින් වර ලියන්නම්...එක පේලියට ලිව්වොත් කියවන ඇත්තො කියාවි සිරා කොලුවා බොලං බේබදු යකෙක්නෙ කියලා...

      Delete
  20. අපේ තාත්තාත් ඉගෙන බොන්න අකමැතියි.... එතකොට තමන්ගේ ලිමිට් එක හොයන්න බැලූ.... එයා නම් හිටගෙන කාලකට විතර වගකියනවා... අපේ ගෙදරින් මට බොන්න තහනමක් නෑ... ඔක්කොම දන්නවා බීල කානු පල්ලේ වැටෙන්නේ නැති ගහමරා ගන්නයන්නේ නැති කබ්බා දාලා චෝර වෙන්නේ නැති හොද කොලුවෙක් කියලා.... ඒ විස්වාසය මන් හැමදාමත් රකිනවා... මට බොන්න ඕනෙනම් විතරයි මන් බොන්නේ... බඩු තිබ්බ පලියට ගහන්නේ නෑ... පාටියකට ගිහින් බොන්න හිතුනොත් බොනවා... හිතුනේ නැත්තම් අමුවෙන්ම ඉදලා එනවා.... සමහර උන් වගේ දැක්ක පලියට පෙරේතකමට බොන්නේ නෑ...


    කතා නම් එමටයි... කොටන්න කම්මල්යි බන්...

    ReplyDelete
    Replies
    1. ඔය කම්මැලි කම අත ඇරලා කථාවක් කොටලා මට එව්වොත් 7 වෙනි ලිපියට දාන්නං. සිරා කෙලුවත් ඉතිං වර්තමානයේ තමන්ගෙ තරමට තමයි බොන්නෙ...සම හරක් වගේ පොර වෙන්න බොන්න යන්නෙ නෑ...අන්තිමට පොරවල් යන්නෙ අපි වගේ උන්ගෙ කරපිටින් ඔලුව කඩා වැටුනම...

      Delete
  21. මරු බං..පට්ට ගුරෙක්නෙ. අනික් ලිපි ටිකත් කියවන්න ඕන..
    ඇත්තම කතාව නම් මචං මත්පැන් රහමෙරක් වෙන්නෙ...තමන්ට සෙට්වෙන කස්ටියක් එක්ක බොනකොට් තමා...තර්ක විතර්ක..සිංදු මෙකී නොකී ඕන දෙයක් තිබුනත් ඒක ආතල්.
    මමත් වර්තමානයේ අනුමත වෙන්න හිතුනාම ඒකට හවුල් කරගන්නෙ මට වඩා ගොඩක් වැඩිමල් මාමල දෙන්නෙක්..අපේ තාත්තගෙ මස්සිනාල. ඒ දෙන්න මගේ අදහස් වලට ගැලපෙන නිසා ඒක ආතල්. මට හිතෙනෙත් උඹගෙ කතාවත් ඒ වගේ කියල. මම කිව්වෙ සේර්ගෙ පැත්තෙන්.

    ReplyDelete
    Replies
    1. //අද තනිකඩ ජීවියෙකු ලෙස නොරකට සිටියද,// මම හිතන්නේ *නොරටක* විය යුතුයි.

      Delete
    2. වීයො...බොලා ඉතින් මගේ මිත්තර ලැයිස්තුවෙ ඉහළින්ම ඉන්න එකෙක් නොවැ...අපි එක්ක යමු නේද අනුරාධපුර බේබදු ට්‍රිප් එක...සංවිධානය එළද බ්‍රා මෙන්ඩිස් අයියා...

      වැරදි නිවැරදි කළෙමි..ස්තූතියි බොට...

      Delete
  22. දෙකයි තුනයි එකට කියෙව්වේ. අපේ ඉස්කෝලේ ප්‍රයිමරි එකේ හිටියා ඉංග්‍රීසි සර් කෙනෙක්. එයා තමයි ක්‍රිකට් කෝච් හිටියෙත්. මාර ඩිසිප්ලින්. අපේ ඉස්කෝලෙ හිටපු ඔය ලොකු ක්‍රිකටර්ස්ලාගේ මුල්ගුරු එයා තමයි. මොන දෙයක්ද මන්දා සිරා, අපිත් ඉස්කෝලෙන් අවුට්වුනාට පස්සේ සර්ව නිතරම දෙල්කඳ ගෝල්ඩන් ඇරෝස් සුවා බාර් එකේ ලෑලි මේසේ ගාවදි හම්බවෙනවා හොඳටම බොනවා.අපිට පුදුමයි. එයා එතකොට රිටයර් වෙලා. අපිත් ඉතින් එයා ගාවට වාඩිවෙලා ඕඩර් කරලා බොනවා. පුදුම කලකිරීමකින් හිටියේ. ඒ ඇයි කියලා කවදාවත් කිව්වේ නැහැ. උඹේ සර් වගේ තමයි. සිංහලෙන් කතාකරනවා ඇහිලාම නැහැ. අපේ පරම්පරාවේ අයනම් දන්නවා මේ කවුද කියලා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වයසට යද්දි තරුණ කාලෙ වගේ ජවය නෑ...පිළිගැනීම නෑ...ඒ කාලෙදි ඒ අය ජීවත්වෙන්නෙ තමන්ගෙ දූ පුතුන් දිහා බලාන ගොඩනගන බලාපොරොත්තු වලින්...මට දැනෙන්නෙ එහෙමයි. ඉතිං ඒ බලාපොරොත්තු ඉටුවෙන්නෙ නැත්තං...ඒ අයට දැනෙන දුක අරක්කු වීදුරුවක දිය කරලා තාවකාලිකව හරි ඒවා අමතක කරන්න මේ චරිත කැමති ඇති.

      අපේ සෑර් ඉංග්‍රීසියෙන් හැම තැනම වැඩ දාන්න යන්නෙත් නෑ. වතාවක් අපි KFC පෝලිමේ හිටියා..හැමෝම ඉංග්‍රීසියෙන් තමයි තමන්ගෙ ඇණවුම දුන්නෙ. අපේ සෑර් සිංහලෙන් කථා කලා...මම ඇහුවා ඇයි ඔයා සිංහලෙන් කථා කලේ කියලා...සෑර් කිව්වෙ...සිංහල දන්න උන් නම් එහා පැත්තෙ බඩු දෙන්න ඉන්නෙ...මේක ලංකාව නම් මොන මගුලකට ඉංග්‍රීසි කථා කරනවද කියලා...

      Delete
  23. //සිරා කොලුවා අද තනිකඩ ජීවියෙකු ලෙස නොරටක සිටියද, මත්පැන් පානයෙන් පසු බැණ වදින්නට, ගුටිබැට දෙන්නට දෙමාපියන් ලග සිටියේ නැති වුවද මධුවිත සමග මගේ ළඟ ආශ්‍රයක් දැන් නැත.//

    පිස්සු නං කෙලින්ඩෙපා !!!

    අපේ ආතා ෆ්ලෑෂ්බෑක් එකේ රිදම් ගහන කාලේ ඩේලි ගැහුවා. අදට 180 ක්.. හාල් සේරුවක බත් කනවා සිමෙන්ති ලොරිය තනියෙං බානවා !! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ආත බැදල අවුරුදු 95 ක් නේද පත්තරේ .

      Delete
    2. ඇහ්... මූ මේ කොමෙන්ට් එක දාල තියෙන්නෙ අපායෙ ඉඳලද, දිව්‍යලෝකෙ ඉඳලද? :D

      Delete
    3. උඹට සීයා කියලා ෂුවර්මද පත්තරයො...මට හිතුනෙ උඹේ සීයා ඇන්ටික් ෆෝක් ලිෆ්ට් එකක් කියලයි...

      Delete
    4. අපේ ආතා රිදම් ගහනවා අහල නෑ නෙවැ .. ආත බැන්දේ මාලිනි පොන්සේකගෙ නංගිගෙ දුව. ඕ යේස්

      කොළම්ස් වෙව්ලනවා සට සට ගාලා ගහන රිදම් පාට් වලට .. ආයෙ බොරුවක් හෙම නෙවෙයි . චැහ්

      Delete
  24. සිරා අය්යගෙ කතා මම අවුරුදු 2 ක විතර ඉදන් 4න් එකෙන් කියවනවා. එත් කොමෙන්ට් කරන්න විදියක් තිබ්බෙ නැ කතාවකට පස්සෙ තියෙන කොමෙන්ට් වලින් රසවත් දේවල් ගොඩක් එකතු වෙනවා....ඔබට ජය..........

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...