Thursday, February 25, 2016

68 අහිමි පෙම සහ මම

බූට් මාසය වෙනුවෙන් දාලා තිබුන ඔක්කොම ලිපි ටික කියෙව්වා. ඉතින් මමත් හිතුවා මගේ කථාවත් සිරාගෙ කාමරේට කියන්න ඕනෙ කියලා. මගේ කථාව මෙතැන පලවුනු අනිත් කථා වලට වඩා වෙනස් උනාට වින්ද වේදනාව නම් වෙනසක් නෑ. මේ කථාව නම් ගොඩාක් පරණ කථාවක්. face book, Skype විතරක් නෙවෙයි ජංගම දුරකථන වත් ඒ කාලෙ තිබුනෙ නෑ. (ගඩොල් භාගෙ cellphone එකක් ලක්ශ 1.5 යි.)

මම ඉස්කෝලෙ ගියේ රත්නපුර පැත්තෙ තිබුන ජනප්‍රිය මිශ්‍ර පාසලකට​. මම ගොඩක් ලස්සන නැති උනාට ඉස්කෝලෙ ගොඩක් ජනප්‍රියයි. යාලුවොත් ගොඩාක් හිටියා. මම ජානක අයියත් එක්ක යාලු වෙනකොට ඉගෙනගත්තෙ 9 වසරේ, එයා සා/පෙ පන්තියෙ. එයාට  ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තිබුනේ. දැනුත් ඒ කතා කරන ඇස් දෙක මැවිලා පේනවා. කාටත් හොරෙන් පටන් ගත්ත අපේ ආදරේ මාස දෙකක් යනකොට මුලු ඉස්කෝලෙම දන්නවා. ඒ කාලෙ අපිට කථා බහ කරන්න තිබුන එකම විදිය ලියුම් විතරයි. ඒත් කවදාවත් ලියුමක් වත් කාටවත් අහුවෙන්නෙ නැති වෙන්න අපි දෙන්නා පරිස්සම් උනා.

එකම ඉස්කෝලෙ හිටියත් හම්බවෙලා කතා කරන්න අමාරුයි. ගොඩාක් දවසට උදේට good morning කියනවා විතරයි.  ඒ කොහොම උනත් අපි දෙන්නා ගොඩාක් ආදරේ කලා. එයා දක්‍ෂයි ඒත් පාඩම් කරන්න කම්මැලියි. මගේ අකුරුනම් රෑ එළි වෙනකන් උනත් කියවන්න පුලුවන් කියලා කියුවම මම එයාගෙ ඔක්කොම සටහන් මගේ අකුරු වලින් ලියලා දුන්නා. සමහර දවසට රෑ  පැයක්වත් නිදාගන්නෙ නැතිව තමයි මම ඒ දේවල් කලේ. ඒ දේවල් නම් අපතේ ගියේ නෑ. අපි දෙන්නා ගොඳට ඉගෙනගත්තා. මට ජානක අයියාගෙන් තොර ලෝකයක් තිබුනෙම නෑ. 

ජානක අයියා උ/පෙ කලෙත් ඒ ඉස්කෝලෙමයි. මම උසස් පෙළ කරන්න නුගේගොඩ ඉස්කෝලෙකට ආවා ජානක අයියත් නුගේගොඩ පන්ති ආව නිසා අපි දෙන්නට හම්බවෙන්න කරදරයක් තිබුනෙ නෑ. මේ කාලෙ ගෙවල්වලින් අපේ සම්බන්ධය දැනගෙන හිටියට ඉස්කෝලෙ යන කාලෙ ආදරේ කරනවට කැමැත්තක් තිබුනෙ නෑ. අපි දෙන්නා ආදරේ කරන ගමන් ඉගෙන ගත්තා. කවදාවත් ඉස්කෝලෙ වත් අතිරේක පන්තියක් වත් කට් කරලා කොහේවත් ගිහින් නෑ. එයා මට ආදරේ කලා වගේම මාව පරිස්සම් කලා. ජානක අයියා විභාගය අවසන් උනු ගමන්ම රස්සාවකට ගියා.  (ඒ කාලෙ කැම්පස් යන්න අවුරුදු 2 විතර බලාගෙන ඉන්න ඕන​) මට නම් ඕන උනේ ඉක්මටම ජානක අයියව කසාද බඳින්න​. ඉක්මනටම එක වහලක් යටට යන්න​. අපි දෙන්නා අපේ අනාගතේ ගැන ගොඩාක් හීන දැක්කා.

මම උ/පෙ විභාගයෙන් පස්සෙ මහරගම ඉංග්‍රීසි පන්තියකට ගියා. එක දවසක් ජානක අයියා පන්තිය ලගට ඇවිත් එයා විභාගය පාස් උනා කිවුවම මට සතුට දරාගන්න බැරි උනා. පාර අයිනේ පන්තියෙ ළමයි ගොඩක් මැද්දෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නෙ වටේ පිටේ තියන හැමදෙයක්ම අමතක වෙච්ච නිසා. එදා එයා අපි කසාද බදිමු කියලා මගේ කේන්දරේ ඉල්ලුවා. ඒ තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස වගේම අන්තිමටම සතුටු වෙච්ච දවස​. ඊලග දවසෙ අපි කේන්දර දෙක මාරු කරගත්තා.

කොහොම හරි අම්මව ඇදගෙන එදා හවසම කේන්දරේ බලන්න ගියා. ඒ දෙක කොහොමට වත් ගැලපෙන්නෙ නෑ කියලා තමයි කිව්වෙ​.  මම කේන්දරේට වඩා අවුරුදු 6ක ආදරේ විශ්වාස කලා. මට ඕන උනේ එයාගෙම වෙන්න විතරයි. මට ඕන උනේ එයා විතරමයි. ජානක අයියාගෙ ගෙදරිනුත් කේන්දරේ බලලා තිබුනා. ඊලග දවසෙ අපි හම්බ උනාම එයා කිව්වෙ අපි මේක නතර කරමු කියලා විතරයි.  අවුරුදු 6 ක් තිස්සෙ පණ වගේ ආදරේ කරපු මගෙන් අඩුම ගානෙ " නතර කරමුද? "  කියලවත් ඇහුවෙ නෑ.  මට වචනයක් වත් කතා කරගන්න බැරිවුනා...පැය ගානක් එයා ලගට වෙලා ඇඩුවා. මගේ හිත හදන්න වත් කියන්න දෙයක් එයාට තිබුනෙ නෑ. එයා නැතිව එක හීනයක් වත් නොදැකපු මම එයා නැතිව කොහොම ජීවත් වෙන්නද​?. මොනවා කරන්නද මගේ ආදරේට වඩා කේන්දරේ විශ්වාස කල නිසා එයා මාව දාලා ගියා. 

කරන කියන දෙයක් හිතාගන්න බැරිවුනා. කොල්ලෙක් උනානම් කන පැලෙන්නෙ බීලා හොඳට නිදාගන්න වත් තිබුනා. සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්නත් හිතුනා. ඒත් එහෙම කළොත් ජානක අයියට දරාගන්න බැරිවෙයි කියලා හිතුනා. එයා මගේ නොවුනත් ඒ හිතට දුකක් දෙන්න මට බෑ.  මගේ කරුමෙ එතනින් ඉවර උනේ නෑ. මාවත් ජානක අයියා යන විශ්ව විද්‍යාලයටම තේරුනා.

මට ආයෙත් එයාට මුහුණ දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මම දන්න අඳුනන හැමෝගෙන්ම ඈත්වුනා. ගෙදර අයගෙ බල කිරීමට ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. NIBM එකේ උපාධිය කරන්න පටන් ගත්තා. කාලයත් එක්ක වේදනාව අඩු උනේ නැති උනත් ගෙදර අනිත් අය වෙනුවෙන් හිනාවෙලා හිටියා.  අලුත් යාලුවොත් එක්ක එහෙම ඉන්න අමාරු වුනේ නෑ. පන්තියෙ වැඩියෙන්ම කෑ ගහලා හිනාවෙලා හිටියෙ මම​. රෑට තනි වෙච්ච වෙලාවට ඇති වෙනකං ඇඩුවා. නින්ද යන්නෙ නැති නිසා පාඩම් කලා. මට කවදාවත් ජානක අයියව අමතක කරන්නම බැරි උනා.


කරන්න පුලුවන් හැම දෙයක්ම කරලත් එයාව අමතක කරන්න බැරි උනා. මගේ හොඳම යාලුවා කිව්වෙ කාවහරි කසාද බඳින්න කියලා. ඉතින් ඊළගට මගෙන් යාලුවෙන්න ඉස්සෙල්ලම අහන කොල්ලත් එක්ක ඇත්ත විස්තරේ කියලා එයා මාව කසාද බඳින්න කැමති උනොත් කසාද බඳින්න තීරණය කලා. මට මගේ සැමියා හම්බ උනේ එ් විදියට.  

මට ආයෙත් ජානක අයියව හම්බ උනේ අවුරුදු 8කට විතර පස්සෙ පුතයි මහත්තයයි එක්ක සාප්පු සවාරියෙ යන වෙලාවක​. ඒ වෙලාවෙ ජානක අයියට ළග ඉන්නෙ කවුද කියලා අමතක උනා. දුවලා ඇවිත් අත්දෙකම අල්ලගෙන කතා කලේ. ඉස්සර වගේමයි... මම මහත්තයට කවුද කියලා හඳුන්වා දුන්නම සති අග ගෙදර එන්න කියලා එයා කිව්වා.

ඊලග සති අන්තෙ එයා අපේ ගෙදර ආවා. ඒ වෙනකොට ජානක අයියත් කසාද බැඳලා දුවෙක් ඉන්නවා. දන්නවද ඉස්සෙල්ලම මාත් එක්ක තනියම කතා කරන්න ලැබුන වෙලාවෙ එයා මගෙන් ඇහුවෙ ඇයි එදා "අපි මේක නතර කරමු" කියපු වෙලාවෙ බෑ කියලා එක සැරයක්වත් කිවුවෙ නැත්තෙ කියලා. එකම එක සැරයක් බෑ කිව්ව නම් කවදාවත් දාලා යන්නෙ නෑ යන්න දෙන්නෙත් නෑ කියලා එයා කිව්වා.

අනේ දෙවියනේ ජීවිතේ ආපස්සට හැරෙන්න අපිට බෑ. එදා කියපු නැති එකම එක වචනයක් හින්දා මම පණටත් වැඩියෙන් ආදරේ කල ජානක අයියව මට නැති උනා. අවුරුදු 6ක ආදරේ එක වචනයක් නිසා නැති උනා.

ආදරය කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයි කියලා සිරා මල්ලිත් කියලා තිබුනා. මමත් එහෙමම තමයි අද හිතන්නෙ. කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ආදරය අහිමි උනත්  තරහක්, කණගාටුවක් නෑ.



මගේ කථාව කියෙව්වට හැමෝටම ස්තූතියි !


සිරාගේ කාමරයේ බූට් මාසය වෙනුවෙන් ලියා එව්වේ,


ඉමල්කා සිල්වා.



ප.ලි

අධික කාර්ය බහුලතාවය නිසා සිරාගේ කාමරයේ බූට් මාසය මෙවර කථා කීපයකට පමණක් සීමා කිරීමට සිදුවීම ගැන සිරා කොලුවා ලෙස මගේ සාතිශය සංවේගය පල කරමි. ගිය වසරේ මෙන්ම මේ වසරේත් මෙහි පලවූ සියලුම බූට් කථා පිරිමි පාර්ශවය විසින් එවන ලද ඒවාය. එහෙත් හා පුරා කියා අද මෙහි පලවන්නේ සහෝදරියක විසින් විරහව පිළිබඳ අකුරු කරන ලද ලියමනකි. ප්‍රේමයේ විප්‍රයෝගය කාන්තා පිරිමි භේදයකින් තොරව දුක, කණස්සල්ල දායාද කලද, කාන්තාව බොහෝ විට නිහඩව මේ මනෝභාවයන් විඳදරා ගන්නා බව මගේ හැගීමයි. මේ ලිපිය ඒ වගට දෙස් දෙනු ඇත. ඉමල්කා සොයුරිය....ඔබට මගේ ස්තූතිය.

ලිපියේ හිමිකාරියගේ ඉල්ලීම පරිදි චරිත නාමයන් වෙනස් කොට තිබේ.

Monday, February 8, 2016

63 මිත්‍ර සහ ආදරය

රතු පැහැති ස්පෝට් වර්ගයේ පා පැදිය ගම්පහ පුස්තකාලයේ පසෙකින් තිබෙන සුදු අරලියා ගස අසල කම්බි වැටට හේත්තු වන විට පුස්තකාලයේ දොරටු විවර වී වැඩි වේලාවක් ගත වී තිබුනේ නැත. උදෑසනම මිදුලේ සුදු වැලි මත පැහැදිලි රටා මවමින් මේ මිදුල අමදින්නේ පුස්තකාලයට යාබදව පිහිටා තිබෙන නගර සභාවේ කම්කරු ළඳක් විසින් බව බයිසිකලයෙන් බිමට බට මිත්‍ර හට සැනෙකින් මෙනෙහි වූවේය. අතරින් පතර එක දෙක බැගින් වැටී තිබෙන වියලී ගිය අරලිය කොළ සහ සුදු පැහැය ඇකී මැකීගිය අරලිය මල් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරනවාදෝයි විටෙක ඔහුට සිතෙයි. මේ දසුන දෙස තත්පර කීපයක් බලා හිඳ පා පැදියේ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසු පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලට පිවිසෙන තරප්පු පෙල අභියසට හෙතෙම පැමිණියේ මඳ කොරයක් සහිත වම් පාදය ආයාසයෙන් අවනත කරගනිමිනි.

තරප්පු පෙල එකින් එක තරණය කරන්නට දැන් වෙනදාට වඩා අපහසු බවක් මිත්‍ර හට දැනෙයි. කුඩා කල සිටම වම් පාදයේ පැවති වියවුල දැන් තරමක් නරක අතට හැරී ඇති බවට ඔහුගේ චිත්ත සන්තානය දෙස් දෙයි.

තව මාස දෙකකින් උසස් පෙළ ඉවරනෙ...ඊට පස්සෙම දොස්තර කෙනෙක් හම්බ වෙනවා...

ඔහුගේ සිතුවිලි ඒ මේ අත දෝලනය වෙද්දී පුස්තකාලයේ පාඩම් කරන කොටසේ තමන් නිතර වාඩි වී සිටින ආසනය වෙත ඔහුගේ පියවර එසවුනේ නිරායාසයෙනි. තවමත් පාඩම් කරන කොටසේ සියලු ආසන පිරී ගොස් නැත. අතරින් පතර පෙනෙන හිස් තැන් ඔස්සේ දිවගිය ඔහුගේ නෙතු දෑල අවසානයේ ඇගේ රූප කාය ඉදිරියේ වෙනදා වාගේම නතර වූවේය.

ලස්සන කෙල්ල...හිනාවෙන කොට සීදේවි පාටයි...කොන්ඩෙත් දිගයි..

අරමුණක් නැතිව ඉබාගතේ උපදින සිතුවිලි උපදින සැනින් නැසෙද්දී මිත්ර හට වෙනදා දැනෙන වේදනාව අදත් ඇතුලු හදේ දැනෙන්නට වූවේය.

කොර කකුලක් තියෙන මට කෙල්ලෙක් කැමති වෙයිද ?

මේ මනෝභාවය ඉදිරියේ තවත් වේලා රැදී ඉන්නට ඔහුට අපහසුය. තාත්තා මිය ගිය දිනයේ සිට තමා සහ මලනුවන් ලොකු මහත් කරන්නට වෙර දැරූ මවත්, අකලට වියලී ගිය ඉපලක් බදු ඇගේ වතත් සිහිවන වාරයක් පාසා මිත්ර ගේ සිත වෙඩරු පිඩක් මෙන් උණු වෙයි. නෙතු දෑලේ කදුලක් උපදී. කෙසේ හෝ මුල් වාරයේම විභාගය හොදින් සමත් වී ඉංජිනේරුවකු ලෙස සාමාර්ථය ලබා මවගේ ඉදිරි ජීවිතය සැපවත් කරමි යන උදාර සිතිවිල්ලෙන් පණ ගැන්වුන මිත්ර රූබර යුවතිය පසෙක තබා එදින පුස්තකාලය තුල විසදන්නට අධිටන් කල ගණිත ගැටලු වෙත යොමු වූවේය.

.......................................................................................................

හිතේ පවතින දැඩි අධිෂ්ඨානය නිසාම මිත්ර අසල සිටගෙන සිටින යුවතිය ඔහුට සංවේදනය වූයේ තත්පර කීපයක පමාවකිනි.

අයියේ...

මිත්රගේ නෙතු යුග නිතර නතර වන රූපකායේ හිමිකාරිය ඔහු අසල සිටගෙන සිටින්නීය. ඇය අත ඇති හාෆ් ෂීට් කොළ කීපය දෙස ඕනෑවට එපාවට මෙන් බැලූ මිත්‍ර ඇගේ රූබර වත කමල දෙස නම් උමනාවෙන් බැලුවේය.

ඇයි නංගි...ඔහුගේ සැලෙන කටහඬ ඇයට ඇසුනාදැයි සැක සිතෙන තරම්ය.

මේ ගානක් තියෙනවා...අපි හදන්න හැදුවට හදාගන්න බෑ...අපි ඉතින් විභාගෙ ලියන්නෙ ලබන අවුරුද්දෙනෙ...අයියා හෙට අනිද්දා ලියන්න ඉන්න කෙනා නිසා හදාගන්න පුලුවන් වෙයි කියලා හිතුවා..

මේ ගැටලුව පුස්තකාලයේ නොයෙක් දෙනා වෙත යොමු වී අවසානයේ තමා කරා පැමිණි බවක් මිත්‍ර දැන සිටියේ නැත. ධ්‍යානයකට සමවැදුන කෙනෙකු මෙන් නිතරම ඉලක්කම් සමග හරඹ කරන ඔහුට අවට පරිසරයේ සිදුවන සිදුවීම් දැනෙන්නේ නැත.

විනාඩි කීපයක ඇවෑමෙන් ඉතාමත් පහසුවෙන් ගණිත ගැටළුව විසදුනි. එය විසදූ ආකාරය පිළිබද විස්තරාත්මකව දැනගන්නට ඇය මඳක් මිත්‍ර වෙත නැඹුරු වූවාය. ඈ වෙතින් හමනා සුවඳ විලවුන් සුවඳින් අමන්දානන්දයට පත් හෙතෙම ඉතාම මැනවින් ඒ කාර්යය අවසන් කලේය.

.......................................................................................................

උ/පෙල විභාගයට තවත් වසරක කාලයක් තිබුනත් මේ යුවතිය ඉතාම උත්සාහ වන්තය. ගම්පහ නගරයේ ප්‍රධානම කාන්තා පාසලේ ඉගෙනුම ලබන ඇගේ නම නිශානි බව මිත්ර දැන ගත්තේ දිනක් ඔහු වෙත ඉදිරිපත් කල ඇගේ ප්‍රශ්න පත්‍රයක තිබී අහම්බෙන් නෙත ගැටීමෙනි.

පුස්තකාලයේ පාඩම් කරන කොටසේ විභාගයට සූදානම් වන පිරිස අතරේ ගණිත අංශයේ ප්‍රමුඛයා මිත්‍ර බව ඒ වන විටත් බොහෝ දෙනා දන්නා රහසක්ව පැවතින. මේ විෂයට ඔහු දක්වන දක්ෂතාව නිසාම දිනපතාම නිශානි ගෙන එන ගැටලුවක් දෙකක් විසදන්නට ඔහුට සිදු වුවද හෙතෙම එයින් සතුටක් ලැබුවා මිස කෝප වූයේ නැත.

තමාගේ සිත සොරාගත් යුවතිය වෙත මෙලෙසින් උපකාර කිරීමට ලැබීම මිත්ර වෙත ගෙන ආවේ බලවත් ආශ්වාදයකි. විභාගයට තවත්  දිණ කීපයක් වෙද්දී සිතේ සිරවී ඇති සිතිවිලි වචන බවට පෙරලන්නට ඔහුට හැකි වූවේය.

මම ඔයාට කැමතියි නංගි...තම මිතුරන් සැමටම රහසින් ඔහු එසේ කියන්නට ඇත. එහෙත් වම් කකුලේ කොරයක් සහිත මිත්‍ර වැනි තරුණයෙකු වෙනුවෙන් තම හදවත දන්දෙන්නට ඇය පාරමීදම් පුරන්නියක නොවුනාය. මිත්ර වෙත සිහින් වේදනාවක් දැනුනද ඒ වේදනාවත් තමාගේ සවියට ගෙන උ/පෙ කඩඉම ඉතා හොඳින් ජයගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත පිවිසෙන්නට මිත්‍ර වාසනාවන්තයෙක් වූවේය.
......................................................................................................
විශ්ව විද්‍යාලය තුල කටයුතු ආරම්භ වුවත්, එහිම නවාතැන් ගෙන සිටියත් මිත්‍ර හට ගම්පහ පුස්තකාලය අමතක කරන්නට නොහැකිය. තමාගේ සාර්ථකත්වයට පිටිවහලක් වූ මෙම ස්ථානයට හැකි සෑම විටෙකම පැමිණීම ඔහුට සතුටකි.

එලෙස පැමිණෙන සෑම විටෙකම විභාගය ජයගන්නට වෙර දරණ නිශානි ඔහුට දකින්නට ලැබෙයි. දෙවන වර පළමු හමුවීමේදීම මිත්‍රගේ ජයග්‍රහණය පිළිබඳ තම සුභාශිංෂණ එක් කරන්නට ඇය අමතක නොකලාය. අතීතයේ මෙන් ඇයත් ඇගේ යෙහෙලියනුත් හැකි සෑම විටෙකම මිත්‍රගේ සහයෝගය ලබාගන්නේ ඔහු මේ මග සාර්ථකව තරණය කල නිසාවෙනි. කිසිදු නිරහංකාරකමකින් තොරව තමාගේ යහපත වෙනුවෙන් ලබාදෙන ගුරුහරුකම් නිසාදෝ ඇගේ හද ගැඹේ උපන් ආගන්තුක හැගීමකට ඇය ආදරය යනුවෙන් නම් තැබුවාය. අවසානයේ මිත්‍ර සහ නිශානි ප්‍රේමයෙන් වෙලුනෝය.


කලින් වතාවෙ බෑ කියපු එකී මේ වතාවෙ කැමති වුනේ මිත්‍රයා දැන් ඉංජෙක් වෙන්න ඉන්න හින්දා...ගෑණු ඔහොමම තමයි බං...වාසි අතට හෝයියා...

ප්‍රේමයේ විප්‍රයෝගයේ රස ඇති පදමට විඳ ඇති පුස්තකාල පාඩම් කොටසේ එකෙකු දිවා විවේකයේදී මේ නවයොවුන් ප්‍රේමය එලෙස දුටුවේය. අවට සිටිනා උන් කියනා කිසිදු දෙයක් කණකට නොගත් මිත්‍ර තම පැපැදිය අාපසු එන ගමනේදී ලබාගන්නා අටින් ඇගේ අත අල්ලාගෙන සෑම දිනෙකම හිරු අවරට යන හෝරාවේ ගම්පහ නගරය ඔබමොබ ඇවිද ගියේය.

අපේ තාත්තා අදුනන කෙනෙක් දැක්කොත් මට පුස්තකාලෙ එන්න දෙන එකකුත් නෑ අයියෙ...

නිශානිගේ දුක්ගැනවිල්ල නිසාම මිත්‍රගේ ගමන් මාර්ගය අතුරු මාර්ග කීපයකට පමණක් ක්‍රම ක්‍රමයෙන් සීමා වූයේය. ඔහුගේ ආදරය පරවි රැජිනියක් සේම අවිහිංසකය, අලුත් කලයක පිරිසිදු ජලය සේ නැවුම්ය, පිල් විදහා ගත් මොණර රාජයෙකුට දැනෙනා තරමේ ආඩම්බරයක්ය. පුස්තකාලයේ රූබර ළදක් සමග පෙම් සබඳතාවක් ඇරඹීම පහසු නැත. ඒ බව දන්නා මිත්‍ර තමා ගැන ආඩම්බර වීමේ වරදක් නැත.

.......................................................................................................

මිත්‍ර මෙන් නැතිබැරි පවුලක ඉපදී නැති ඔහුගේ පෙම්වතිය ඇතිහැකි පවුලක එකියකි. ඇගේ පියා නීතිඥයෙකි. මේ සාධක හමුවේ අනියත බියකින් ඔද්ගැනුන මේ ප්‍රේමවන්තයාගේ සිත නිතර සැලෙයි. නිශානි කවදාවත් වෙනස් වෙන එකක් නෑ.  එලෙස සිතීමෙන් තාවකාලිකව ගැටලුව අමතක කරන්නට මිත්‍ර රිසි වූවේය.

නිශානි උ/පෙ විභාගයට ලීවාය. ප්‍රතිඵල අපේක්ෂවෙන් සිටින ඇයට මිත්‍ර සමග පෙම් කෙලින්නට ඕනෑ තරම් කාලය තිබේ. ඔහු වැනි තරුණයෙකුට දෙමාපියන් අකමැති නොවනු ඇතැයි යන සිතුවිල්ල ඕනෑවටත් වඩා විශ්වාස කල නිශානි තම දෙමාපියන් වෙත මිත්‍ර හඳුන්වා දෙන්නට පසුබට නොවුනාය.

මොකද පුතා කකුල...ඇවිදිනකොට තරමක කොරයක් තියෙනවා නේද..මගෙ යාලුවෙක් ඉන්නවා හොඳ දොස්තර කෙනෙක්...අපි පෙන්වලා බලමු. යන වියදම් ගැන පුතා වද වෙන්න එපා. ඒවා මම බලාගන්නම්.

පළමු හමුවීමේදීම ඇගේ පියා මිත්‍රගේ ආබාධය පිළිබඳ සැළකිලිමත් වූවේය. එදා ඔහු මේ නිවසින් සමුගත්තේ වෛද්‍ය පරීක්ෂණය උදෙසා සහභාගි වන්නට දිනයක් ගිවිසාගැනීමෙනි.

.......................................................................................................

මිස්ටර් මහවත්ත...කොල්ලා කොච්චර හොඳ උනත්, උගත් කම තිබුනත් මේ කසාදය කරලා දුවගෙ අනාගතය අඳුරු කරගන්න එපා. මිත්‍රට තියෙන්නෙ කලාතුරකින් හැදෙන ලෙඩක්...මාංශ පේශීන් හැදෙන වේගයට වඩා මැරෙන වේගය වැඩි නිසා එයාගෙ කකුල් වල ශක්තිය අඩු වෙලා. තව කල් යද්දි ඔය කොරය තව තවත් වැඩි වෙනවා. එතකොට ඇවිදින්නම බැරි තැනට එයි. මේ වගේ ලෙඩෙක්ව හොඳ කරන්න විදියක් තවම හොයාගෙන නෑ. දුවගෙ අනාගතය ගැන හිතලා හොඳ තීරණයක් ගන්න.

ඉකුත් සතිය වන තෙක්ම තමාගේ තුරුලේ හිඳිමින් පෙම්බස් දෙඩූ යුවතියකට මෙතරම් ඉක්මනින් වෙනස් වෙන්නට හැකි වේ යැයි මිත්‍ර කිසි දිනක විශ්වාස කලේ නැත. ඇගේ දෙමාපියන් හමු වී පැමිණ සති දෙකක් පමණ ඇවෑමෙන් දෙමාපියන් මේ සබඳතාවට අකමැති බව පැවසූ ඇය සබඳතාව බොහෝ පහසුවෙන් විසන්ධි කර දැමුවාය. දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදුන් නිෂානි විරහා වේදනා නැමති සෝ සයුරේ කර වටක් දක්වා මිත්‍ර රැගෙන ගියාය. ආදරය මේ තරම් දුකක් බව කලින් දැන සිටියා නම්....නොයෙක් වර මිත්‍ර එලෙස කල්පනා කරන්නට ඇත.

නිශානිගේ ආදරය අහිමිවීම මිත්‍ර හට මහත් වේදනාවකි. මේ කරුම ලෙඩේ හැදුන වෙලේ මමත් මැරිලා ගියා නම්...එහෙත් මෑණියන්ගේ ගුණ සුවඳ දැනෙන සෑම විටෙකම ඒ සිතුවිල්ලෙන් මිත්ර ක්ෂණිකව බැහැර වූවේය.

.......................................................................................................

විරහා වේදනාව කෙමෙන් කෙමෙන් හීන වී යද්දී මිත්‍ර පේරාදෙණිය සරසවියෙන් ඉංජිනේරු උපාධිය අවසන් කර පහුණුවන කාර්මික ඉංජිනේරුවකු ලෙස ලංකාවේ නම ගිය ආහාර සැකසුම් කරනා සමාගමක සේවයට බැදුනේය. කාර්යශූර බවත්..විෂයෙහි දැක්වූ ප්‍රවීණතාවත් නිසාම කෙටි කලකින් ප්‍රධාන ඉංජිනේරුවෙකු තරමට ඉහළට පැමිණි මිත්‍ර මේ සමාගමේ නවතම කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර තමාගේ අභිමතය පරිදි සවි කිරීමට වරම් ලද්දේය. ඒවා මිළදී ගැනීම පිණිස රටවල් කීපයක සංචාරය කරන්නටද ඔහුට අවස්ථාව ලැබුනේය. මේ සවිකිරීම් සියල්ලම ඉතාම මැනවින් සිදු වූ නිසා ආයතනය ඔහු කෙරේ වඩ වඩාත් පැහැදුනේය.


රැකියාව අතින් කෙතරම් ඉහළට ගියත් මේ අතර තුර කාලයේ මිත්‍රගේ සෞඛ්‍ය තත්වය බොහෝ සේ පිරිහුනි. ඔහුගේ වම් කකුල ඔසවාගෙන පියගැට පෙලක් නැගීම පවා අපහසු වූවේය. සමකාලීන වෘත්තීය සගයන් නවීන රථ වාහන පාවිච්චි කලත් මිත්‍ර එසේ නැත. තමාගේ සෞඛ්‍ය තත්වය නරකම අතට හැරුන පසු මෙතෙක් සේවය කල ආයතනයේ සේවයෙන් ඉවත් වී කුළුබඩු සම්බන්ධ තමාගේම ආයතනයක් සුළුවෙන් පටන් ගන්නට මිත්‍ර කටයුතු කලේ ලබන වැටුපට සරිලන සේවයක් තව දුරටත් සැපයීමට තමාට නොහැක යන මතයේ එල්බගෙන සිටි නිසාවෙනි.

පුද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ඉංජිනේරු උපාධියක් ලද නිෂානිට දැන් නව පෙම්වතෙකු සිටියි. ඔහු සමග ගත් විවිධාකාරයේ ඡායාරූප වලින් ඇගේ මුහුණු පොත සැරසෙද්දී, ඇගේ යෙහෙලියන් මේ දෙදෙනා ඉතාම ගැලපෙන යුවලක් බව කීවෝය. මිරිස් සැර ඉහවහා ගිය, අධික ශබ්දයකින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන පරිසරයක සිටියද, ගතින් කෙතරම් දුර්වල වුවද මිත්‍ර මානසිකව ඉතාම සංසුන්ය. මෙතරම් ගැටලු හමුවේ යළි නැගිටින්නට නොහැකි ලෙස ඇද වැටෙන බොහෝ දෙනෙක් සිටිනා සමාජයක විරහා වේදනා, ශාරීරික පීඩා අතරින් තමාගේ ඉලක්කය කරා ගිය මිත්‍ර වීරයෙකු නොවන්නේද ?

දිනෙන් දින කායික ශක්තිය අතින් දුර්වල උවත් තවමත් මිත්‍ර නව යන්ත්‍ර උපකරණ පිළිබඳ සිත යොමු කරන්නේ බාධක හමුවේ පෙරට යන පුදුමාකාර ශක්තියක් ඔහු තුල තිබෙන බැවිනි. ජීවිතයේ එක් අන්තයක් කඩා වැටෙන කල්හි තවත් අන්තයකින් ජයග්‍රහණය ලබැගැනීම බොහෝ පිරිසකට කල නොහැකි කාරියකි. ඒ අතලොස්ස අතරට මිත්‍රගේ නමද ලියවිය යුතුමය.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

සිරා කොලුවා ගම්පහ පුස්තකාලයේ පාඩම් වැඩ කරනා සමයේ මේ සත්‍ය කථාවේ ඔබට හමු වූ චරිත දෙකම දුටුවෙමි. කථා බහ කළෙමි. ඔවුන්ගේ සැබෑ නම් වලට කිට්ටුවෙන් යන නම් දෙකක් චරිත හැදින්වීම පිණිස යෙදුවෙමි. එවකට මිත්‍රගේ අතේ එල්ලී පෙම් වදන් දෙඩූ ඇය අද දිනයේ නව පෙම්වතෙකු සමග පෙම්කෙලිනා අන්දම දකින කල මිත්‍ර හට හිතවත් කෙනෙකු ලෙස සිරා කොලුවාගේ සිතටද දුකක් කණගාටුවක් දැනුනේ වරක් දෙවරක් නොවේ. සිරාගේ කාමරයේ බූට් මාසයේදී මේ කථාව ඔබට පළමුවෙන්ම කියන්නට මා කල්පනා කලේ මේ සිතුවිලි වලින් මා ලද උත්තේජනය නිසාමය.

මිත්‍ර තම විෂය තුල ඉතාම දක්ෂයෙකු නිසා අපේ රටට කදිම සම්පතක් වන මේ වටිනා ජීවිතය රැක ගන්නට මිතුරන් ලෙස අපි අවස්ථා කීපයකදීම උත්සාහ කළෙමු. පාරම්පරික වෙද මහතුන් කීප දෙනෙකු වෙතම ඔහු ඉදිරිපත් කළෙමු. එහෙත් අවසානයේදී මිත්‍ර ලද සුවයක් නැත.

සිරා කොලුවා සිරිලංකාවට පැමිණි අලුතම මම මිත්‍ර හට දුරබණුවෙන් ඇමතුවෙමි. ආගිය කථා වලින් පසු මම ඔහුගෙන් ඇසුවේ අලුත් ආදර සබඳතාවක් නැතිද යනුවෙනි.

මට මොන ලව්ද බං ? ඔහු පෙරළා බොහෝ උදාසීනව මගෙන් විමසූවේ සිහින් සිනහා හඬක් මධ්‍යේ වුවත් මගේ ගැටලුව ඔහුට රිදුමක් වන්නට ඇති බව මම පසුව කල්පනා කළෙමි. 

ආදරය යනු හිමිකරගැනීමම නොවන බව බොහෝ අයගේ මතයයි. මමද ඒ මතයේම රැදෙමි. එවන් තැනක හිඳ ජීවිතය දෙස බලනවා නම් ආදරයෙන් පරාජිත වූ කෙනෙකුට දැනෙන වේදනාව බොහොම අවම බව මගේ හැගීමයි. සමහර විටෙක මිත්‍ර අද එතැන ඉන්නවා වන්නටත් පුලුවන.

Monday, February 1, 2016

74 පීතර මාමා

සිරා කොලුවා වාසය කොරන්නෙ ඉතින් ගම් තුලානක කියලා සිරාගෙ කාමරය ඇතුලෙ නොයෙක් වර ලියවිලා තියෙනවා නොවැ. මැලේසියාවෙ ඉදලා මෙහෙට පාත් උනාට පස්සෙ ගමයි නගරයයි අතර වෙනස මට හොඳට දැනුනා. සතියක් දෙකක් යනකං කාලෙකට පස්සෙ විඳින ගමේ වෙල් ඉපනැල්ලෙ සුවඳ එක්ක ඉස්සර දවසක පුංචි සන්ධියෙ අපි කරක් ගැහුව ඉසව් වලට වෙලා අතීතයේ දවසක හිත නතර කරගෙන ඉන්න බොහොම ලොකු කැමැත්තක් තමයි මට ඇති උනේ. ඒ විදියට ගත උන හැම තත්පරයකදිම පුංචි දරුවෙක් කාලෙ මගේ ඉතිහාසය ආයෙමත් මට මැවී පෙනුනා. ඉස්සර අපි එල්ලෙ ගහපු, සරුංගල් යවපු, කොහිකිරිල්ල දාලා බට තුවක්කු වලින් වෙඩි තියාගත්ත අපේ ගම්මානය තවමත් ලොකු විපර්යාසයකට ලක් වෙලා නෑ. වෙනසකට තිබුනෙ ගම්වාසීන් ලබා තිබුන භෞතික දියුණුව සහ ඒ අවධියෙ දෑස මානයෙ හිටිය සමහර චරිත පොළව යට සැතපී සිටීම පමණයි. අද කාලෙ පොඩි උන් වෙල් යායෙ කරක් ගහන්න යන්නෙ නැති නිසා ඒ පරිසරය අපේ ඉතිහාසය සිහිවෙලා සියුම් දුකකින් බලාන ඉන්න බවක් මට දැනුනෙ.

මම ලංකාවෙ හිටියෙ නැති මාස 30 ක කාලය තුල ගම් වැසියො අතර අරටු වගේ ජීවත් උන කීප දෙනෙක්ම තීන්දු ගමන් ගිහින් තිබුනා. කවුරු කවරුත් ආගිය තොරතුරු අහලා ඊළගට අහන්නෙ ආයෙමත් යනවද කියන පුරස්නෙ. අනේ නෑ..මගෙම කියලා වියාපාරයක් අටවගෙන සිරි ලංකාවෙම ඉන්න කැමතියි කිව්වම ඒ ඇත්තොත් බොහොම සතුටු උනා. ඊළගට අහන්නෙ ඉතින් මට බොහොම සුපුරුදු පුරස්නයක්...

බඳින්නෙ නැතෙයි ?

බඳින්න කෙල්ලෙක් නැතිය කිව්වම ඉතින් අටෝරාශියක් පුරස්න...ඔය හැම එකටම හිනාවෙලා උත්තරයක් දෙන එකත් ටිකෙන් ටික මගේ දිණ චරියාවට එකතු උනා. අපේ වත්ත පහළින් තියෙන බිම් කොටස මගේම කියලා නිවසක් තනාගන්න අරමුණින් සංරක්ෂණය කලාට මේ භූමිය ඉස්සර දවසක වී අස්වැන්න ලබා දුන්න කුඹුරක්...එත් කාලයත් සමග මේ කුඹුරෙන් ලැබෙන ඵලදාව බොහොම අඩු මට්ටමකට වැටුනට පස්සෙ මගේ පියතුමා කලේ කුඹුරෙ අගල් කීපයක් කපා ඒ පස් වලින් කුඹුර ගොඩවෙන්න සැලැස්වීම. දැන් ඉතින් මයියොක්කා පොල්, තැඹිලි වගේ භව භෝග බොහොම සරුසාරෙට හැදිලා තියෙනවා. කොටින්ම කියනවා නම් බොලව් පොල් කඩන්නෙ කකුල් දෙකෙන් හිටං.

කාලයකට පස්සෙ වත්තට බහිනකොට මේ ඉඩම කැලෑවෙන් යටවෙලා තිබුනෙ. මගේ ආගමනයෙන් පස්සෙ සිදු කෙරුන ප්‍ර‍ථම රාජකාරිය උනේ කැලෑව අස්සෙන් ඉඩම මතු කරන කාරිය. සතියක් දෙකක් ඇවෑමෙන් ඒ කාරිය බොහොම අපූරුවට ඉෂ්ඨ සිද්ධ උනා. මගේ තනි මහන්සියෙන් කැලෑව නොපෙනී ගියා.

මේ ඉඩම් කෑල්ලෙ ඉදලා වටේට බැලුවම පෙනෙන දර්ශනය බොහොම සුන්දරයි...වටේටම තියෙන කුඹුරු යාය දිගේ හමන හුළග බොහොම සිසිලසයි. කොන්ක්‍රීට් යායක කාලයක් වාසය කල සිරා කොලුවගෙ ඇස් දෙකටත් මේ පෙනෙන කොළ පැහැය බොහොම සුවදායකයි.

ඔන්න ඔය විදියට මගේ දිනචරියාව එක්ක කාලය ගත වෙලා ගියේ වෙනදා වගේම ටික් ටික් හඩින්. ඔය අතරෙ ඊයෙ පෙරේදා දවසක උදේ වරුවෙ එකා දෙන්නා බැගින් එකතු වෙලා මහා ජන සමූහයක් අපේ වත්ත පිටිපස්සෙ වෙල් යායෙ එක තැනකට ඒකරාශි වෙලා තිබුන වගක් සෑහෙන වෙලාවක් යනකං සිරා කොලුවගෙ අක්මාවට දැනුනෙ නෑ.

පිටිපස්සෙ කුඹුරු යාය මැද්දෙ සෙනග ගොඩාක් ඉන්නවා...අවට පරිසරයේ පාවෙලා ගිය ඕපයක් මගේ කනටත් වැටුනා...මමත් ඉතින් තකහනියක් වෙල් යායට සේන්දු උනේ හිතේ ඇතිවුන කුතුහලය හින්දම තමයි.

අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කුඹුරු යාය හරහා ගමන් කරන ස්ථානයේ තරමක සෙනග පොදියක් එකතු වෙලා. හැමෝම විස්සෝපයෙන් වගේ බලාන ඉන්න කාරණේ තවමත් පැහැදිලි නෑ. කකුලේ ඇගිලි අස්සෙන් නියරේ මඩ චුරු පනිද්දි මමත් මේ ජනකාය අසලට ලං උනේ හිතේ කුතුහලයට සමුදීමේ අරමුණින්.

සුදු පාට පොලිතින් කවරයකින් සහ චීත්ත රෙද්දකින් වැසුන සිරුරක් වගා නොකල කුඹුරු ඉඩමක මුනින් අතට සැතපිලා තිබුනා. ඉටි රෙද්දෙ කෙළවර කකුල් කෙටි දෙක වහන්න තරම් දිග නැති නිසා ඒවා අව් කාෂ්ඨකේ පිච්චෙමින් තමයි තිබුනෙ.

කවුද බොලං මේ වැටිලා ඉන්නෙ...මම දන්න අදුනන හාදයෙකුගෙන් විමසුවා...

පීතර මාමා ....ඊයෙ රාත්තිරියෙ කුඹුරෙ වතුර බදින්න කියලා ගෙදරින් ආවලු අද පෝර ගහන්න කියලා. එළිවෙනකං ගෙදර නාව නිසා හොයලා බලද්දි තමයි මෙතන වැටිලා ඉන්නවා හොයාගෙන තියෙන්නෙ. 



සිරා කොලුවා දන්න කියන කාලෙ ඉදලම තරමක අහංකාර චරිතයක් වෙච්ච පීතර මාමා ගැන ගමේ ගොඩාක් අයගෙ ලොකු කැමැත්තක් තිබුනෙ නෑ. බොහෝ වෙලාවට අහළ පහළ උදවිය එක්ක එහෙමත් නැත්තං තමන්ගෙ කුඹුරට යාබද කුඹුරු හිමියො එක්ක ආරියාදුවටම ගිය බවක් තමයි මට මතක තියෙන්නෙ. මිනිහගෙ කුඹුරට වතුර මදි නම් අල්ලපු කුඹුරට හෙණ ගැහුවත් කමක් නෑ මම වතුර අරගෙන කියලා හිතන තාලෙ මිනිහෙක්. ඒ නිසාමදෝ මට නම් කිසිම කණගාටුවක් උන්දැ ගැන ඇති උනේ නෑ.

වතාවක් තමන්ගෙ වත්තට යාබද වත්තෙ මායිමට වෙන්න තිබුන කොස් ගහක් ගැන කථා බහක් ගිහින් පීතර මාමා ඒ ගෙදර පුත්තරයා අලුතින් කැන්දගෙන ආව මනමාලිට හොද කුණු හබ්බ වලින් සලකලා තිබුනා. මේ කාන්තා පරාණෙ මේ ගැන තමන්ගෙ සැමියට පැමිණිලි කලාට පස්සෙ දෙපැත්ත හොද ගානට ගිණි ගත්තා. ගින්න කොච්චර දුර දිග ගියාද කියනවා නම් පීතරයගෙ හතර හන්දි කඩලා ඉස්පිරිතාල ගත කරන්න ඒ ඇත්තො කටයුතු කලා.

මේ කොස් නඩුව සෑහෙන දොහක් අධිකරණයේ විභාග උනා. තීන්දුව ලැබුනද...තවම නඩුව යනවද කියලා මම නම් දන්නෙ නෑ. ඒත් ඉතිං ඉඩම් නඩුවක් පරම්පරා ගානක් ඉදිරියට යන ශාපයක් නිසා තවම ඉවර වෙන්න විදියක් නෑ.

කොස් ගෙඩියට..කුඹුරට ලැබෙන වතුර ටිකට මිනිස්සු එක්ක මරා ගත්ත පීතර උන්දැට මොකද හැබෑටම උනේ බලන්න තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා පොලිතින් ආවරණය ඉවත් කොලා. හුග කාලෙකින් ඔහුගේ රුව මම දැක්කෙ.  පීතර උන්දැ බොහොම වයසට ගොහින් මග ඇවිදගන්න බැරි තරමටම වයසට ගොහින්. සම්පූර්ණයෙන්ම සුදු වෙලා තිබුන හිසකෙස් කුඹුරෙ තණකොළ අස්සෙන් කැපී පෙනුනා. වම් අතේ හැරමිටිය වගේම දකුණු අතේ විදුලි පන්දමක් තවම අත් වලට හිරවෙලා. මුනින් අතට වැටිලා තියෙන දේහයේ මුහුණ අසල ලේ බින්දුවක් දෙකක් ගලාගිය ලකුණු පේන්න තියෙනවා.

මේක මිනීමැරුමක් වෙන්න බෑ...මේ මනුස්සයා දන්න කියන කාලෙ ඉදලම ඉතින් වෙල් මත්තෙයි ඉඩම් මත්තෙයි නැහුන මිනිහෙක් නොවැ. මෙච්චර ලොකු පුත්තරයො ඉද්දි තණ්හාව වැඩි කමට තමයි තනියම තවමත් මේ කුඹුරු කරන්නෙ. ගමේ කෙනෙක් එහෙම කිව්වා.

එහෙමමත් නෙමෙයි....පුත්තරයො තම තමන්ගෙ පවුල් ජීවිත ගැන බැලුවා මිසක මේ වයසක ජෝඩුව ගැන බැලුවෙම නෑ. නැත්තං රාත්තිරියෙ ගෙදරින් ගිය මිනිහා හොයන්න උදේ වෙනකං ඉන්නවද....පීතර ගොයියගෙ නෝනා අසනීප වෙච්ච දවසෙ ඉදන් ගෙදර උයන පිහන රාජකාරි කලා කියන්නෙත් මුන්දා නොවැ.. තවත් කෙනෙක් එහෙම කිව්වා.

ඉස්සර දවසක අපේ අසල්වැසියො වෙච්ච ජෑස් කොල්ලගෙ ඇඹේනිය වෙච්ච විමලාවතී උන්දැට කරුවලේ මොකෙක්ද සරුපයෙක් දෂ්ඨ කොරලා බොහොම වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉන්න වෙලාවෙ උදව්වට ආවෙ මේ කියන පීතර ගොයියම තමයි. එදා ඉතින් සිරා කොලුවා බොහොම පුංචි එකා. විමලාවතී උන්දැට බේත් කරන්න පීතර ගොයියව ගෙන්නුවෙ අපේ ගමේ අත් බේතක් කාරිය කොරගන්න පුලුවන් මිනිහෙක් විදියට උන්දැට තිබුන කීර්තිනාමය හින්දයි.

මොණර පිහාටු කීපයක් සහ පීතර ගොයියගෙ වත්තෙන්ම හොයාගත්ත තවත් අඩු වැඩිය අටෝරාශියක් එක්ක විමලාවතී උන්දැ ලගින් වාඩි උන පීතර උන්දැ..ලී වංගෙඩියක බේත් බඩු ටික දාගෙන කොටපු හැටි මට තවමත් මතකයි. තලපයක් වගේ මේ අඩුවැඩිය හදාගෙන අවසානෙට බොහොම සුවිශේෂී දෙයක් මිනිහට උවමනා උනා.

කොල්ලො මේ පොල්කට්ටට හුජ්ජ කරහංකො...උන්දැ මට කිව්වා.

එහෙත් ඒ වෙද්දි සිරා කොලුවගෙ මුත්තරා බොක්ක හිස් කරලා තිබුන නිසා ඉල්ලුමට සැපයුම දෙන්න විදියක් තිබුනෙ නෑ. පීතර ගොයියා සිරා කොලුවට දික් කරපු පොල්කට්ට උස්සගෙන අපිට එහායින් තිබුන තවත් ගෙදරකින් ඊට පස්සෙ උවමනාව සම්පූර්ණ කරගෙන ආවා. මේ සංයෝගෙ කකුලෙ ආලේප කලාට පස්සෙ විමලාවතී උන්දැගෙ වේදනාව ටිකෙන් ටික අඩුවෙලා ගිය බවක් මට මතකයි.

කොහොමින් කොහොම ගිණි ගහන ඉර අව්ව යට බාගෙට ආවරණය වෙච්ච පොලිතින් කවරයකින් වැහුන පීතර ගොයියගෙ දේහය තණ කොළ ගොල්ලක මුණින් අතට සැතපිලා. මඩ ගෑවුන වයසක නිරුවත් දෙපා යුග දිහා මම මොහොතක් බලා උන්නා. මේ කකුල් දෙකෙන් මේ තරම් කාලයක් මොන තරම් දුරක් ඇවිදින්න ඇතිද...කොපමණක් මඩ පාගමින් තමන්ගෙ දරුවන්ට බත සම්පාදනය කරන්න ඇතිද. කී දෙනෙක්ට අංචි අදින්න ඇතිද ? පීතර ගොයියගෙ ගතිගුණ කොහොම උනත් ගම් තුලානක මිනියක් තනි කරලා යන සිරිතක් ගම්මුන්ට නෑ. පොලෝසියෙ ඇත්තො පැමිණෙන විටත් මහ සේනාවක් පීතර ගොයියට තනි රකිමින් වෙල් යායෙ උන්නෙ ඒ නිසාමයි.

පීතර උන්දැ එක්ක නඩු කියපු ඇත්තෙක් මිනිය ලගට එන්න  පසුගාමීව ඈතින් බලාන උන්නා. ඔහුගේ ඉරියව් දිහා මම ඉතාම විමසිල්ලෙන් බලා ඉද්දි මට හිතුනෙ ඔහුගේ චිත්ත සන්තානය විසින් ඔහුව වරදකරුවෙක් කර ඇති වගක්. ඒ ඇත්තගෙ මුහුණින් විශාල පසුතැවිල්ලක සේයාවක් තමයි මම එදා දැක්කෙ.

අපි හැමෝම දවසක පීතර උන්දැ ගිය මේ ගමන යනවා. ඒ වන තෙක් තමයි මේ සියලු සැණකෙළි...සල්ලිකාරයා, බලවතා, දුගියා, උගතා කියලා භේදයක් නැතුව හැමෝටම ඒ අවස්ථාව නිසැකවම ලැබෙනවා. ඉතින් එදාට මොනවද අපි ගෙනියන්නෙ. මරණාසන්න වෙලාවෙ මොනවද මතක් කරන්නෙ.  ඒ නිසා අත පය වලංගු වෙලාවෙ දන්න නොදන්න සැමටම යහපතක්ම කලොත් තමයි හොද.

තමන්ගෙ තරුණ කාලෙ එහෙම හැසිරෙන කිසිවෙකුට..තමන්ගෙ සැදෑ කාලයෙදි, ලග නැති සිල්වත් කමක් බොරුවට අරෝපණය කරගෙන පන්සල් පල්ලි වල පදිංචි වෙන්න උවමනා වෙන්නෙ නෑ. පීතර උන්දැගෙ නිවසට ගොහින් ඒ දේහයට අවසන් ගෞරව දක්වපු වෙලාවෙ මට එහෙම හිතුනා. මරණයට හේතුව හිසේ නහරයක් පිපිරීම කියලා පස්සෙ දවසක දැනගන්න ලැබුනා.

එදා ඉදන් කරක් ගහපු...දහස් වර පයට පෑගුන තැනක ලොවට රහසේ මැරෙන්න පීතර උන්දැ කවදාවත් හිතලා තිබුනෙ නැති බව සහතිකයි. අපි නොහිතන නොපතන දේම සිදුවෙන ලෝකෙක මේ තවත් එක් සාමාන්‍ය සිදුවීමක් පමණයි.



මම කාමරේ අරින සිරා කොලුවා




ප.ලි...

පෙබරවාරිය බූට් මාසයක් කරන්න කලින් හිතා හිටියත්..පීතර උන්දැ ගැන මට ලියන්නම හිතුනා...බූට් මාසයට තවමත් ලිපි බාරගන්නවා. ඔබේ බූට් අත්දැකීම අකුරු කොරලා සිරා කොලුවට ඊ ලිපියක් ලෙස එවන්ට අමතක කරන්න එපා එහෙනං. බූට් කාලා හිත වට්ටගෙන මැරෙන්න හිතෙන උන්ට මෙවැනි අත්දැකීම් ලියන එක ලොකු සහනයක් .

Tuesday, January 12, 2016

71 සයිමන්ට හූ කියූ රවියා සහ අයුතු ජනරාශිය

ඊයෙ පෙරේදා දවසක ඇඹිලිපිටියේ සිදු වූ ඛේදවාචකයෙන් පසු ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තුල වේගයෙන් පැතිරෙන නවතම වචනය අයුතු ජන රාශියයි. පොලෝසිය අත වරද තිබුනත් ඉහළින් ලැබෙන අණ පරිදි තමන්ගේ සහෝදර නිළධාරීන් වෙනුවෙන් සුදු හුණු ගාන්නට යන පොලෝසියේ මාධ්‍ය ප්‍රකාශක උතුමා ඔහුට කලින් රාජකාරි කොල උත්තමයා මෙන්ම විහිළුවක් බවට පත් වී ඇති ආකාරය දෙස සංවේගප්‍රාප්තව නෙත් යොමු කරමින් මේ ලියවිල්ල අරඹමි.

මෙවැනි ක්‍රියාකාරකමක් හමුවේ පොලෝසියේ නම ගෑවුනේ පළමු වතාවට නම් නොවේ. ඉතාමත් අවංකව, රාජකාරිය දේවකාරියක් ලෙස සළකා ඉටු කරනා පොලිස් නිලධාරීන් බහුතරයක් සිටින සිරිලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුළු තරයක් මී හරකුන් නිසා සමස්ත දෙපාර්තමේන්තුවේම කීර්තිනාමයට කැළැලක් ඇති වීම සාමාන්‍ය පුරවැසියන් ලෙස අප නිතර නිතර අත් දැක තිබේ. වර්තමානයේ සන්නිවේදන ක්ෂේත්‍ර තුල ඇති වී තිබෙන දියුණුවත්, කැමරා සහිත ජංගම දුරකථන ඉතාම සුලභ වීමත්, සමාජ ජාල වටා සිටින බහුතර තරුණ පරපුරත් නිසාම අතීතයේ මෙන් නොමනා දෙයක් කොට සැඟවී සිටීම පහසු නැත. රූප මාධ්‍යයෙන් විදුලි වේගයෙන් පුවත් මවනා මෙවැනි සිදුවීමකට රටේ දැවෙන ප්‍රශ්න කෙටි කලකට හෝ අමතක කර දමන්නට ඇත්තේ කදිම හැකියාවකි.

අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට එක් නීතියකුත්, දේශපාලන රස්නය වැදුන අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම හරහා නීතිය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම වැළැක්විය හැක්කක් නොවේ. ඇඹිලිපිටියේ තරුණයා උඩුමහළින් බිමට පැන්නා යයි නිර්භයව කියනා පොලෝසිය...ඇතැම් දේශපාලන චරිත වැරදි කර තිබුනත් අත්අඩංගුවට ගන්නට නීතිපති උපදෙස් පතන්නේ සෑහෙන කාලයක් ගත කරමිනි. මෙය තෙවන ලෝකයේ රටවල් බහුතරයක සරළ සාමාන්‍ය ක්‍රමවේදයයි. මෙවැනි ආකල්ප වලින් මිදෙනා තුරාවට අපට සංවර්ධනයේ දොරගුළු විවර කරගන්නට නොහැකි බව සිරා කොලුවා වන මගේ අක්මාවට මෙය ලියන අවස්ථාවේත් දැනෙයි.

අයුතු ජනරාශිය නිසා මේ දිනවල බඩට බත් නැති එකාගෙත් හිත කුතුහලයෙන් පිරිලාය. එළවළු වෙළඳ සැලේ මිළ ගනන් අහස උසට උවත් පාරිභෝගිකයාට වගේ ගණනක් නැත. කොන්දොස්තර මල්ලීගෙන් නොලැබුන ඉතිරි රුපියල ගැන වද වෙන්නෝ අල්පය. අයුතු ජනරාශිය එතරම් ප්‍රබල තැනකට පැමිණියේ ඉතාම කෙටි කලකිනි.

සිරා කොලුවාගේ ඉතිහාස පොත පෙරලා බැලූ විටෙක අයුතු ජන රාශිය නැමති අරුම පුුදුම චෝදනාව මම මෙන්ම මගේ මිත්තර කැළටත් ඇතැම් සිදුවීම් අරභයා එල්ල වෙන්නට ඉඩ තිබුනාදෝයි ඇඹිලිපිටිය සිදුවීම පසුබිමක තබා නිවී සැනසිල්ලේ සිතන විට සිතෙයි. එවැනි සිදුවීම් කීපයක් අද දවසේ මෙහි අකුරු කරමි.

උ/පෙ විභාගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරියක් සිරා කොලුවා විසින් සිදුකල බව කාමරයට යන එන අයට මතක ඇතුවාට සැක නැත. ඒ පිළිබඳ කථා කීපයක්ම මවිසින් අතීතයේ දවසක ලියා තිබේ.

මම දැන් කියනා සිදුවීම ඒ කාලයට අදාළ එකකි. අප එකල ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත අළෙවි කරන ප්‍රවේශපත්‍ර වර්ගය අවසන් වූ විටෙක ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් එක් රැස් වූ මුදල් වල වගකීම රැගෙන හෝ..මුළු මුදලම අදාළ නිළධාරියෙකුට භාර කොට ක්‍රිකට් තරඟ නරඹන්නට එකතු වෙන්නට හැකියාව තිබුනි.

මා සමගම ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමේ රාජකාරියේ යෙදී සිටි රවී ගොයියා එහෙම් පිටින්ම ක්‍රිකට් පිස්සෙකි. ලංකාවේ කණ්ඩායම තරඟයක් ජය ගන්නවා නම් රවියාට මුලු ලෝකයම දිනුවා වැනි තරම් සතුටක් දැනෙයි. ඒ වේලාවට ඒකාට ඉන්නා තැන කරනා දෙය පවා අමතක වෙයි.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති තරඟයකි. ලංකාව සහ ඔස්ට්‍රේලියාව කරට කර සටනකි. චමින්ද වාස්ගේ අවසන් පන්දු වාරයට ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 7 කි. මයිකල් බෙවන් සමග සයිමන් අයියා පිත්ත හසුරුවයි. එහෙත් කැන්ගරුවන් පරදා සිරි ලංකාව එදා ලැබූවේ කලකට අමතක නොවන අති විශිෂ්ඨ වර්ගයේ ජයග්‍රහණයකි.

ලංකාව පරදිනු ඇතැයි සිතා ශෝකයෙන් විලම්භීත වී තිබූ රවියාගේ මුහුණට ජයග්‍රහණයෙන් පසු අලෝකයේ රැස් වැටී තිබේ. ඒකාට උන්හිටිතැන් අමතකය. පරාජයට පත් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනා යලි ක්‍රීඩාගාරයට යා යුත්තේ අප සිටිනා ස්ථානය අසලිනි.

බිම බලාගත් වනම පොඩි ළමයින් දෙදෙනෙකු මෙන් පිතිකරුවන් දෙපළ නැවත ක්‍රීඩාගාරයට පියමං කරන අතරතුරේ අප පසු කරන්නට ආසන්න වූවා පමණි. සිරිලංකාවේ ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටි රවියා අප සිටි තැන සිට පහතට ඔලුව යොමුකොට ඇන්ඩෘ සයිමන් (Andrew Symond)  නැමති ක්‍රීඩකයාගේ මුහුණ ආසන්නයේම සිට  දරුණු හූ හඬක් කීප වතාවක් නැගුවේය. සයිමන් රවියා දෙසට හෙලුවේ, ඔස්ට්‍රේලියාවට වරෙන්කො දෙන්නං උඹට වැනි බැල්මකි.

සයිමන් අයියා

මේ හූ හඬ නිසා කුපිත වූ ඒ ආසන්න පෙදෙසේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළදරුවෝ දඬයමකට එළඹෙන සිංහ පෝතකයින් මෙන් රවියාගේ බෙල්ල බදාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ඒකා වෙතට පැන්නෝය.

රවියා දැන් බෙහෙවින් අසරණ වී සිටියි. වටේ පිටාවේ ඉන්නා ප්‍රේක්ශක ජනතාවද දෑස් අයාගෙන රවියා දෙස බලා සිටිති. ප්‍රථමයෙන් පැමිණි පොලිස් නිලධාරියා රවියා වෙත එල්ල කල කම්මුල් පහර ඒකාට නොවැදුනේ හිස පැත්තට හැරවූ නිසාය. 

තෝ කාටද යකෝ හූ කිව්වෙ....

පොලෝසියේ ඇත්තෝ ඉතාම ආදරයෙන් රවියා වඩාගන්නට පොර කති. මා සමග පැමිණි එකා තනිකර පලායන්නට මට හිතක් නැත. ඒ නිසාම මේ අටමගලය මැද්දට මමද පැන්නෙමි.

අනේ සෑර් මගෙ යාලුවට සමාව දෙන්න. මූ තනිකර ක්‍රිකට් පිස්සෙක්...ගම්පහ ඉදන් දඹුල්ලට ආවෙ මේක බලලා යන්න. මම ඔවුන්ගෙන් අයැද සිටියෙමි.

මූ මහ හරකෙක්...අර මිනිහගෙ කනට කරලා මූ හූ කිව්වෙ. ඒ යකා ගිහින් කම්ප්ලෙන් කලාට පස්සෙ මේ වීඩියෝ එක බැලුවොත් මේ පොයින්ට් එකේ ඩියුටි කරපු අපි ඔක්කොම ගස්...මට දෙන්න හිතෙනවා මූට....

පොලිස් රාළහාමිගේ මිට මෙළවූ අත වක ගැසී රවියාගේ සුදු කම්මුල් සිප ගන්නටම වෙර දරයි. ඒ අතර තුර කාලයේ මගේ අඛණ්ඩ දුක්ගැනවිල්ල නිසාම ඒ ඇත්තන්ගේ හදවත උණු වී ගිය සෙයකි.

හරි මල්ලි උඹ කියන නිසා මූව අත ඇරලා දානවා..ඒත් මේකාට කියන්න අනිත් දවසෙ මෙහෙම වැඩක් කලොත් අද වගේ ලේසි වෙන්නෙ නෑ කියලා...අරිද....

එදා යන්තමින් පොලෝසියෙන් රවියා බේරාගත්තේ වටා පිටාවේ අති මහත් ප්‍රේක්ෂක සමූහයක් සිටි නිසාම විය යුතුය. වර්තමානයේ වගේ කාලයක නම් රවියාත් මමත් අප අසල සිටි තවත් පිරිසකුත් අයුතු ජන රාශියකට අයත්ව එළොව බලා යන්නට හෝ අතපය ඒවායේ සන්ධි වලින් පන්නාගන්නට චෑන්ස් එක ලැබෙන්නට ඉඩ තිබුනි.

මේ තවත් දවසක කථාවකි. එක් වැසි සහිත රාත්‍රියක ගම්පහ නගරයේදී මධුවිතක් තොලගා අප මිත්‍ර කෂ්ඨාගේ CT 100 යතුරු පැදිය මතට මමත් නඟා කොලුවාත් පැටවුනේ නිවෙස් බලා පැමිණීමේ අරමුණිනි. රැකියාව අහවර කර සිරා කොලුවාත්, නඟාත් දුම්රියෙන් ගම්පහට පැමිණියෙන් කෂ්ඨා බයිසිමොටෝවෙන් තනියම නිවසින් පිට වී තිබුනි. බයිසිමොටෝව පණ ගන්වා මඳක් ඉදිරියට ධාවනය කලා පමණි. පොලිස් පරීක්ෂක උතුමෙක් හදිසියේ එහි ප්‍රාතූර්භූත වූ පොලිස් ජිප් රථයකින් බැස අප කරා ආවේ විදුලි වේගයකිනි. මඳ අඳුර සහිත වැසි පොද යට වුවත් එතුමාගේ උරහිසේ වූ තරු දෙක මට අද මෙන් මතකය.

මේක බයිසිකලයක්ද ත්‍රී වීල් එකක්ද අයිසෙ ? කී දෙනෙක් මේකෙ නැගලද ? ඔහු ඇගිලි දිගු කර මුලු මගීන් ගනන 3 ක් ලෙස තීන්දු කළේය. කෂ්ඨා තමන්ගේ ශ්‍රී මුඛයෙන් වෑහෙන අරක්කු ගඳ නොදැනෙන්නට බොහොම සංයමයෙන් පොලිස් පරීක්ෂක උතුමාගෙන් මුඛය දුරස් කරගෙන පිළිතුරු දෙයි.

සෑර් වැස්ස නිසා මේ යාලුවෙක්ව මේකට දාගත්තෙ....එයා අද කුඩේ ගෙනල්ලා නෑ ගොඩාක් දුර පයින් යන්න තියෙනවා.

කුඩේ නෑ කියලා බයිසිකලේ තුන්දෙනා ඩබල් දාලා ගියාම හරියනවද අයිසෙ...තමුසෙලා ගිහින් කොහෙහරි හැප්පිලා සැමන් උනාම අපිට තමයි ඒත් කරදරේ...නගිනවා බලන්න දැන් බයිසිකලේ මුලින්ම ආපු උන් දෙන්නා. 

මමත් කෂ්ඨාත් ඉක්මනින් බයිසිකලය මතට වීමු... නඟා කොලුවා දැන් පාරේ ඇවිදගෙන ගිය මගියෙකුගේ චරිතය රඟ දක්වයි.

ආ දැන් තමුන් දෙන්නා යන්න ගිය ගමන යනවා... ඉබ්බා වතුරට දමන්නට ඇසූ කල ඇන්නෑවේ කියූවාක් මෙන් අපි අපේ ගමන පිටත්වීමු. 

අනිත් දවසෙ මතක ඇතුව කුඩයක් අරගෙන එනවා පාරට බහිනකොට...

තරු දෙකේ සෑර් නඟාට ගෝරනාඩු කරනවා අපට ඇසුනේ යන්තමිනි. දඩයක් නොකා මෙවැනි අවස්ථාවකින් ගැලවෙන්නට ලැබුන චෑන්ස් එක ගැන සිතමින් අප අපේ නිවාස දෙසට දිවෙන මාර්ගයේ මඳ දුරක් පැමිණ නැවත නඟා බලන්නට ගියෙමු. ඒ වන විට පොලිස් ජිප් රිය එතැන නොතිබුන නිසා වැහි දියට සෘජුව නිරාවරණය වෙමින් මගියාගේ චරිතය රඟ පාමින් සිටි නඟා කොලුවා ගැන උපන් සානුකම්පාව නිසා ඒකාව නැවත පටවාගෙන තුන්දෙනා ඩබල් දමා නිවෙසට සැපත් වන්නට අපිට හැකි වූහ.

මේ තවත් රාත්‍රියක කථාවකි.

ගම්පහ මල්වත්ත ආසන්නයේ තැනක ඒ කාලයේ තිබූ වාහන ටින්කරින් වැඩපලක් මේ කියන දිනයේත් දිනයක අවසානය සනිටුහන් කරමින් නිහඬ වී තිබුනි. සේවක භාරකරුවන් නිවෙස් කරා ගොස් සිටි හෙයින් ඒ ස්ථානයට තනි රැක්කේ අඟ පසඟ අඩු වූ වාහන කීපයක් පමණකි.

එදා අපේ උන්ට ෆුල් කෝඩයක් ගැසූ දවසකි. එවන් දවසක මහත්වරුන් ලෙස නැටුම් තෙල් ඩිංගිත්තක් ඒ සඳහා වෙන්වූ තැනක සිට බොක්කට හලා ගන්නට අපට වරම් නැත. අමාරුවෙන් රුපියල දෙක එකතුකරගෙන ගන්නා ඖෂධ බෝතලය සහ ගම්පහ නයිට් කඩයකින් ගන්නා කොත්තුවකින් අපේ සාදය ඇරඹෙන්නේ මේ ගැරේජය වැනි අහළ පහල නිවෙස් නැති කුරා කූඹියෙකුට හෝ කරදරයක් නැති හුදෙකලා ස්ථානයකය.

වයිට් ලේබල් බෝතලයේ අඩිය පෑදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී පොලෝසියේ රාළහාමිලා 10 දෙනෙකු පමණ එහි පැමිණියේ බයිසිමොටෝ කීපයකිනි.

අඩ අඳුරේ සිටි අප වෙතට ඔවුන්ගේ අධි සැර විදුලි පන්දම් එල්ලවූයේ සැණකෙනි...

මොකද ඔතන කරන්නේ....උච්ච සප්තකය ආශ්‍රිත ස්වර කීපය මැද පරිසරයේ නිහඬතාව බිඳී ගියේය.

හංගන්නට කිසිම දෙයක් නැති නිසා හන්දියෙ ගෙදර පුෂ්පයා අපි මේ බොනවා යනුවෙන් ප්‍ර‍තිරාව නැගුවේය.

මුන් බොන්නේ මොනවාදැයි බලන්නට එතනට පැමිණි නිළදරුවන් විදුලි පන්දම් එළියෙන් බෝතලයේ ඉතිරිය කොපමණදැයි විමසා බැලුවෝය.

ඉන් අනතුරුව එකිනෙකාගෙන් තමන් නිරත වෙන ආර්ථික කාර්යයන් කුමක්දැයි පොලෝසියේ ඇත්තන් විමසීමට පටන් ගත්හ.

පුෂ්පයා වරලත් ගණකාධිකාරී ශිෂ්‍යයෙකි, නඟා කොලුවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. මම ගැෆික් කරුවෙකි. එතැන සිටි වනිගයාද සමාජයට වැඩදායී යමක නිතරව සිටි හෙයින් අප සිතුවාට වඩා තත්වය සාමකාමී විය.

බීලා බයිසිකල් පදින එක වැරදි වැඩක් කියලා දන්නවනෙ. ඉගෙන ගත්ත ළමයි නිසා කියන්නෙ..මේ ඉතිරියත් ඉක්මනින් බීලා..වෙරි වෙන්න කලින් ගෙදර යන්න...එසේ කියා පොලිස් ඇත්තන් අපට ඈතින් වූ ප්‍ර‍ධාන මාර්ගයේ බේබදු රියදුරන් වටලන ක්ෂණික මාර්ග බාධකයක් යෙදීය.

මා ඇතුලු බේබදු නඩය බෝතලයේ අඩිය පාදා, කොත්තුවේ අවසානය උදා කර බයිසිමොටෝ පණගන්වා මේ මාර්ග බාධකය මැදින්ම නිවෙස් කරා ගියේ පොලිස් මාමලාට සැලියුට් කිරීමෙන් අනතුරුවය.

ඇඹිලිපිටියේ වැනි තත්වයක් එදා එතැන තිබුනා නම්...අප සියලු දෙනා අයුතු ජනරාශියකට යටත් කොට පොලෝසියේ රැය පහන් කරවන්නට ඉඩ තිබුනි.

මේ ලියමනේ නොයෙක් තැන ඔබට හමුවූයේ ඇඹිලිපිටියේදී චෝදනාවට ලක් වූ පිරිසද ඇතුලත් සිරිලංකාවේ පොලෝසියයි. එහෙත් ඇඹිලිපිටියේ වැනි අත්දැකීම් අපි නොලැබුවේ අපට හමු වූ පොලිස් නිලධාරීන් සමාජය සමග ගණුදෙනුව හොඳින් කරන්නට දන්නා අයවලුන් නිසා විය යුතුය. එහෙත් මේ ගනුදෙනුව පිළිබඳ අල්ප මාත්‍ර‍ දැනුමක් ඇති පොලිස් ඇත්තන් සමාජයට අලුත් සිදුවීමක් නිර්මාණය කරනවා මෙන්ම වටිනා මිනිස් ජීවිතද ඩැහැ ගනිති. මෙවැනි සිදුවීම් යලි ඇතිවීම වැළැක්වීමට නම් පොලෝසියේ උන්දලාට උපදේශන වැඩමුළු පැවැත්වීම ඵලදායී වේ යැයි මට සිතේ.

මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ගිය වසරේ පෙබරවාරිය සිරාගේ කාමරය තුල සැමරුවේ බූට් මාසයක් යනුවෙනි. මෙවරද පෙබරවාරිය බූට් මාසයක් කරන්නට මම සිතා සිටිමි. දැනටම මා වෙත එක් කථාවක් ලැබී අහවරය. ඔබටත් ඔබේ හද පෙලූ ආදර කථාවක් වේ නම්, විරහව ඔබ හඳුනන්නේ නම්...සිරාගේ කාමරයට යන එන දහස් සංඛ්‍යාත පිරිස සමග ඒ කථාව බෙදාගන්නට කැමති නම් ඔබේ කථාව ඊයක් (E-mail) ලෙස සිරා කොලුවාට විදින්න. එය ඔබේ නම සහිතව මෙහි නිසැකවම පල වේවි.

Wednesday, January 6, 2016

96 කාමරේ දොර ආයෙමත් විවෘතයි.

සුභ 2016 වසරක් වේවා බොලා හැමෝටම...කාලෙකට පස්සෙ සිරා කොලුවා ආයෙමත් කාමරේ ලෑලි දොර විවර කොලා. කාමරේ පැත්ත පළාතෙ නෑවිත් හිටිය පහුගිය කාලය බොහොම කාර්ය බහුලයි. දැන් කියලා ඉතින් වෙනසක් නෑ. ඒත් ඉතින් දන්න නොදන්න ඇත්තො ආයෙමත් යමක් ඇදබාන්නෙ නැතෙයි අහලා සතියකට තුන හතරක් ඊ විදිනකොට මගේ හඳුන්පොත මෙලෙක් උනා. ඒ හින්දම අකුරු දෙක තුනක් හරි කොටලා මකුළුදැල් බැඳුන මගේ දුප්පත් කාමර කබල ආයෙමත් බොලා වෙනුවෙන් විවර කොරන්නයි මේ වෑයම.

ගෙඹි මස් ගැන දෙසාබෑව අන්තිම බ්ලොග් සටහන අමුණන කොට මැලේසියාවෙ හිටිය සිරා කොලුවා දැන් ඉන්නෙ සිරි ලංකාවෙ. මගේම කියලා පුංචි ව්‍යාපාරයක හිමිකාරයෙක් වෙලා. දැන් ඉතින් අණ දෙන්න බොසාලා නැති නිසා ලොකු නිදහසක් දැනුනත් හැමදේම තනිවම කළමණාකරණය කරගත යුතු නිසාම තමයි බොලව් මේ තරම් කාර්යබහුල උනේ.

ලෝක වෙළඳපලේ තෙල් මිළ දරුණු ලෙස පහළ යාම මැලේසියානු ආර්ථිකයට මරු පහරක් වෙලා තියෙන්නෙ. ඒ නිසාම පහුගිය අප්‍රියෙල් මාසයෙදි අලුතින් පනවපු 6% භාණ්ඩ හා සේවා බද්දෙන් පස්සෙ ඒ රටේ භාණ්ඩ සහ සේවා ගාස්තු ඉහළ ගියා. ඊට සරිලන විදියට අපේ වැටුප් පත්‍රිකාවත් ආදරණීය බොසා ඉහළ නංවාවි කියන පරම පිවිතුරු චේතනාවෙන් හැඩගැන්වී තිබුන අපේ මල් වගේ අහිංසක හිත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුන තැන යම් කළකිරීමකට පත් උනා.

ඒ අතරතුර කාලෙදිම තමයි සිරා කොලුවගෙ පිය තුමාගෙ පපුවෙ ආගන්තුක ගැස්මකුත් හට ගත්තෙ. නම් දරාපු විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් විවිධ පරීක්ෂණ අවසානයෙදි කිව්වෙ කොලෙස්ට්‍රෝල් මට්ටම ඩිංගිත්තක් වැඩි වෙලා තිබුනත් පපුව ඉතාම හොඳ තත්වයේ තිබෙන බවක්. එහෙත් තාත්තගෙ පපුවෙ ගැස්ම අඩු උනේම නෑ. වරින් වර මතු උනා.

අන්තිමේදි ජයවර්ධනපුර රෝහලේ නවත්වලා ප්‍ර‍තිකාර කලත්, පැය 24 ක්ම හෘදයේ රිද්මය හඳුනන නවීන යන්ත්‍රයක් සවිකර තිබුනත් තාත්තා චෝදනා කරන මේ පපුවෙ ගැස්ම නං අල්ලගන්නම බැරි උනා. කියන්න ලෙඩක් නැති නිසා ඒ ඇත්තො ලෙඩා ගෙදර එව්වා.

අන්තිමේදි මම උපකල්පනය කලේ මාස තිහකින් නොදුටු සිරා කොලුවා දුටුවොත් තාත්තගෙ අසනීප තත්වයේ වෙනසක් වේවි කියලා. එහෙමත් නැත්තං නවීන උපකරණ වලට හසු නොවන ඔහුගේ පපුවෙ ගැස්ම හුදු මානසික සිතිවිල්ලක් පමණක් කියලා.

ඔය කිව්ව කාරණා දෙක නිසාම මම තීරණය කලා මාස 30 ක මැලේසියානු ජීවිතයට තිත තියන්න...දෙමාපියන් සමග ජීවත්වෙන්න තියෙන කැමැත්ත නිසාම ලංකාවෙ ඉපයීම් මාර්ගයක් ආරම්භ කරන්න. වැටුපට වැඩ කරනවා වෙනුවට මගේම කියලා ව්‍යාපාරයකට අත ගහන්න. ඔන්න ඔය විදියට තමයි මේ ලියවිල්ල ලියන අවස්ථාව දක්වා කරුණු කාරණා සිද්ධ උනේ. සතුටට කාරණය තමයි තාත්තගෙ රෝගී තත්වය මේ වන විට සුවපත් වී තිබීම. මගේ ආගමනය නිසා ඔහුට ඇතිවුන චිත්ත ප්‍රීතියත් එයට ඉවහල් වෙන්න ඇති.

මාස 30 කට පස්සෙ ලංකාවට සම්ප්‍රාප්ත උන මට, ගුවන්තොටුපල ආපසු පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කඩ සාප්පු කිසිම ලකයක් නැති වග, මත්පැන් බෝතල් තියෙන තැන ඒවා විකුනන්නට පමණට වඩා මේකප් දැමූ නංගිලා අවශ්‍ය ප්‍ර‍මාණයටත් වැඩියෙන් ඉන්නා බව, නගරයේ මාර්ග වල දිවෙන වාහන සංඛ්‍යාව සැළකියු යුතු ලෙස වැඩිවී තිබෙන බව, රටකජු කරත්තෙන් ඉස්සර වගේ රුපියල් 10 ට රටකජු ගන්න බැරි විත්තිය, ඒ දවස් වලට වඩා දැන් ඉන්න දැරිවියො ෆාස්ට් ෆෝවඩ් වග. මගේ දෙමාපියො වගේම මිත්තරයන්ගෙ දෙමාපියොත් පෙනුමෙන් වයසට ගිහින් තියෙන බව, මා එක්ක අතීතයේ දවසක ස්කූටර් චාරිකා වලට එකතු උන ඇත්තන්ගෙන් සමහරෙක් පිය පදවි ලබා, වගකීම් සහගත ජීවිත ගත කරන නිසා නැවත චාරිකා යන්නට එකතුකරගන්නට නොහැකි විත්තිය අක්මාවට දැනුනා.

සිරිලංකාවට පය තිබ්බට පස්සෙ බ්ලොග් ලියන කියවන ඇත්තන්ගෙන් සෞදි අරාබියේ ඉන්දික සහ ගම්පහ කම්මල ගොයියා මුණ ගැහුනෙ ගම්පහ ගල් පල්ලිය ලගදි. ඒ හමුවීම අවසන් උනේ ගම්පහ තානායමේ රවුම් මේසයකින්. ඉන්දික අයියා හා පුරා කියලා මුලිච්චි උනේ එදා.

කම්මල / ඉන්දික (පින්තූරෙ ගත්තෙ ඉන්දික අයියා බත් කන ගෙදර අක්කා)
ඊට පස්සෙ බ්ලොග් අඩවිය නිසාම සිරා කොලුවා එක්ක බොහොම ලඟ යාලුවෙක් තරමට බැදුන ඇමරිකාවේ සමීර කොලුවගෙ ගාල්ලෙ නිවසෙ පැවැත්වුන සාදයකට සහභාගි උනේ ඔහුගේ ආරාධනාවකින්. සමීර වගේම සමීරගෙ පවුලේ උදවිය දක්වපු ආගන්තුක සැළකිළි ඉතාම ඉහළ නිසාම පහුවදා දවල්ටත් බඩ පුරවගෙනයි සිරා කොලුවා එළියට බැස්සෙ.

නැති බැරි සමීර කොලුවා

සමීරගෙ නිවසේ පැවති ධාරාණිපාත සංගීත වරුසාව
ඔයින් මෙයින් ජනවාරි පළමුවෙනිදාවත් උදා උනා. සුභ වේලාවල් නැකත් අරවා මේවා බැලුවෙ නෑ. නමක් හදාගන්න සිංහල භාෂාව මුදලට වික්ක උන්ව හොයාගෙන ගියෙත් නෑ. යමක් කරන්න උවමනා නම් එ් සඳහා ඕනෑම වෙලාවක් සුදුසුයි කියන තර්කයේ ඉදගෙන කාලයක් තිස්සේ හිතේ එකතු උන හීන වලට පණ දෙන්න මගේ පුංචි ව්‍යාපාරය ආරම්භ කොලා. ව්‍යාපාරයේ නම Dreamz Creations. ග්‍රැෆික් නිර්මාණ කටයුතු සහ මුද්‍ර‍ණ කටයුතු තමයි අපේ ප්‍ර‍ධාන ව්‍යාපාරික කටයුතු වලට අයත් වෙන්නෙ. ඊට අමතරව මයෙ මලයා මංගල ඡායාරූපකරණයට අත ගහලා තියෙන්නෙ.

මගේ අලුත් පුටුව

ගතවුන කාල සීමාව තුල බ්ලොග් ලිපි කිසිවක් කියවන්න ඉසිඹුවක් තිබුනෙ නෑ. ඒ පිළිබඳ ඒ ඇත්තො අහිතක් හිතන එකක් නෑ කියලයි මගේ විශ්වාසය. එක් වරම එක හුස්මට මේ ලියමන ලියාගෙන ලියාගෙන යන්නෙ සිරාගෙ කාමරේට යන එන බණ්ඩාරවෙල නැන්දා කෙනෙක් කොලුවො යමක් ලියපිය කියලා මට තරයේ අවවාද කල නිසාම තමයි.

බ්ලොග්කරණය තුල ගතවෙලා තියෙන වසර 3 ඇතුලෙදි සිරා කොලුවා ඉපයූ වත්කම් වලට සාක්ෂි සපයන්නෙ මා ගැන විමසා මවෙත ලැබුන ඊ පණිවිඩ, එහෙමත් නැතිනම් තෝ මොකද ලියන්නෙ නැත්තෙ මැරිලද ? යනුවෙන් මා ලද දුරකථන ඇමතුම්...මේ උණුසුම් ප්‍ර‍තිචාර නිසාම කොහොමද යමක් අකුරු කරන්නෙ නැතුව ඉන්නෙ. ඒ හින්දම සිරා කොලුවා ආයෙමත් හැකි විදියට ලිපියක් දෙකක් ලියාන පාඩුවේ ඉන්න තීරණය කලා. ඔබ සියල්ලන් සමග කරන මේ ගණුදෙනුව මට මහත් සතුටක්.

අපේ ව්‍යාපාරික ස්ථානය තියෙන මීගමු පුරවරය ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ...කන බොන පපුව හොඳ මිනිස්සු ඉන්න පළාතක් විදියට තමයි ප්‍ර‍සිද්ධ. හැමදේම බිම් මට්ටමෙන් පටන් අරගෙන ඉදිරියට යන්නයි සිරා කොලුවගෙ වර්තමාන වෑයම.

එහෙනං බොලව් අදට මේ මදැයි...ආයෙ එහෙම..සිරෝ තෝ මලාද කියලා අහලා ජංගම දුරබණුවට ඇමතුම් එහෙම දෙනවා නෙමෙයි. කසාදයක්වත් නොබැඳ දැන්ම මැරෙන්න මගේ අදහසක් නෑ බොලව්..


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවා ගැන විමසූ හැමටම අක්මාවෙන්ම ස්තූතියි...ඉඩ ඇති පරිදි ඔබ සැම කියවන්නට එමි.

Wednesday, September 16, 2015

121 ගෙඹි මස් සමග බත් කෑ දා...

අදින් සති දෙකකට කලියෙන් සිරා කොලුවාගේ කාර්ය බහුලත්වය තවත් මාස 6 කින් නැවත හමුවෙන අටියෙන් වෙන් වී ගියේය. වසරකට දෙවරක් පැවැත්වෙන, මැලේසියාවේ සංචාරක අංශයේ ප්‍රධානතම ප්‍රදර්ශනය වන MATTA FAIR වෙනුවෙන් මම සේවය කරන ආයතනය සහභාගි වීම මේ කාර්ය බහුල තාවයට හේතුවයි. මේ ප්‍රදර්ශනයේ ජාතකය බොලා ඉදිරියේදී පෙර දිනයක මවිසින් කියා ඇති නිසා නැවත ඒ ගැන කිව යුතු නොවේ. කියවා නැති කෙනෙක් ඉහත ලින්කුවෙන් කියවා එනු මැන.

මෙවර ප්‍රදර්ශනයත් වෙනසක් නොමැතිව ගෙවී ගියේය. වෙනසකට තිබුනා නම් ඒ අප අායතනය සමග අලුතින් අත්වැල් බැඳගත් නවක සේවක සේවිකාවන්ය. එහෙමත් නැතිනම් අත්පත්‍රිකා බෙදීම සඳහා සහාය වූ විශ්ව විද්‍යාල සිසුවියන්ය. මෙවර ඒ සඳහා මැලේසියාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ඉරාන සහ යේමන් ජාතික රූමතියන් දෙදෙනෙකුද එකතු වීම පිරිමි අපට සෑහෙන දහිරියක්ම විය.

උස ළමයා ඉරානයෙනි, මිටි ළමයා යේමනයෙනි, ඉදිරියේ සිටින සුදු නංගි මැලේසියාවෙනි

මේ නගාලා දෙදෙනා රූමත් වූවා කියා ආඩම්බර වූයේ නැත. ලද අවසරයකදී ඔවුන් සමග කල කථා බහකදී බෞද්ධ දහම ගැන ඔවුන්ගේ දැනුම වැඩි කරන්නට මා හට අවස්ථාව ලැබුනි. මේ දෙදෙනා ඉතාමත්ම නිහතමානීව කීවේ බුදු දහම ගැන වැඩි විස්තරයක් නොදන්නා නමුත් ඒ පිළිබඳ කියවා යමක් දැනගන්නට කැමති බවයි. මම ඔවුනට කීවේ බුදු දහම වර්තමානයේ එක් ආගමකට සීමා නොවූ දර්ශනයක් බවට පත් වී ඇති බවකි.

මේ වතාවේදී  අපගේ සංචාරයන් පෙර වසරට වඩා අළෙවි කරනු පිණිස වැඩි වැයක් දරා ඉඩකඩ විශාල කරමින් ප්‍රදර්ශන කුටියක් ඉඳි කල අතර ගණුදෙනුකරුවන් වඩා වඩාත් තෘප්තිමත් කරවනු පිණිස ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දීමද හඳුන්වා දී තිබුනි. ඒ වෙනුවෙන් විවිධ රසයෙන් අයිස්ක්‍රීම් පුරවන ලද අධි ශීතකරණයක් ප්‍රදර්ශන කුටියේ පසුපස කලාපයේ තබා තිබුනි. නගාලට අයිස්ක්‍රීම් කවන්නට බොහෝ අය එතැන රැස් කකා සිටියහ.

බෙදිල්ල බාරව සිටි යාපනයේ යතුරාජ්

කාර්ය බහුල වේලාවක අපගේ ප්‍රදර්ශන කුටිය

ගිය වර වටදාගෙය ඇතුලත් කල මා මෙවර සීගිරිය ඇතුලත් කළෙමි.
මැලේසියාවේ සිටින චීනුන් අයිස් ක්‍රීම් කන්නට පුදුම විදියට පෙරේතය. අධිශීතකරණය දුටු විගස ඔවුන් වයස් බේදයකින් තොරව අයිස් ක්‍රීම් ඉල්ලා අප වෙත පැමිණියහ. එහෙත් මේවා අපගේ ගණුදෙනුකරුවන්ට පමණක් යැයි කියූ විට ඔවුන් කිසිවක් නොදොඩා ආපසු හැරී ගියෝය. එහෙත් අප කිසිවිටෙකත් කුඩා දරුවන්ගේ ඉල්ලීම් ඉවත නොදමා ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දුනිමු. ලංකාවේ සහ මැලේසියාවේ අයිස් ක්‍රීම් සළකා බලන විට මැලේසියාවේ අයිස් ක්‍රීම් ලංකාවේ ඒවා තරම් පැණිරස නැත. එයට හේතුව මේ රටේ ආහාර පාන ආදියට යෙදිය හැකි සීනි ප්‍රමාණය පිළිබඳ සම්මත නීති මැලේසියානු රජය විසින් පනවා තිබීමයි.  මා දන්නා තරමින් අපේ ‍රටේ එවැනි තදබල නීතියක් නැති නිසාදෝ නිෂ්පාදකයෝ හිටු කියා සීනි දමති. අපේ ඇත්තෝ ඇති පදම් පැණිරස වළඳා දියවැඩියාව දෑතින්ම බදා ගනිති.

අපෙන් අයිස් ක්‍රීම් ඉල්ලූ චීන දැරිවියක්


අපේ ආයතනයෙන් යම් කිසි සංචාරයක් මිළදී ගන්නා ගණුදෙනුකරුවකුට ත්‍යාග භෝග හා ඒ අවස්ථාවේ අදින ඔහුගේ / ඇයගේ  මුහුණේ පැන්සල් සිතුවමක් ලබා දෙන්නට ආයතන ප්‍රධානියා සැලසුම් කොට තිබුනි. ඒ සඳහා සුදුසු චිත්‍ර ශිල්පියෙකු සෙවීමේ කාගෙ කාගෙත් උත්සාහය මැලේසියානු ජාතික චිත්‍ර ශිල්පීන්ගේ ඉහළ අය කිරීම් නිසා බොඳ වී තිබූ වටපිටාවක සිරා කොලුවා විසින් සොයාගන්නා ලද අපේ මව්බිමේම කුරුණෑගල සහෝදරයෙකු නිසා නැවත පණ ගැන්විනි. ඔහු අති දක්ෂ ලෙස ඔහුගේ අභියෝගය සෑම විටෙකම ජය ගත්තා පමණක් නොව චිත්‍රයට පෙනී සිටි අයගේ නොමඳ ස්තූතියටද පාත්‍ර වූවේය.

යුවතිය ඉදිරියේ තබාගෙන ඇගේ මුහුණ කොළයක සටහන් කරන ලංකාවේ දක්ෂතාව

මේ ප්‍රදර්ශනය සෑම කල්හිම දින තුනක් පැවැත්වෙන්නකි. සිකුරාදා දිනයක ආරම්භ වන එය ඉරිදා දිනයෙන් අවසන් වෙයි. අවසාන දිනයේ ප්‍රදර්ශනය රාත්‍රී 9 ට අවසන් වූ පසු ප්‍රදර්ශන භූමියට කාර්යාලයෙන් රැගෙන ආ අඩුම කුඩුම සියල්ල නැවත කාර්යාලය වෙත පටවා රාත්‍රී ආහාරය සඳහා අපේ නඩය ඇදෙන්නේ ක්වාලාලම්පූර් නුවර නොනිදන ඉසව්ව වන බුකිට් බින්තාන් (Bukit Bintang) වෙතයි.

මැලේසියාවට පැමිණෙන ඔබ රසවත් චීන ආහාරයක රස බලන්නට, පුංචි අඩියක් ගසා හිත සනසා ගන්නට, ගමන් මහන්සිය යන්නට සම්භාහනයක් කර ගැනීමට අවැසි නම් යා යුතු තැන මෙතනයි. මේ ඉසව්වේ සංචාරකයන් ඉලක්ක කර සේවා සපයන සම්භාහන මධ්‍යස්ථාන, මධුවිත අළෙවි සැල්, රාත්‍රී සමාජ ශාලා, මස් මාංශ, පළතුරු අළෙවිසැල්, චීන අවන්හල් මෙන්ම මාර්ගයේ සිට විකිණෙන ගණිකාවන්ගෙන්ද අඩුවක් නැත.

කුකුල් කකුල් බැඳුම
ලොකු රට කජු
මැලේසියාව මුස්ලිම් රටක් උවත් චීන අවන්හල් වල උෟරු මස් තිබේ
වරක් අප එහි යන විට අප්‍රිකානු රටකින් පැමිණි ගණිකාවක සමග හෙට්ටු වෙන යුරෝපීයන් දෙදෙනෙකු දුටිමු. බැලූ බැල්මට ඒ ඇත්තන් කලු යුවතියගේ සීයා වරුන් බඳුය. වයසක සුද්දන් දෙදෙනාද පරාජය බාර ගන්නට සූජානම් නැත. ඔවුන් තව දුරටත් හෙට්ටු කරති. ඉවසීමේ සීමාව පැන ගිය ගණිකාව...ඒ ගානට මට දෙන්නෙක් එක්ක ඉන්න බෑ.....යනුවෙන් කල ගෝරනාඩුවට ඉංගිරිසිය වැටහෙන මාර්ගයේ ගිය බොහෝ උන් සිනහා හඩ නැගුවෝය.

මෙවර අප ප්‍රදර්ශනය නිමවා වාහන කීපයක එහි ගියෙමු. ඊට මත්තෙන් ඇතැම් දෑ අප කාර්යාලය වෙත ප්‍රවාහනය කල යුතු විය. මා හට ප්‍රවාහන පහසුකම් සැපයීමට අපගේ කාර්යාලයේ, මැලේසියානු ජාතික" ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකරු ජේම්ස් එකඟ වූවේය. එහෙත් ප්‍රදර්ශන ශාලාවේ සිට කාර්යාලය වෙත යන්නට ඔහු පාර දන්නේ නැත. අතීතයේ දිනෙක සිරා කොලුවාගේ නවාතැනක් මේ මාර්ගය ඔස්සේ වැටී තිබූ නිසා ඉදිරි අසුනේ සිට මම ජේම්ස් වෙත මාර්ගය පෙන්නුවෙමි. ජේම්ස්ගේ නවතම නිසාන් රථය මැනුවල් ගියර් සහිත එකකි. මැලේසියාවේදී මැනුවල් ගියර් සහිත රථයක් දකින්නට ලැබෙන්නේ ඉතාම කළාතුරකින් නිසා මම ඒ වෙනස ගැන ජේම්ස් සමග කථා කළෙමි. පිරිමියෙක් නම් පදින්න ඕනෙ මැනුවල් තමයි... ඔහු කෙටියෙන්ම මවෙත පිළිතුරක් ලබාදෙන විට අප සමග මෑතකදී එක් වූ පකිස්ථානයේ ගුල්ෆාම් පසුපස අසුනේ සිට සිනහා හඬ නැගුවේය.

කාර්යාලය වෙත රැගෙන ගිය දෑ එහි දමා අප තිදෙනා බුකිට් බින්තාන් ඉසව්වට යන විට අපගේ යුවතියෝ ඇතුලු පිරිස එහි ළඟා වී සිටියෝය. වාහනයේ සිට අවට පරිසරය වෙත නෙත යොමු කරන විට නියෝන් නාම පුවරු යට ඒ මේ අත ඇවිදින යුරෝපීයන් ඉතාම සුලභය.


බුකිට් බින්තාන් වල නැති දෙයක් නෑ. ඕනෙම දෙයක් තියෙනවා. නීති විරෝධී වැඩත් එමට තියෙනවා. ජේම්ස් එසේ පවසා රථය නවතා තබන්නට ස්ථානයක් අපහසුවෙන් සොයා ගත්තේය. අප දැන් චීන අවන් හල් එක‍ පෙලට ඇති ඉසව්වට පිවිසී සිටිමු.


චීනා යනු ලෝකයේ දීර්ඝ ආයුෂ විඳින ජන වර්ගයකි. ඒ සඳහා ඔවුන්ගේ ආහාර රටාව බෙහෙවින් ඉවහල් වී තිබේ. ඔවුන් ආහාර ගන්නා වේලාවන්ද එයටම උපකාර වී ඇති සෙයකි. දහවල් 12 වන විට දිවා ආහාරයත්, හැන්දෑවේ 6.30 පමණ වන විට රාත්‍රී ආහාරය ලබා ගන්නටත් චීනා කැමතිය. ඒ බොහෝ වෙලාවට ඖෂධීය ගුණයෙන් යුතු සුප් හැන්දක් දෙකක් පානය කරන්නටත් ඔව්හු අමතක නොකරති.

චීන අවන්හල් වල සෑම දෙයක්ම ඉතාම නැවුම් ලෙස සකසා දෙයි. එළවළු වර්ග ලංකාවේ මෙන් වරුවක් තම්බන්නේ නැත. මෑ කරල් පිසූ පසුවත් ඒවා බොහෝ සේ කොළ පැහැතිය. කංකුං ද එසේමය. ඒ නිසා මේවායේ මිළ ගණන් අවශේෂ අවන්හල් වලට වඩා මඳක් වැඩිය. චීනා ඉස්සන් ව්‍යංජනයක් සකසනවා නම් ලූණු තුනපහ ආදිය තාච්චියේ දමා තෙම්පරාදු කරන විට සූපවේදියාට අාසන්නයේ ඇති භාජනයක තවමත් ඉස්සන් පිහිනමින් සිටිති. නිසි අවස්ථාව පැමිණි කල තාච්චියේ මූඩිය විවර කර පණ ඇති ඉස්සන් එයට දමා පියන වසා දමන්නේ ඉස්සාගේ ඔලු කැඩීමකින් තොරවය. චීනා මෙන්ම මැලේ ජාතිකයන්ද ඉස්සන් පිසින විට ඔලුව ඉවත් කොට අහවල් ඒවා ඉවත් කරන සිරිතක් නැත. 

මා මැලේසියාවට පැමිණි මුල්ම කාල‍යේ නවාතැන් ගෙන සිටි මැලේ ජාතික නිවසේ ඇත්තන්ද එසේමය. දිනක් ඔවුන් සකසා තිබූ ඉස්සන් ව්‍යංජනයක් මගේ බත් පතටද බෙදුවේය. නමුත් ඉස්සන්ගේ ඔලුව කඩා නැති බව දැක ඉස්සන් කන්නේ කෙසේදැයි මම දස අතේ කල්පනා කළෙමි. ගෙදර ඇත්තන්ට වගේ ගනනක් නැත. ඉස්සාගේ ඔලුව කැඩු විට එහි තිබෙන අහවල් ඒවා දියරයක් මෙන් බත් පතට එකතු වෙයි. ඔව්හු ඒවාද බත් සමග හොඳින් අනා බත් ඇට අාමාශය වෙත තල්ලු කරන්නට රුසියෝය.

මේ හේතුවෙන් අප කිසිදා චීන අවන්හලකින් ඉස්සන් ඇනවුම් කරන්නේ නැත. අපේ ආයතනයේ ඇත්තන් අවන්හලේ අසුන් ගන්නේ කාන්තා පරාණ එක් මේසයක සහ පිරිමි පාර්ශවය තවත් මේසයක වන පරිද්දෙනි. මේ අවන් හල් සෑම එකකම ඒවා වෙත පැමිණි චීන සම්භවය සහිත මැලේසියාවේ සිනමා, ගායන, නිරූපන ආදී ක්ෂේත්‍ර වල ජනප්‍රිය තරු සමග අවන් හල් කාර්ය මණ්ඩලය එකට සිට ලබාගත් ඡායාරූප රාමුකොට බිත්තියේ එල්ලා තිබේ.


අවන්හලේ මෙනුපත අනුව  ඇණුවුම් කල ආහාර අතර මෙදා සුවිශේෂී යමක් විය. ඒ ගෙඹි මස් ව්‍යංජනයයි. මේ නම ඇසූ කල්හිම කාන්තා පරාණ අප්පිරියාවෙන් මෙන් ඉවත බලාගත් අතර සමහර පුරුෂ පාර්ශවයන්ද තමන් ගෙඹි මස් නොකන බව පැවසුවෝය. ඒ නිසාම තනි තනිව ගෙඹි මස් බුඳින්නට කැමති ඇත්තන් විමසන්නට ආයතන ප්‍රධානියාට සිදු විය. කිසිදා ආහාරයට ගෙන නැති නිසා මෙවර එහි රස බලන්නට මා හට සිත් වූයෙන් ගෙඹි මස් කන්නට අත එසවූ 5 දෙනා අතරට මගේ නාමයද එකතු වූහ. ගෙඹි මස් මැලේසියාවේ සෑම තැනකම නැති අතර බුකිට් බින්තාන් චීන අවන්හල වල එය සුළභ ආහාරයකි.

අසරණ ගෙම්බා


මේ ගෙම්බන් ආහාර පිණිසම ඇති කරන සුවිශේෂී වර්ගයක් මිස ලංකාවේ අපගේ ළිං පඩිය ලග ගැවසෙන, කුණු කාණුවේ ලගින වැනි  උන් නොවේය. කොළ පැහැති මෙන්ම දුඹුරු පැහැති ගෙම්බන් විශේෂයක්ද චීනුන් සතුව සිටිති. තමන්ගේ ජීවිතයේ අවසානය උදාවන තෙක් ඉහළින් ආවරණය කල මාලු ටැංකි වල වෙසෙන මේ සත්වයින් ඇණවුමක් ලද විගස මරණයට පත් කොට ආහාරයක් ලෙස සකසන්නට චීනුන් යුහුසුලු වෙති.

ඇනවුම් කල ආහාර අපගේ මේස වෙත පැමිණෙන තුරු අායතන ප්‍රධානියාගේ සුරතින් මේසයට පැමිණෙන රහමෙර පිරිමි පාර්ශවයේ වීදුරු වෙත පතිත වෙන්නේ ප්‍රදර්ශනය සාර්ථකව නිමකිරීමට හැකි වීමේ ප්‍රීතියද සමගිනි. මේ ප්‍රදර්ශනයේදී අපේ අළෙවිය වැඩි කරගැනීමට මාස දෙකක පමණ සිට සෑම කෙනෙකුටම විවිධාකාරයේ වගකීම් පැවරෙන අතර අපගේ ප්‍රදර්ශනය කුටිය, ගණුදෙනුකරුවන්ට ලබාදෙන අත්පත්‍රිකා, පුවත් පත් දැන්වීම් ආදිය නිර්මාණය කිරීමේ වගකීම මා හට පැවරෙයි. මේ නිසාම ප්‍රදර්ශනයක නිමාව යනු අප සෑම කෙනෙකුගේම මානසික විඩාව සංසිඳුවන දිනයකි.

වතුර ෂැන්ඩියට කලු ලේබල්

අප සියල්ලෝ  රහමෙර සමග මිතුරු දම් අරඹන විට කාන්තා පරාණ පළතුරු යුෂ වල හෝ චීන තේ වල රස බලති. මුස්ලිම් ජාතික පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාට රහමෙර හරාම් නිසා ඔහුද යුවතියන් සමග පළතුරු යුෂ පානය කරයි. මේ අතර තුර ගෙඹි මස් ඇතුලු ඇණවුම් කල ආහාර කට සැර චීන යුවතියකගේ දෑතින් අපගේ මේස වෙත ලඟා වෙති. මේ අය සතුව වෝකි ටෝකි යන්ත්‍ර ඇත්තේ සෘජුව ඔවුන්ගේ මුළුතැන් ගෙය හා සම්බන්ධ වීම සඳහායි.


ගෙඹි මස් ව්‍යංජනය දුටු විගස කාන්තා පරාණ අහක බලාගත්තෝය. ඔවුනට තව දුරටත් කරදරයක් නොවනු පිණිස ඒ ව්‍යංජනය බුඳින්නට එකඟ වූ පිරිස ඉක්මනින් තමන්ගේ පිඟන් වෙත ඒවා අඩුක් කර ගත්තෝය. පළමු වරට ගෙඹි මස් කෑල්ලක් හපන විට මා හට කිසිදු අපුලක් දැනුනේ නැත. හොඳින් තුනපහ යොදා පිස තිබූ එම මාංශයේ රස අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා කිසිම වර්ගයක නැති අමුතුම එකකි. මස් අඩුය. කටු වැඩිය.

සියළු සංග්‍රහයන් භුක්ති විඳ අවසන් වන විට මධ්‍යම රාත්තිරියට ආසන්නය. ඒ ඒ ගමනාන්ත වෙත යන්නට වාහන නැති පිරිසට කුලී රථ සේවයේ පිහිට පැතිය යුතුය. ඒවායේ වියදම් ආයතන විසින් දරනු ලැබේ. එකම මගක යන පිරිස වේ නම් ඔවුන් එකම රථයක යාම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඒ අනුව මම යන මාර්ගයේ යන්නට චිත්‍ර අදින ලද ලංකාවේ සහෝදරයාත් පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාත් සිටිති.

නිල් පැහැයෙන් ගුල්ෆාම් ගොයියා

චීන අවන්හලෙන් ඉවතට එද්දීම කුලී රථයකි. මම සැනින් අත දැමුවෙමි. එය පැදවූ චීන ජාතික තරුණිය රථය පසෙකට කොට නතර කලාය. ඇගේ දිගු කෙස් කළඹ ඉතා හොඳින් ඈතට දිස් වෙයි. අපේ ඔපීසියේ කෙලියෝ මහ හඬින් හිනැහෙන්නේ චීන යුවතියක සමග කුලී ගමනක් යන්නට අප තිදෙනාට ලැබුන චෑන්ස් එක දැක විය යුතුය.

අපගේ ගමනාන්තය ගැන පැවසූ විට ඇය එහි යාමට හැකි බව හස්ත සංඥාවෙන් පැවසූයෙන්  අප තිදෙනා රථයට ගොඩ වීමු. සිරා කොලුවා දැන් ඉදිරි අසුනේය. රථාචාර්ය වරිය සමග කථාකරන්නට මාන බලමින් සිටි මගේ චිත්ත සන්තානය රථය සංඥා එළියක නතර වූ විගස ඒ සඳහා පොට පාදා ගත්තේය. මගේ ගැටලුවට පිරිමි හඩකින් වහා පිළිතුරු ලැබුනි. මේ අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් විශ්මයට පත් අප තිදෙනාම රියදුරු තැන දෙස දෑස් හොඳින් විවර කර බැලූ කල එතැන සිටියේ චීන යුවතියක් නොව කොණ්ඩය වවාගත් ගෑණු පෙනුම ඇති පුරුෂ රත්නයකි.





මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මා ගෙඹි මස් සමග බත් කෑ බව ලංකාවේ යුවතියකට සැළ කලෙමි.  ඇයි කන්න දෙයක් නැතුවද ගෙඹි බස් කෑවෙ...පව්කාර වැඩ...යනුවෙන් පැවසූ අැය සම්බන්ධතාව විසන්ධි කලාය.

Sunday, September 13, 2015

68 ගව මුත්තරා ටිකක් බොමුද ?

අපේ කාර්යාලයට මාස 6 කට පමණ කලියෙන් සම්බන්ධ වූ, නවදිල්ලියෙන් මැලේසියාවට පැමිණි වරුන් ඛේරා (Varun Khera) බොහොම පැහැපත් පෙනුමක් තියෙන හැඩකාරයෙක්. මුල් කාලෙ ඔපීසියෙ යුවතියො එක්ක විතරයි මිනිහා පයුරු පාසානම් පැවැත්වුවෙ. කාර්යාලයෙ පුරුෂ පාර්ශවය ඉතින් මේ වගේ වෙලාවට ස්වභාවිකව ඇතිවෙන ඉරිසියාවත් එක්ක මේ ගොයියව වැඩිය ගනන් නොගෙන අතඇරලා දාලා ඒකාට  Chicky Boy කියලා ලස්සන නමකුත් දැම්මා.

කාර්යාලයේ ඇත්තො රාත්‍රී කෑමකට චීන අවන්හලකට ගිය අවස්ථාවකත් වරුන් ගොයියා කොල්ලන්ගෙ මේසය වෙනුවට කෙල්ලන්ගෙ මේසය තෝරගෙන ‍ගෑණු පරාණ මැද්දට වෙලා හිටිය අන්දම දැක්කම අපිට හිනාව නවත්තගන්න බැරි උනා. කොහොමින් කොහොම කාලයාගේ අැවෑමෙන් මේ කෙල්ලො තමන්ගෙ දත ගලවන බව දැනුනට පස්සෙ වරුන්ට මොළේ පෑදුනා. අන්තිමේදි මිනිහා කාර්යාලයේ පුරුෂ පාර්ශවය සමග සුහද උනා. 

දැන් ඉතින් අපි බොහොම සුහදයි. ඇත්තටම ඔහු හොඳ මිත්තරයෙක්...ඒ වගේම බොහොම සංවේදී මිනිහෙක්. මැලේසියානු ජාතික යුවතියක් එක්ක පෙමින් වෙළිලා ඉන්න අතරෙ වරුන්ගෙ අම්මා ඉන්දියාවෙන් තව කෙල්ලෙක් ජෝඩු කරලා. මැලේසියාවෙ කෙල්ල අත ඇරලා ඉන්දියාවෙ කෙල්ල බැන්දෙ නැත්තං බලාගමු කියලා ගෙදර ඇත්තො මිනිහට තර්ජනය කරනවා. මේ අන්ත දෙකට හිරවෙලා පිස්සු හැදිලා වගේ හිටියත් දවල් කෑමට අපි එක්ක හැමදාමත් වගේ මැලේ ආච්චිගෙ කෑම කඩේට යන්න ඔහු එනවා. බොහොම බරසාර මාතෘකා ගැන සමහර වෙලාවට කෑම කන අතරෙ සාකච්ඡා කරනවා. අන්න ඒ වගේ දිවා ආහාරයට පිටත් වෙන වෙලාවක තමයි හා පුරා කියලා අද බොලාට කියන්න යන මේ කථාවට පොට පෑදුනේ.

මිත්‍රයා ඔයා දන්නවද ගව මුත්තරා බිව්වම මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන.

අනේ නෑ...ලංකාවෙදි ජීව වායුව හදනවාට වඩා ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. ඒවා අපද්‍රව්‍යනෙ හරකගෙ... මම එහෙම කිව්වා.

ඉන්දියාවෙ නම් එහෙම නෑ. අපි ඉන්න පළාතෙ ගොඩාක් හින්දු භක්තිකයො හරක් මුත්තරා හිස්බඩ පානය කරනවා. ඒකෙන් ලැබෙන වාසි විශ්මිතයි. ගොඩාක් රෝග වලට මේ පානය කඳිම ඔසුවක්.  අපේ සීයත් මට මතක කාලෙ හරකෙක් මුත්තරා කරද්දි පිටිපස්සෙන් ගිහින් අත අල්ලලා මූණ වටේට බින්දු කීපයක් ඉහගෙන කට ඇතුලට තවත් බින්දුවක දෙකක් දා ගත්තා. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් තරුණ අයත් මේ වැඩේට හවුල්. කොටින්ම මමත් නිතර දෙවේලෙ බෝතල් කල ඒවා බොනවා.

මේ කථාව ඇහුවට පස්සෙ මට පුදුම හිතුනා. අපි දන්න විදියට මුත්‍රා කියන්නෙ ශරීරයෙ විවිධ අවයව වල සිදුවන පරිවෘත්තීය ක්‍රියා වලින් බැහැර කරන  අපද්‍රව්‍ය එකතුවෙන ස්ථානය. සත්වයෙකුගේ උනත් මුත්තරා වල ඖෂධීය ගුණ තියෙනවා කිව්වම පුදුම නොවී කොහොමද ?

ඉන්දියාවෙ දැන් ගව මුත්තරා බෝතල් කරලත් විකුණන්න තියෙනවා. මම ඔයාට බෝතලයක් ගෙනත් දෙන්නං...දවසක වතුර වීදුරුවකට බින්දු තුන හතරක් දාලා බීලා බලන්න. වරුන් මට එහෙම කිව්වට පස්සෙ ම‍ගේ අක්මාව මට කිව්වෙ මේ ගැන ‍ජාලෙන් හොයලා බලහං කියලා. ඒ සොයාබැලීම් වලින් මම එකතු කරගත්ත දේ තමයි බොලාට අද ජාලෙන් පෙරලූ ලිපියෙන් කියවන්න ලැබෙන්නෙ.

ගවයා යනු හින්දු ආගමට අනුව පූජනීය සත්වයෙකි. දේවාවාදී අාගමක් වන හින්දු අාගමේ එන ශිව දෙවිඳුගේ වාහනය ලෙසද ගවයා සැළකෙයි. එක් දේව පුරාවෘත්තයකට අනුව විෂ්ණු දෙවියන් විසින් කිරි සයුර කළඹන ලද අවස්ථාවේ හමු වූ සුරබිධේනුව සියලුම ගව දෙනුන්ගේ මාතාව ලෙස සැළකෙයි. 

ගවයාගේ පිරිමි සත්වයාට වඩා ගැහැණු සත්වයන් වැඩි සැළකුම් ලබන්නේ එළදෙන මගින් ලබාගන්නා කිරි මිනිස් දරුවන් උස් මහත් කරන්නට විශාල කාර්ය භාර්යයක් ඉටු කරන හෙයිනි. මේ කිරිවලින් පස්ගෝ රස ( කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු ) නිපදවෙන අතර ඒවායෙ රස, ගුණ  විඳින මිනිසුන් දහස් ගණනකි.

හින්දු ආගමට අනුව ගවයා පෘථිවිය, පෘථිවියේ ජීවය  පිළිබඳ සංඛේතයකි.  තණකොළ, ජලය, ධාන්‍ය අාදි සරළ දෑ කීපයක් ලබා සැපයීමෙන් වටිනා කිරි ලබාගත හැකි නිසා ත්‍යාගශීලීභාවය පිළිබඳ සංඛේතයකි. එමෙන්ම කරුණාව සහ සමෘද්ධිය පිළිබඳ සංඛේතයක් වශයෙන්ද ගවයා සැළකෙයි. මෙවැනි හේතු නිසා හින්දු භක්තිකයන් ගවයා පූජනීයත්වයට පත් කොට තිබේ. පූජනීයත්වය පිළිබඳ මේ සංකල්පය වර්තමානයේදී ගව මුත්‍රා පානය දක්වාම පැතිර ඇති සෙයකි.

ජයිරාම් සිංගාල් නැවුම් ගව මුත්‍රා ලබා ගනිමින්

අතීතයේ සිට පැවති මුත් දැන් දැන් තරුණ පරපුර අතරද ගව මුත්‍රා පානය කිරීමේ පුරුද්ද සීඝ්‍රයෙන් පැතිරෙන ආකාරයක් දකින්නට තිබේ. ඔවුන්ගේ විශ්වාසය අනුව ගව මුත්‍රා පිළිකා ඇතුලු රෝගාබාධ ගණනාවක් සුව කිරීමට සමත් ඔසුවකි. ගවයාට අරෝපණය වී ඇති පූජනීයත්වය පිළිබඳ සාධකය නිසාම ගව මුත්‍රා තුල රෝග සුව කිරීමේ බලයක් ඇතැයි යන තදබල විශ්වාසයක් මේ භක්තිකයන් වෙලාගෙන තිබෙනවා වන්නටත් පුලුවන. 42 හැවිරිදි ජයිරාම් සිංගාල් දශකයකට අධික කාලයක සිට ගව මුත්‍රා පානය කිරීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබූවෙකි.

මට දිය වැඩියාව තිබුනා. කෙනෙක් මට කිව්වා ගව මුත්‍රා පානය මේ රෝගයට හොදයි කියලා. එදා ඉඳන් මම ගව මුත්‍රා පානය අැරඹුවා. දැන් මගේ දියවැඩියා මට්ටම යහපත් තත්වයකට ඇවිත් තියෙනවා. මෙතන ගවයො ඇති කරන්න පටන් අරගෙන අවුරුදු 12 ක් විතර වෙනවා. මුල් කාලෙ ඉඳලම අපි දවස ආරම්භ කරන්නෙ උදේම පානය කරන ගව මුත්‍රා වීදුරුවකින්.

උතුරු ඉන්දියාවේ අග්‍රා නුවර ඩී ඩී සින්ගාල්ගේ ගව පට්ටිය අසල නැවුම් ගව මුත්‍රා වීදුරුවක් ලබා ගැනීම පිණිස දිනපතා පැමිණෙන බොහෝ පිරිසක් වෙති. ජයිරාම් සිංගාල් ඒ අතරින් කෙනෙකි.

නිවසේ උඩුමහ‍ලේ ඇති සිංගාල්ගේ ගව පට්ටිය

ගොඩාක් සෙනග මෙහෙ එනවා. එන්න එන්නම මේ ගණන වැඩි වෙනවා. අපි හැමෝම සෑම උදෑසනම එළදෙනකගේ මුත්‍රා පානය කිරීම සිදු කරනවා. කාලෙකට කලින් මෙහෙම සෙනගක් ගව මුත්‍රා ඉල්ලගෙන අපි ලඟට ආවෙ නෑ. ඒත් අද වන විට තත්වය වෙනස් වෙලා. බොහෝ පිරිසක් දිනපතා ගව මුත්‍රා වීදුරුවක් පානය කරන්න මෙතනට එන්න පුරුදු වෙලා. ඒ අතර දරුණු පිළිකා රෝගීනුත් ඉන්නවා. ඒ අයට අවශ්‍යයි ගව මුත්‍රා පානය නිසා තමන්ට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ තමන් විසින්ම අත්දැක බලන්න.

අග්‍රා නුවර ගව සංගමයේ පුරෝගාමියා වූ ඩී ඩී සිංගාල්ගෙන් සත්කාර ලබන ගවයෙක්

හින්දු අධ්‍යාත්මික නායකයන්ගේ දිරි ගැන්වීමත් වර්තමානයේ ජනතාව අතර ගව මුත්‍රා පානය ප්‍රචලිත වීම කෙරෙහි බලපා තිබේ. මේ ආගමික නායකයන්ට අනුව ගව මුත්‍රා පිළිකාව, දියවැඩියාව, ශරීරයේ පඨක තුල ඇතිවෙන වේදනා රහිත ඉඳිමුම, ක්ෂය රෝගය, උදරය සම්බන්ධ රෝගාබාධ ඇතුළු බොහෝ රෝගාබාධ ගණනාවකට දිව ඔසුවකි. මේ අයගේ අදහස අනුව තට්ටය පැදීම නවතාලන්නට කළ හැකි හොඳම ප්‍රතිකාරයද ගව මුත්‍රා පානයයි.


අක්ෂි රෝග, උදරාබාධ, සඳහා බෙහෙත්, දත් බෙහෙත්, ඇඟ ගල්වන සබන් ඇතුළු විශාල වපසරියක නිෂ්පාදන ගව මුත්‍රා ආශ්‍රයෙන් නිපදවිය හැකි බව අග්‍රා නුවර ගව සංගමය පිහිටුවීමේ මූලිකයා වූ  ඩී ඩී සිංගාල්ගේ අදහසයි. 

හින්දු පූජකයෙකු වන රමේෂ් ගුප්තා ට අනුව මේ ලොව පරම පිවිතුරු දෑ අතරින් ගව මුත්‍රා එක් වර්ගයකි. පුරාණ හින්දු ලියවිලි වලත් ගව මුත්‍රා වලින් මිනිස් ශරීරයට ගත හැකි විපුල ඵල පිළිබඳ සටහන්ව ඇති බව ඔහු පවසයි. ගුප්තාට  අනුව සෑම ගවයෙකුගේම මුත්‍රා වලින් මේ ප්‍රතිලාභ ලබාගත නොහැක. ඒ සඳහා පැටවෙකු ප්‍රසූත නොකල කන්‍යාවියකගේ මුත්‍රා භාවිතා කල යුතුය. එමෙන්ම මුත්‍රා ලබාගත යුත්තේ හිරු උදාවට මොහොතකට පෙරයි.



විවිධ පුද්ගලයො ගව මුත්‍රා පානය විවේචනය කරනවා. නමුත් අපි කලබල වෙන්නෙ නෑ. ගව මුත්‍රා පානය නොකරපු කෙනෙක් මේවායින් ගත හැකි ප්‍රයෝජන ගැන මොනවද දන්න‍ෙ. කාලයත් එක්ක ඒ අයත් මේ වටිනා සම්පත ගැන එයාලගෙ සැක සංකා දුරුකර ගනීවි. දැනට පවතින ඉල්ලුම කෙමෙන් කෙමෙන් අධික ඉල්ලුමක් බවට පත්වෙමින් තිබෙන්නෙ. ඒ අනුව වාණිජ මට්ටමෙන් ගව මුත්‍රා අළෙවිය ආරම්භ කරන්න අපි සැලසුම් කොට තිබෙනවා. දැනටත් සමහර ගව පාලකයො ගව මුත්‍රා විකිණීම සිදුකරගෙන යනවා.

සිරි ලංකාවේ ඇත්තන්ට නම් ගව මුත්‍රා පානය බොහොම පිළිකුල් සහගත දෙයක් බව මම දන්නවා. පළමු වතාවට වරුන් මේ පිළිබඳ මා සමග කථා බහ කල වෙලාවෙත් මම පුදුම උනා. එහෙත් ගව මුතා සරණ යන බොහෝ පිරිස නූගතුන් හෝ ලෝකයේ දියුණුව නොදුටු අය නොවේ. ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක් ප්‍රතිජීවක ගුණය ඇතිකල හැකි ගව මුත්‍රා සංයෝගයක් වෙනුවෙන් 2002 වසරේ ඇමරිකාවේදී පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමෙන්ම එ් බව තහවුරු වෙනවා.

කථා දෙකක් නැත. ගවයා තරම් මිනිසාට ප්‍රයෝජන ගත හැකි තවත් සත්වයෙකු නැත. මස්, කිරි, හම, ගොම මෙන්ම දැන් ගව මුත්‍රාද මිනිසාට සේවය කිරීමට සැඳී පැහැඳී සිටිති. ඉන්දියාවේ වර්තමානයේ පවතින මේ ප්‍රවණතාව ලංකාවේ හින්දු ජනතාව වෙතද නොපැමිණ තිබේද ?




ඡායාරූප සහ අද ලිපියට මූලාශ්‍රය


මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...